Latestදේශීය

කැළුම් මුදන්නායක සහ දිල්ශාන් හර්ෂණ වෙනුවෙන් ප්‍රභල හඬක් නගමු

ඊයේ දින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් නිවේදනයක් නිකුත් කර තිබුනා. එම නිවේදනය පහතින්,

කැලණිය මහා ශිෂ්‍ය සංගමයේ සභාපති කැලුම් මුදන්නායක සහ ශිෂ්‍ය ක්‍රියාකාරික දිල්ශාන් හර්ෂණට අදාළව ගම්පහ මහාධිකරණයේ ගොනු කළ ඇප අයදුම්පත් සලකා බැලීම අද(18) සිදු කෙරිණි. කැලුම් සහ දිල්ශාන් රක්ෂිත බන්ධනාගාරගත කොට අදට දින 138 ක් ගත වන නමුත් තවමත් ඔවුන්ට ඇප ලබාදීම ප්‍රමාද කරමින් පවතී. විශේෂයෙන්ම මෙහිදී නීතිපති දෙපාර්තමේන්තුව තීරණාත්මකව මැදිහත්වන අතර ඇප ලබාදීමට එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පැමිණි ⁣නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අද නැවත වතාවක් මහාධිකරණය ඉදිරියේ කරුණු ගොනු කරන ලදී.

පැය භාගයක පමණ අදහස් දැක්වීමක් කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළේ මෙම සිසුන් අරගලයට සම්බන්ධ වී ඇති බවත්, පළමුව අත්අඩංගුවට ගැනුනේ අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත්වූ උද්ඝෝෂණයකට අදාළව බවත්, කොහොමත් විශ්වවිද්‍යාල සිසුන් අතර මෑතක සිට කළහකාරී හැසිරීම් වර්ධනය වී ඇති බවත් එහෙයින් මෙම සිසුන් දෙදෙනාට ඇප නියම කළහොත් ඔවුන් නැවත සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමට ඉහළ හැකියාවක් ඇති බවත්ය.

විශ්වවිද්‍යාලය තුළ ඇති වූ ගැටුමක් හේතුවෙන් හෝ කුමන හේතුවක් මත හෝ මොවුන් රක්ෂිත භාරයට ගැනුනේ නවකවද පනත යටතේ වන බැවින් මෙම තත්ත්වය වඩාත් තර්කානුකූල බව ඔහු වැඩිදුරටත් පවසන ලදී. මෙම විරෝධතා ගොනු කිරීමට සවන් දුන් මහාධිකරණය අප විසින් ගොනු කළ ඇප අයදුම්පත් සලකාබැලීම ප්‍රතික්ෂේප කරන ලදී. මෙහිදී විශ්වවිද්‍යාල සිසුන් අරගල කරන බැවින් ඇප ලබාදීමට එරෙහි වන නීතිපතිවරයාට අප විසින් ⁣යොමු කළ යුතු ප්‍රශ්න ප්‍රමාණයක් පවතී.

ජෝශප් පරරාජසිංහම් ඝාතන චෝදනා ලැබූ පිල්ලෙයාන්⁣ගේ අධිචෝදනා ඉවත් කරගත්තේ නීතිපති දෙපාර්තමේන්තුවයි. කූඨ ලේඛන සැකසූ වාස් ගුණවර්ධනට එරෙහිව ගොනු කළ අධිචෝදනා ඉවත් කරගැනීමට මැදිහත් වූයේ නීතිපති දෙපාර්තමේන්තුවයි. තරුණයින් 11 ක් පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධව චෝදනා ඇති වසන්ත කරන්නාගොඩට එරෙහි අධිචෝදනා ඉවත් කරන ලද්දේ ද නීතිපති දෙපාර්තමේන්තුවයි. දිවි නැගුම මුදල් වංචා කළ බැසිල් රාජපක්ෂ සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළේද නීතිපති දෙපාර්තමේන්තුවයි. මිනීමරු චොකා මල්ලි නිදහස් කළේද නීතිපති දෙපාර්තමේන්තුවයි.

මෙවැනි නමගිය අපරාධකරුවන් නිදොස් කොට නිදහස් කරද්දී කැලුම් මුදන්නායක – දිල්ශාන් හර්ෂණ පමණක් සය මසකට අධික කාලයක් තිස්සේ සිරගත කර තබාගැනීමට නීතිපතිවරයාට ඇති තර්කය කුමක්ද? නීතිපති දෙපාර්තමේන්තුව පවතින්නේ ආණ්ඩුවේ දේශපාලන උවමනා එපාකම් මත පුද්ගලයින් සිරගත කිරීම සඳහාද? අරගලයට සම්බන්ධ වීම ඇප නොදී අඛණ්ඩව සිරගත කිරීමට තරම් බරපතල වරදක්ද? එසේ නම් භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස ලැබිය යුත්තේ නීතිපතිවරයා කැමති අකමැති පුද්ගලයන් පමණක්ද? පරිසරය දූෂණය කළ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අයත් සමාගමෙන් වන්දි අය කරගැනීමට තවම මැදිහත් නොවන නමුත් එම පරිසර විනාශයට එරෙහිව උද්ඝෝෂණ පැවැත්වූ පුද්ගලයින්ට කඩිමුඩියේ නඩු පැවරූ නීතිපති දෙපාර්තමේන්තුවෙන් මෙයට වැඩි මැදිහත්වීමක් බලාපොරොත්තු විය නොහැක. එහෙයින් දිල්ශාන් හර්ෂණ හා කැලුම් මුදන්නායක නිදහස් කර ගැනීමට ප්‍රබල ජනතා හඩක් ගොඩනගමු.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?