Latestදේශීය

විදෙස්ගත ශ්‍රමිකයන් වහලුන් නොවේ

(දිනිතා රත්නායක)

විදේශ ගත ශ්‍රමිකයා වහලෙක් බවට පත් නොකර ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන ලෙසත්, ඔවුන්ගේ ආරක්ෂාව තහවුරුකිරීම සදහා විදේශ රැකියා ක්ෂේත්‍රය ඩිජිටල්කරණයට ලක් කරන ලෙසත් සිංහල රාවය සංවිධානයේ සභාපති අක්මීමන දයාරතන හිමියෝ ඉල්ලා සිටියහ.

සිංහල රාවය, ලංකා ජනතා පක්ෂය සහ විදේශ ශ්‍රමිකයින්ගේ අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය එක්ව නාරාහේන්පිට පිහිටි කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය ඉදිරිපිට නිහඩ විරෝධතාවයක් දැක්වූ අතර ඉන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසුවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අක්මීමන දයාරතන හිමියෝ මෙසේද පැවසූහ.

දැන් රටට ලැබෙන ආදායම ලැබෙන ප්‍රධානම ආදායම් මාර්ගය වෙන්නේ විදේශ ගත ශ්‍රමිකයින්ගෙන් ලැබෙන ආදායමයි. විදේශ ගත ශ්‍රමිකයා තමයි මේ රට ජීවත් කරවන්නේ. ශ්‍රමිකයෙක් විදේශ ගතවුනාට පස්සේ ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ඒ රටේ තානාපති කාර්යාලවට වගකීමක් තිබෙනවා. හැබැයි අපේ රටේ තානාපතිවරු පිටරටට ගිහින් සැපසේ සූදු කෙලිනවා. සැප විදිනවා. නමුත් රටේ ජනතාවගේ, විදේශ ගත ශ්‍රමිකයාට සාධාරණයක් ඉටු කරන්නේ නෑ.

තානාපති කාර්යාලයක් පිහිටුවන්නේ ඒ රටේ ජනතාවට කිසියම් විපතක් සිදුවෙනවා නම් ඒවාට විසදුම් ලබාදීමටයි. හැබැයි ඕමාන තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතා පැවැත්වුවත් එයට සාධාරණයක් ඉටු වෙලා නෑ.

අද විදේශ ගත ශ්‍රමිකයා වහලෙක් බවට පත් වෙලා. පැය 24ම සේවයේ පිහිටුවලා වැටුප් ලබා නොදී ඔවුන්ගේ අයිතිවාසිකම් නැති කරනවා. තමන්ගේ දුක කියාගන්න බැරිව ශ්‍රමිකයින් එල්ලිලා මැරෙනවා. හැබැයි රජයක් විදියට මේවාට ගත යුතු පියවරක් අරගෙන නෑ.

සුඛෝපභෝගී වාහනවල යනවා වගේම විදේශ ගත ශ්‍රමිකයාගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න කටයුතු කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ වගකීම තිබෙන්නේ රජයට. ඒ සදහා වැඩපිළිවෙලක් හද්න්න. ඇමැති මනුෂ නානායක්කාර මේ සම්බන්ධයෙන් යම් ක්‍රියාමාර්ග ගන්න සූදානම් බව පේනවා. ලංකාවේ කිසියම් කාත්නාවක් හෝ පිරිමයෙක් විදේශ රටකට යනවිට ඔවුන් ඩිජිටල් කරණයට ලක් කරන්න. ඔවුන්ට කිසියම් තොරතුරක් දැනුම් දෙන්න වුනාම, එස්.එම්.එස්. එකක් විදියට හරි, වොයිස් මැසේජ් එකක් විදියට එක අංකයකට යැව්වම ඒක කම්කරු අමාත්‍යාංශයට, විදේශ සේවා නියුක්ති කාර්යාංශයට, ඒජනස්සියට, ජනාධිපතිතුමාට හැමෝටම යවන්න පුලුවන් ක්‍රමවේදයක් හදලා දෙන්න. අපි ශ්‍රමිකයින් රට යවන්න එපා කියන්නේ නෑ. ඔවුන්ට අයිතිවාසිකම් දෙන්න. රක්ෂණ පහසුකම් දෙන්න. හරි හමන් රස්සාවක් දෙන්න. අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ කරගෙන තමන්ට මුහුණදෙන්න වෙන ගැටලු එකවර දැනුම් දෙන්න පුලුවන් ක්‍රමවේදයක් හදලා දෙන්න

ඒ වගේම රට රැකියා සදහා යන අයට රක්ෂණයක් හදුන්වා දෙන්න. ශ්‍රමිකයාගේ ආරක්ෂාව ගැන සොයා බලා, ආරක්ෂාව තහවුරු කරන්න. විදේශ ගත ශ්‍රමිකයින්ට සාධාරණයක් ඉටු කරන්න.

මනුෂ නානායක්කාර මහතාට කිය්නනේ ඔබ යම් ක්‍රමවේදයක් අනුගමනය කරන බව පේනවා. ඒක නිසි ආකාරයෙන් සම්බන්ධීකරණය කරලා මේ ශ්‍රමිකයින්ට සාධාරණයක් ඉටු කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා.

සිංහල රාවයේ ප්‍රචාරක ලේකම් මධුභාෂන ප්‍රභාත් රණහංස මහතා අදහස් දක්වමින් මෙසේ පැවසුවේය.

ඕමාන තානාපති කාර්යාලය ඉදිරිපිට දුක් විදින අය ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන්න. විසිට් වීසා වලින් රැකියාවලට අරගෙන ගිහින් ඒ රටේ අතරමං කරලා දානවා. මේ මිනිස්සු රවට්ටනවා. මේ විදියට මිනිස්සු රවට්ටලා වහල් සේවයට යවන එක වැරදියි. අමාත්‍යාංශයක් විදියට මේවා වැලැක්වීමට පනත් අරගෙන එන්න.

විදේශ රටකට යන ශ්‍රමිකයා තාක්ෂණයක් එක්ක සම්බන්ධ කරලා, අමාත්‍යාංශයත් එක්ක සෘජු සම්බන්ධතාවයක් හදන්න. එතෙකාට ශ්‍රමිකයාට මොකද වුනේ කියලා අමාත්‍යාංශය දන්නවා. දැන් ශ්‍රමිකයෙක්ට මොනවා හරි වුනාම කවුරුවත් දන්නේ නෑ. අමාත්‍යාංශයට ආවාම විදේශ සේවා එකට යන්න කියනවා. විදේශ සේවා එකට ආවම ඒජන්සියට යන්න කියනවා.

අමාත්‍යාංශයක් විදියට මේවාට වගකියන්න බැරි ඇයි? මේ දේවල් ඩිජිටල්කරණයට ලක් කරන්න. දැන් අපි ඉන්නේ ගල් යුගයේ නෙමෙයි. නවීන තාක්ෂණ යුගයේ. ඩිජිටල් තාක්ෂණය යොදාගෙන විදේශ ගත ශ්‍රමිකයින්ගේ ජීවිත ආරක්ෂා කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?