Latestදේශීයමතවාද

ගජේන්ද්‍රකුමාර් සතිය ඇරඹේ!

හරි! රනිල් වික්‍රමසිංහ නාට්‍ය හදන හැටි හොඳට දන්නවා. පිට්ටනියක ගහක් යට ඉඳන් ඉන්න කණ්ඩායමක් ළඟට ඉණේ පිස්තෝලයක් ගහගත්ත කෙනෙක් යවලා, අවුස්සලා ගත්තාම ඇති.

නතාෂා නාට්‍යය ඉවරයි. ඔන්න බලහත්කාර ජාතිවාදී කුලප්පුව හදන දෙවැනි සිදුවීම එන්න යන්නේ. ඒ කියන්නෙ සිද්ධිය වෙලා ඉවරයි. ඒක දකුණෙ පත්තු කරන්න යන්නේ. පහුගිය සති ගත්තාම බෝන් අගේන් විරෝධය, නිරාගමික විරෝධය සහ මේ සතියේ එන්නේ දෙමළ විරෝධය.

මේ සතියේ බිල්ලා දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්. මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්. ඔහු පොලීසියේ රාජකාරියට බාධා කළා කියලා, ඔහු සම්බන්ධ සිදුවීම්වල වීඩියෝ ක්ලිප්වලින් ටිකක් කපලා ප්‍රවෘත්තිවල ගහලා ලොකු නාට්‍යයක් ජඩමාධ්‍යවලින් ලෑස්ති කරමින් ඉන්නවා.

මේකට අදාල එක ප්‍රවෘත්තියක් තමයි, සිංහල රාවය පාර්ලිමේන්තුවට ඇවිත්, කථානායකට පෙත්සමක් දෙනවාලු. පාර්ලිමේන්තු තනතුර තියාගෙන වරප්‍රසාද පාවිච්චි කරලා, පොලීසියට රාජකාරියට බාධා කළා කියලා චෝදනා කරනවාලු. අපි මෙතැන ඒ සිදුවීමට අවධානය යොමු කරනවා.

දෙවැන්න මේ ගැන ගජේන්‍ර්කුමාර් මන්ත්‍රීවරයාත් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවට පැමිණිලි කරනවාලු.

මේ වෙද්දී මන්ත්‍රීවරයා එක්ක හිටපු කිහිපදෙනෙක්ව අත්අඩංගුවට අරන් තියෙනවා. මන්ත්‍රීවරයාව ජුනි 08 වැනිදා පොලීසියට කැඳවා තියෙනවා. ඒ, මන්ත්‍රීවරයා විසින් තමන් 12 වැනිදා පොලීසියට එනවායැයි කියා තිබියදී.

මුලින්ම මේක කියන්න

මං අහන්නේ මෙච්චරයි. සිංහලද, දෙමළද කතා අදාල නෑ. ඔබ යම් පිරිසක් එක්ක ඉද්දී, ඉණේ පිස්තෝල ගහගත්ත කෙනෙක් ඇවිත්, සිවිල් ඇඳුමෙන්, තර්ජනාත්මක විදියට ඔබ ළඟ හිටියොත් මොනවද කරන්නේ? ආ පිස්තෝලෙනේ! ආ කමක් නෑ… කියල ඉන්නවද? නැත්නම් කවුද මේ කියා කලබල වෙනවාද?

පිස්තෝල නැතත් සිවිල් ඇඳුමෙන් ඇවිත්, පොලීසිය වගේ රාජකාරී කරන්න හදන අයගෙන් අපිත් ගේම ඉල්ලනවා. කවුද ඔයා? මොකටද ආවේ? ප්‍රශ්න අහනවා. එහෙම නැත්නම් රට් ඕනෑ එකෙක්ට පොලීසිය- බුද්ධි අංශ විදියට පෙනී ඉඳිමින් ඕනෑ මගුලක් කරන්න ඉඩ ලැබෙනවා. දැනටත් අපි අතර ලොකු සැකයක් තියෙනවා ඇවන්ගාඩ් වගේ කණ්ඩායම් ඔය විදියට නිල බලයක් නැතිව මිලිටරිමය වැඩ කරනවාද කියන එක.

මේ රට! බුද්ධි අංශවලින් පඩි ගත්තායැයි චෝදනා ලැබූ අය බෝම්බ ගහලා සිය ගණන් මිනිස්සු මරපු රටක්. මහා ත්‍රස්ත ප්‍රහාරවලට පවා ‘බුද්ධි අංශවල‘ සම්බන්ධය මොකක්ද කියල අද කැබිනට් මණ්ඩලයෙ ඉන්න ඇමතිලා දෙන්නෙක, විපක්ෂයෙ ඉද්දි ප්‍රශ්න කරපු හැටි මිනිස්සුන්ට අමතක නෑ. පාස්කු ප්‍රහාරයෙන් පස්සෙත්, අත්අඩංගුවට ගත් අයව හදිසියේ ‘බුද්ධි අංශ‘ හේතු දාලා රැගෙන ගිය හැටි මතකයි.

ඉතින්! එහෙම පසුබිමක අපි මේ ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයාගේ සිදුවීම ගැන කතා කරමු. මේ කතාව අපි මූලිකව වීඩියෝ පාදක කරගෙනයි හොයා බැලුවේ. හැබැයි ඊට අමතරව මේ ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශක කරපු කතාවක් තියෙනවා. මාධ්‍යවේදීන් ලෙස අපි කෝල් කරලා, පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ගෙන් විස්තර ඇහුවා.

අපි සිද්ධිය ගැන අමූලික පච කියනවා – පොලීසිය

මේ ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශක කරන ප්‍රකාශය දැක්කාම අපට පුදුම හිතෙනවා. ඔවුන්ට සත්‍ය පිලිබඳ කිසිදු අදාලතාවක් නෑ. මන්ත්‍රී දෙමළ. කොටියා කියල ලේබල් අලවලයි තියෙන්නේ. ඌ ගැන මොනව කිව්වත් සිංහල මිනිස්සු ඒක පිළිඅරන් ජතිවාදී විදියට ඇවිස්සෙනවා කියල පොලීසිය දන්නව වාගෙයි.

01. මෙතැන නිලධාරීන් අයිඩෙන්ටි පෙන්නුවාම ඒක ගණන් නොගත් බව මාධ්‍ය ප්‍රකාශක කරනවා. ඒක පට්ටපල් බොරු බව සිද්ධියේ වීඩියෝවලම තියෙනවා. එතැන මිනිස්සු දිගින් දිගටම අයිඩෙන්ටි ඉල්ලනවා. අයිඩෙන්ටි දෙන්න ඕනෑ නෑ කියලත් ඔවුන් කියන්න යනවා. මෙච්චර පැහැදිලි වීඩියෝ සාක්ෂි තියෙන දෙයක් ගැන පට්ටපල් බොරු පොලීසිය කියන්නෙ කොහොමද?

02. පොලිස් නිලධාරීන්ට බලහත්කාරය පෑමක්, බුද්ධි නිලධාරීන් සතු දූරකථනයක් ලබාගැනීමක් ගැන කියනවා.

03. ප්‍රදේශයට ඇවිත් රැස්වීමක් පවත්වන බව පොලීසිය දැනුවත් කළේ නැහැලු. මේක මොන නීතියක්ද යකෝ? අපිත් පහුගිය සතියේ අපි දන්න කියන මිනිස්සු හම්බවෙලා, පොඩි හමුවීම්, කතාබහවල් කරලා තියෙනවා. අපිත් දැන් පොලීසියට දැනුම් දෙන්න ඕනෑද? යන යන ගමන පොලීසියට කියන්න ඕනෑද? ඔන්න ලොකු ග්‍රවුන්ඩ් එකක් වෙන් කරලා, ලොකු ස්පීකර්ස් දානවා නම් ශබ්ද විකාශන බලපත්‍රය ගන්න පොලීසිය දැනුවත් කරන්න ඕනෑ. ගහක් යට ඉඳගෙන කට්ටිය සාක්චඡාවක් කරන්නත් පොලිස් අවසර ඕනෑද?

අපි මේ සිදුවීමේදී පොලීසිය කරන වැඩේ අන්තිම තක්කඩි, බිහිසුණු වැඩක.

ඔව්, අපි මේක ගැන ඕනෑ දෙයක් කියනවා, ඇත්ත අඹරනවා, ඒ අපට පුළුවන් නිසා කියන එක. මේ ඇවිල්ලා මීගොඩදී බයික් එකක ගිය මනුස්සයෙක්ට වෙඩි තැබූ පොලීසියමයි. දකුණේදීත් දිනපතා, මිනිස්සුන්ට වධ දෙන පොලීසියම තමයි මේ.

උතුරෙ අමුතු පොලීසියක් නෑ. වෙනසකට තියෙන්නෙ, ජනප්‍රිය මතයක් තියෙනවා දකුණෙ පිස්සු කෙළින ජරාම පොලිස්කාරයන්ට මාරුවීම් දෙන්නේ උතුරට කියල. ඉතින්, සමහරවිට දකුණටත් වඩා උතුරේදි පොලීසිය දරුණු වෙන්න පුළුවන්.

ගජේන්ද්‍රෙග් කතාව

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් තමන්ගේ පැත්තෙන් සිදුවීම ගැන කීවේ මෙහෙමයි.

‘අපි මේ දවසේ, එතැන පොඩි සාකච්ඡාවක් කරමින් හිටියා. වැඩිම 25 දෙනෙක් ඉන්න ඇති. ක්‍රීඩා සමාජයක් අපෙන් උදව් ඉල්ලුවා. එයාලා හම්බවෙලා, පොදු ක්‍රීඩාංගණයක ගහක් යට හිටගෙන කතා කළා. මේක පොදු රැස්වීමක් විදියට, ස්පීකර්ස් දාලා කරපු දෙයක් නෙවෙයි. වෙන්න ඕනෑ දේවල් ගැන කතා කරලා උදව් ටිකක් දීලා යන්න හැදුවේ.

මේ රැස්වීම පටන් ගන්නකොට 3.30යි. ඒ වෙලාව වෙනකොට විභාගය තිබුණේ නෑ. 3 වෙද්දී විභාග පේපර් එක ඉවරයි. ඉස්කෝලෙ කට්ටිය ඉන්නවා කියලාවත් දැනගෙන හිටියෙ නෑ. කොහොමත් මුලින් විභාග කතාවක් ආවේ නෑ.

එතකොට සිවිල් ඇඳුමෙන් සැරසුණ දෙන්නෙක් මෝටර් සයිකලයක ආවා.

මම ඉඳගෙන හිටපු තැනින් අඩි 10ක් විතර එහායින් මෝටර් සයිකල් එක පාක් කරලා බැස්සා. මම කතා කරමින් හිටියේ, මම හිතුවා ඒ ආපු දෙන්නා සාකච්ඡාවටයි ආවේ කියලා. ඒ තරම් ළඟට ආවා.

ඒත්, ඇවිත් අනෙක් අය එක්ක ඉඳගත්තේ නෑ. ටිකක් පිටිපස්සෙන් හිටියා.

මාත් එක්ක ආපු, මගේ රිසර්ච් ඔෆිසර් මේ අය එන්නේ නෑ කියල බලනකොට, එක්කෙනෙක්ගෙ ඉණ ගාව මොකක්හරි තියෙනවා දැක්කා. සැකයක් ඇවිල්ලා, නැගිටලා ගියා. ප්‍රශ්නය මොකක්ද කියා අහනකොට, තමයි එකපාරම ඒ අය කීවේ, සාමාන්‍ය පෙළ විභාගය යන නිසා ආවේ කියලා.

මා එක්ක හිටපු කෙනා කීවා, සාමාන්‍යපෙළ මෙහේ නෙවෙයිනේ, ඉස්කෝලෙ එහායින් නේද තියෙන්නෙ කියලා.

මෙතැන ප්‍රශ්නය මොකක්ද, රාජකාරිය මොකක්ද කියලා අහනකොට බුද්ධි අංශයෙන් කියා කීවා.

ඒකට පස්සෙ, බුද්ධි අංශයෙන් නම් ඇයි මෙහේ ආවේ. අපට රැස්වීමේ ඉන්න අයට තර්ජනය කරන්න නේද ආවේ කියලා එතැන හිටපු අය කෑගහලා කතා කරන්න ගත්තා. මම ඇවිත් කීවා හැඳුනුම්පත දෙන්න කියලා.

එයා කිව්වා දෙන්න බැහැ කියලා.

මම කීවා, මම දන්නවා ඔයාලා දෙන්න ඕනෑ බව, රාජකාරියත් දන්නේ නැතිව වැඩ කරන්නේ කියලා. සිවිල් ඇඳුමෙන් ඇවිත් මෙහෙම කරන්න බැහැ කියලා මම තවත් තර්ක කරනකොට, එක් අවස්ථාවක කෙනෙක් එකපාරම කීවා, මේක නීතිවිරෝධී රැස්වීමක් කියලා.

ඒ දක්වා මම පුළුවන් තරම් සාමකාමීව කතා කළේ. ඒත්, නීතිවිරෝධී රැස්වීමක් කීවාම මම ඒකට කේන්ති ගත්තා. සාකච්ඡාවක් කරන්නත් දැන් අවසර ගන්න ඕනෑද?

ඔහොම කතා කරනවා නම් අනන්‍යතාව පෙන්වන්නෙ නැතිව බැහැ. අයිඩෙන්ටිය දෙන්නේ නැත්නම් යන්න දෙන්නේ නැතිව ක්‍රියා කරනවා කිව්වා. ඉණේ මොකක් හරි තියෙනවා කිව්ව කෙනා යන්න හැදුවා. එයාව අල්ලන්න මම උත්සාහ කළා. එයා මට ගහලා දිව්වා.

මගේ රියදුරාත්, මගේ සහකාර නිලධාරියාත් ඒ පස්සෙන් දිව්වා. දුවලා ගිහින් එයාව ඇල්ලුවත්, හෙල්මට් එකෙන් ගහලා දිව්වා.

ඒ පස්සෙන් දුවලා ආපහු ආවාට පස්සේ අනෙක් එක්කෙනාව අපි වට කළා. ළඟට එනකොට අල්ලපු එක්කෙනා කෑගහන්න ගත්තා. ඉස්කෝලේ ඉඳලා දෙන්නෙක් එළියට ආවා. ස්වයංක්‍රීය රයිෆල් එකක් තියාගෙන එක් නිලධාරියෙක්. අනෙකා ට්‍රැක් සූට් එකක් ඇඳගෙන ආවා.

අලුතෙන් ආපු සිවිල් එක්කෙනා කේන්තියෙන් කීවා, මේ ඔක්කොම පොලීසිය ඔහොම තියාගන්න බෑ, රිලීස් කරන්න කීවා.

ඒ වෙලාවේ තමයි මම අහන්නේ තමුන් කවුද කියලා. එයා එක්ක වචන හුවමාරුවක් වුණා. එයා කුණුහරුපයෙන් කතා කරන්න ගත්තාම මම එයා එක්ක කතා නොකර, මුලින්ම බයික් එකෙන් ආපු දෙන්නා අතරින්, කට්ටිය වට කරගත්ත කෙනා ගාවට ගියා.

අපි ඔක්කොම අහන්නේ අයිඩෙන්ටිය දෙන්න කියලා. එහෙම අහමින් ඉන්නකොට, ඒ රැස්වීමට ආපු ටික දෙනෙක් කෑගහන්න ගත්තා අර ට්‍රැක් සූට් එකෙන් හිටපු කෙනා පිස්තෝලය ලෝඩ් කරලා, මා පැත්තට දික් කරනවා කියලා.

සමාජ මාධ්‍යවල අනෙක් හැම සිදුවීමක්ම වීඩියෝ විදියට තිබුණාට, තුවක්කුව දික් කරන එක ගත්තෙ නැත්තෙ ඇයි කියල අහනවා. ඒත් අපි හැමෝගෙම ෆෝකස් එක තිබුණේ මුලින් සිවිල් ඇඳුමෙන් ආපු දෙන්නා අතරින් අල්ලාගත් කෙනා ගාව.

පිස්තෝලය ගත්ත වෙලාවේ තමයි ටිකක් කේන්තිය ආවේ. පොලිස් ජීප් එකක් ඉන් පස්සේ ඇතුළු වුණා.

මමත් පොලිස් ජීප් එක ගාව තමයි ගියේ. ඒකෙන් යුනිෆෝම් එක්කෙනෙක් බැහැලා කීවා ඒ අපේ කෙනෙක්, අල්ලලා තියාගන්න බැහැ කියලා. මම ගිහින් කිව්වා, එහෙම බැහැ. මෙයා කවුද කියලා අපි දන්නේ නෑ. දැන් වෙනතුරු එයා කවුද කියලා ඔප්පු කරලා නෑ. අපි ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න ඕනෑ, ඒ නිසා ඒ කවුදැයි දැනගන්න ඕනෑ කියලා.

අයිඩෙන්ටිය ඉල්ලුවාට දෙන්නෙත් නෑ. එක්කෙනෙක් ආයුධයක් තියාගෙනත් ඉන්නවා කියලා සැක කළාම දිව්වා. ඉස්කෝලෙ හිටපු කෙනෙක් කුණුහරුපෙන් බැණලා, ආයුධයක් එල්ල කළා. එහෙම නැත්නම් අපි මෙහෙම රඳවාගන්නෙ නෑ කියලා කීවා.

මේ අය අපේ රැස්වීම සම්පූර්ණයෙන් තර්ජනය කරලා, බය කරලා, කඩාකප්පල් කරන්න හැසිරුණේ කියලා මම කිව්වා. එහෙම පොලීසියට හැසිරෙන්න බැහැ කීවා.

විභාගය ප්‍රශ්නයක් නම් සිවිල් ඇවිත් මෙහෙම කරන්නේ ඇයි? යුනිෆෝම් එකෙන් ඇවිත් වෙනත් තැනකට යන්න කීවා නම් ප්‍රශ්නයක් නෑ. තමන් කවුද කියලා අනන්‍යතාව පෙන්නුවා නම් කමක් නෑ.

මම යුනිෆෝම් එකෙන් ආපු කිසිම කෙනෙක් එක්ක සැරෙන් කතා කළේ නෑ. මම එහෙම කතා කළේ සිවිල් ඇඳුමෙන් ඇවිත් පොලීසියේයැයි කියාගත්ත අය එක්ක.

අපි වාද කරද්දී, පොලිස් නිලධාරියා කිව්වා, සමාවෙන්න, මෙයාලාට දඬුවම් මාරු දෙන්නම් කියලා.

මම කිව්වා, මේක දඬුවම් මාරු පිළිබඳ තත්වයක් නෙවෙයි. අයිතිවාසිකම් කඩ කරලා, අපරාධකාරී උත්සාහයක් තියෙනවා කියලා. තුවක්කුව දික් කරපු කෙනාගේ අයිඩෙන්ටිය ඕනෑ කියද්දී, එයා සම්බන්ධ නෑ කිව්වා.

මම කිව්වා, ඒකම තමයි මමත් ඔහුට කිව්වේ. කියලා. එයා ඒකට ඇහුම්කන් දෙන්නේ නැතිව තුවක්කුව දික් කරපු බව මම කිව්වා.

කරුණාකරලා එයාව ගෙන්වාගන්න, එයාගෙ අයිඩෙන්ටිය අවශ්‍යයි කියලා කීවා. එහෙම බැහැ කියලා අන්තිමට පොලීසියට එන්න කීවා.

මම කිව්වා, මම පොලීසියට එන්න සූදානම් නැහැ.

පසුව නැදුන්කර්නි පොලීසියේ ස්ථානාධිපතිවරයා මට 05 වැනිදා එන්න කීවා. එතකොට මම පාර්ලිමේන්තුවට සහභාගී වෙන්න කොළඹ එන ගමන්. මම කීවා, ඊළඟ සඳුදා එන්නම් කියා. කථානායකවරයාටත් මේ සිදුවීම ගැන දැනුම් දෙන බව කියනවා. මම නියෝජ්‍ය කථානායක එක්ක කතා කරලා කිව්වා මේ විදියට ම පාර්ලමේන්තු සතියට කොළඹ ආවා. ඒ එක්කම යොදාගත් වැඩ තියෙනවා, ඉන් පස්සේ ඊළඟ සඳුදා පොලීසියට යන්නම් කියලා.‘

පේන විදියට

මේ සිදුවීම අප ඇසෙන් නොදුටුවත්, වීඩියෝ දැකීමෙන් තේරුම් ගන්න පුළුවන් මොකද වුණේ කියන එක. උතුරු පළාතේ නොයෙකුත් වැඩසටහන්ලට ගිය අපි, හොඳින්ම දැක තිබෙනවා දකුණටත් වඩා ඉතාම කැත විදියට ඍජුවම පොලිස් බුද්ධි අංශ මැදිහත් වෙන විදිය. කිසිම දේශපාලන කටයුත්තක් කරන්න බැරි විදියට බාධා කරන විදිය.

25 දෙනෙක් ගහක් යට ඉඳගෙන කතා කරන්නත්, පොලිස් අවසර ගන්න ඕනෑයැයි කීමම කොච්චර මුග්ධද? විභාග කාලය ඉවර වුණාට පස්සේත්, ඒ පැත්ත පලාතක මිනිස්සුන්ට ඉඳගෙන කතා කරන්න නිදහසක් නැද්ද? ඕනෑ සිවිල් ඇඳුමක් ඇඳගත්ත කෙනෙකුට ඇවිත් ‘අඩෝ මං පොලිසියෙ ඇයි මොකද?‘ ලෙවල් එකට වැඩ කරන්න පුළුවන්ද? මේක නීතියද? අවනීතියද?

ඉතින්, දෙවැනියට ඒ සිදුවීමම දකුණේ සිංහල මාධ්‍යවලින් නාට්‍යවලට හරවන්නත් පුලුවන්.

අපි කලින් වාර්තා කළා වගේ පොහොට්ටුවේ සැලසුම ආණ්ඩුවෙන් එළිට බැසීම. ඒ එළියට බැසීම දක්වා යන ගමන් මාර්ගයේදී, පොහොට්ටුවට එළියට ඇවිත් තමන්ගේ අතට ගන්නට සටනක් තියෙන්නත් එපායැ. ඒක රටේ ජනතාවගේ සැබෑ පීඩනයට පිලිබඳ සටනක් වෙනුවට, සැබෑ ප්‍රශ්නය යටපත් කරපු ව්‍යාජ ජාතිවාදී ප්‍රශ්නයක් වෙන්නත් එපායැ.

එතකොටනේ ජාතිකවාදී මහින්ද කඳවුරයි, ජාතිවාදයට එරෙහි රනිල් කඳවුරයි ලස්සනට හැදිලා එන්නේ. ඒ දෙගොල්ල අතර සටන යද්දී, බෙදා වෙන් කරන කැත පාලනය නැවතත් හෙමිහිට ස්ථාපිත කරන්න පුළුවන් වෙන්නේ.

ඉතින් පුරවැසියනි! ගජ්න්ද්‍රකුමාර් සතියට සූදානම් වෙන්න.

@Satahan.blog

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?