Latestදේශීය

රෝයල් පාක් ජූඩ් ශ්‍රාමන්ත ට දුන් ජනාධිපති සමාව යලි ශ්‍රේෂ්ඨාධිකරණයට

රෝයල් පාර්ක් හි තරුණියක මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වී, මරණ දඬුවම නියමව සිටි ජූඩ් ශ්‍රාමන්ත නමැත්තාට ජනාධිපති සමාව ප්‍රදානය කරන ලෙස, එකළ ජනාධිපතිව සිටි මෛත්‍රීපාල සිරිසේනට යෝජනා කළ  පිරිස සම්බන්ධයෙන් අධිකරණයේදී අනාවරණය වී තිබේ.

මෙම කරුණු අනාවරණය වූයේ, ජූඩ් ශ්‍රාමන්තට ජනාධිපති සමාව ප්‍රදානය කිරීමට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ඊයේ (12) සලකා බැලූ අවස්ථාවේදී, එකළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සහකාර ලේකම් පාර්තිකන් මහතා නීතිපතිවරයා වෙත ඉදිරිපත් කළ ලිපියක් අධිකරණයට යොමු කළ අවස්ථාවේදීය.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන බද්දේගගම සමිත හිමි සහ සරත් කෝන්ගහගේ ඇතුළු පිරිසක් මෙලෙස ඔහුට ජනාධිපති සමාව ලබා දෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මුණගැසී අයැද සිටි බව ජනාධිපති සහකාර ලේකම්වරයකු ඉදිරිපත් කළ ලිපියක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අනාවරණය වී ඇත.

මේ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ ප්‍රකාශ කර ඇත්තේ, ජූඩ් ශ්‍රාමන්තට සමාව දීම සඳහා දඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරුවරයාගේ සහ අභියාචනාධිකරණ විනිසුරුවරයාගේ වාර්තා කැඳවිය යුතු වුවත් එසේ කර නොමැති බවය.

මෙම පෙත්සම එස්. තුරේරාජා, යසන්ත කෝදාගොඩ සහ ජගත්ද සිල්වා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ සලකා බැලිණි.

ජූඩ් ශ්‍රාමන්ත ජයමහ නමැත්තාට ජනාධිපති සමාව ප්‍රදානය කිරීමට එරෙහිව කාන්තා එකමුතුව සංවිධානය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කරනු ලැබ ඇත.

කාන්තා එකමුතුව සංවිධානය විසින් ගොනු කරන ලද මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් වශයෙන් නීතිපති ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

මෙම පෙත්සම ඊයේ අධිකරණයට හමුවේ සලකා බැලූ අවස්ථාවේදී පෙත්සමකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන කියා ඇත්තේ, මේ අවස්ථාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සහකාර ලේකම් පාර්තිකන් මහතා නීතිපතිවරයා වෙත ඉදිරිපත් කළ ලිපියක් අධිකරණයට යොමු කරන බවත් එම ලිපියේ සඳහන් කරුණු අනුව ජූඩ් ශ්‍රාමන්ත ජයමහට සමාව දෙන ලෙස ඉල්ලා වාචිකව ඉල්ලීම් කළ පිරිසගේ නම් සඳහන් කර ඇති බවත්ය.

ඔවුන් ජූඩ් ශ්‍රාමන්ත ජයමහගේ මව වන එස්.එම් ජයමහ මහත්මිය අතුරලියේ රතන හිමි, බලංගොඩ බුද්ධඝෝස හිමි, කතෝලික රදගුරු බවන් වික්‍රමසිංහ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බද්දේගම සමිත හිමි, මහේෂ් මඩවල සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් කෝන්ගහගේ සහ නාලනී මහතුංග නමැත්තන් බවත්ය.

තවද ජූඩ් ශ්‍රාමන්ත ජයමහගේ මරණ දඬුවම ජීවිතාන්ත සිරදඬුවමක් දක්වා පත් කිරීමට නියෝග කළ කමිටු වාර්තාවේ වෙනත් කිසිදු සටහනක් කර නොමැති බවත්, ජූඩ් ශ්‍රාමන්ත ජයමහට ජනාධිපති සමාව ප්‍රදානය කිරීම පිළිබඳ නීතිපති උපදෙස් ජනාධිපති කාර්යාලයට ලැබී නොමැති බවත්, ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දැනුම් දී ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ :- මෙම ක්‍රියාදාමය අනුව පෙනී යන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නොමග හැර ඇති බව ද?

ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන :- යම් පමණකට නොමග යවා ඇති බවයි. කෙසේ නමුත් මෙම ක්‍රියාවලියේදී ජනාධිපතිවරයා ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුගමනය කර නැහැ.

විනිසුරු යසන්ත කෝදාගොඩ :- මෙහිදී දඬුවම නියම කළ මහාධිකරණ විනිසුරුවරයාගේ මෙන්ම අභියාචනාධිකරණ විනිසුරුවරයාගේ වාර්තාව කැඳවිය යුතුයි. එසේ කර නැහැ.

ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන :- ඒ කිසිදු පටිපාටියක් අනුගමනය කර නැහැ.

@ලංකාදීප

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?