Latestදේශීය

රට ගොඩනගන විද්‍යාත්මක සැලසුම් 10ක් සමගින් පාලනය බාරගන්න සූදානම්

රට ගොඩනගන විද්‍යාත්මක සැලසුම් දහයක් ජාතික ජන බලවේගය සතුව ඇතැයි එහි නායක අනුර දිසානායක, ජාතික ජන බලවේගයේ නාවලපිටිය ආසන සමුළුව අමතමින් පැවසීය.

නාවලපිටිය බස්නැවතුම්පොළ අසළදී පැවති එම සමුළුවේදී ඔහු වැඩිදුරටත් දැක්වූ අදහස් පහතින් දැක්වේ,

“අපේ රට අනාගතයේදී ණය උගුලක හිරවෙන බව වසර ගණනාවක් තිස්සේ කිව්වා. නමුත් වෙනසක් සිදුවුනේ නැහැ. අපට උවමනා වුණාට ඒ වෙනස සිදුවන්නේ නැහැ. දැන් ඒ වෙනස සඳහා අවශ්‍ය සියලුම සාධක සම්පූර්ණ වී තිබෙනවා. පැරණි දේශපාලන කඳවුරු අවතැන්භාවයට පත්වෙලා තිබෙනවා. අද පොහොට්ටුව නමින් හඳුන්වන දේශපාලන ව්‍යාපාරයේ ආරම්භක පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ඔය ව්‍යාපාර රඳා පවතින්නේ, ඒ පක්ෂ ගොඩනඟනවා අනුහස් සහිත නායකයෙක්. එයා වටා මෙය ගැටගහනවා. දැන් අනුහස් බැහැලා. පසුගිය මැයි දිනයේදී අලුත් නායකයෙක් හැටියට බැසිල් රාජපක්ෂ ගේන්න හැදුවා. එයා නායකයා හැටියට ජනතාව නොවෙයි පක්ෂවත් පිළිගන්නේ නැහැ. පොහොට්ටුව කියන ව්‍යාපාරය අද අවසන්. නාමල් කියනවා අධ්‍යාත්මික නායකයා මහින්ද. මේ වෙලාවේ නායකයා රනිල් කියලා. අනික් පැත්තෙන් එක්සත් ජාතික පක්ෂයේ තිබුණු ලොකු අරගලයක් නිසා රනිල් එක්ක බැරි බවත්, දිනන නායකයා සජිත් බවත් කීවා. 2019 දී වේදිකාවට නගිනකොට සජිත් ප්‍රේමදාස ගැන කවුරුත් දන්නේ නැහැ. දැන් තවදුරටත් සජිත්ගේ සජබය කියන ව්‍යාපාරය ජනතාව තෝරා ගන්නා එකක් නොවෙයි. ඊළඟට රනිල් වික්‍රමසිංහ 2015 මහ මැතිවරණයේදී ලංකාවේ වැඩිම මනාප ගත් රනිල් වික්‍රමසිංහට 2020 දී පාර්ලිමේන්තුවට එන්නත් බැරි වුණා. අද පොහොට්ටුවේ කට්ටියගේ ගලවා ගැනීමේ නියෝජිතයා හැටියට ජනතා බලයක් නැති රනිල් වික්‍රමසිංහ පත්වී සිටිනවා.

අද ලංකාවේ පරිවර්තනයකට අවශ්‍ය දොරටු විවෘත දැක්මක් සහිත, සංවිධාන ශක්තියක් සහිත ජාතික ජන බලවේගය ඉදිරියටම ඇවිත් තිබෙනවා. 2019 දී ගත්තොත් රාජපක්ෂලා ඉන්නවා, සජිත්ලා ඉන්නවා අපිත් යාන්තම් ඉන්නවා. එදා ඉඳලාම අපට උවමනාව තිබුණාට ධෛර්යය තිබුණාට මේ පරිවර්තනය සිදුවෙන්නේ නැහැ. අර කඳවුරු බලවත් වී සිටීම නිසා නමුත් ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට මේ රට හපයක් බවට පත්කළ පක්ෂ දෙකම හාන්සිවී ජාතික ජන බලය ප්‍රබල වී, ශක්තිමත් වී ජනතාව වැළඳගනිමින් සිටිනවා. නාවලපිටිය ආසනය ගත්තත් කොට්ඨාශ සභා 33කින් 27ක් පිහිටුවලා ආසනය පුරාම නව නායකත්වයක් හඳුන්වා දී තිබෙනවා. හාමුදුරුවන් වහන්සේගේ හින්දු, මුස්ලිම් පූජකතුමන්ලාගේ බලාපොරොත්තුව බවට ජාතික ජන බලවේගය පත්වී තිබෙනවා. විශ්‍රාමික හමුදා නිලධාරීන්ගේ සිට පහළම සොල්දාදුවා දක්වා දස දහස් සංඛ්‍යාත විශ්‍රාමික ආරක්ෂක අංශවල අය ජාතික ජන බලවේගය වටා එක්වෙමින් සිටිනවා. නීතිඥ සංගම්, ඉංජිනේරු සංගම්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගම්, ගොවි ව්‍යාපාර, වෘත්තීය සමිති ව්‍යාපාර එකතු වෙමින් මේ රට පරිවර්තනය කිරීමට අවශ්‍ය දේශපාලන ජයග්‍රහණ අපි අත්පත් කරගනිමින් සිටිනවා.

මේ රටේ තරුණයන්ට සියලු බලාපොරොත්තු කඩකර රට අත්හැර යාමට බලකෙරෙන තත්වයක් පසුගිය අවුරුදු 75 පුරාම මේ රටේ සිටි පාලකයන් සංවර්ධනයේ නාමයෙන් ක්‍රියාත්මක කර තිබෙනවා. ආර්ථිකය බංකොලොත් කර, ඔය පාලක කණ්ඩායම්වලට ආර්ථිකය ගොඩගන්නා බව කරන ප්‍රකාශ තවදුරටත් ජනතාව පිළිගන්නේ නැහැ. රනිල් රට ගොඩගනී කියා හිතපු අයත් දැන් එයා කිසිවක් නොකරන බව තේරුම් ගනිමින් ඉන්නවා. පසුගිය මාස 15ක් පුරා විදේශ ණය නොගෙවීමෙන් ඩොලර් බිලියන 4.5ක් ඉතිරි කරගෙන තිබෙනවා. බැරිවෙලාවත් ණය ගෙව්වා නම්, තෙල්, ගෑස්, කිරිපිටි කිසිම දෙයක් නැහැ. දැන් කිරිපිටි අලෙවිය 53%කින්, සීනි අලෙවිය 40%කින් අඩුවී අත්‍යාවශ්‍ය ඖෂධ හිඟයක් පවා නිර්මාණය වී තිබෙනවා. ඇඟලුම් කර්මාන්තය 28%කින් කඩා වැටී ඉදිකිරීම් කර්මාන්තය මුළුමනින්ම විනාශ වී තිබෙනවා. අපේ රට සිංගප්පූරුවක්, මැලේසියාවක්, ආසියාවේ ආශ්චර්යයක් බවට පත්කරනවා කියලා ජනතාව ජීවත් වෙන්න බැරිව රට දාලා යන තැනට පත්කළා. මේ රටේ පාලකයන් හදපු බොරු ආර්ථිකය ගැන ජනතාව තේරුම් ගනිමින් වෙනසකට පෙළ ගැසෙමින් ඉන්නවා. ඒ වගේම පාලකයන්ට බයේ සිටි ජනතාව අයුක්තියට අසාධාරණයට එරෙහිව පාරට බැහැලා ලොකුම චණ්ඩියා හැටියට සිටි පාලකයන් පලවා හැරියා. ජනතාව අයුක්තියට අසාධාරණයට එරෙහිව නැගී සිටින මේ වෙලාවේ වෙනසක් සිද්ධ කරන්න බැරි නම් කවදාද ඒ වෙනස කරන්නේ.

හමුදාවේ නිලධාරීන්, පොලිස් නිලධාරීන්, පරිපාලන සේවයේ නිලධාරීන්, හැමදෙනාම අපිත් සමග කතා කරනවා. යුනිෆෝම් එක ඇඳගෙන හරි මේ වෙනස සිදුකරන්න සහභාගී වෙන බව කියනවා. ඒ නිසා මේ වෙනස වළක්වන්න ඡන්දය නොතියා ඉන්න රනිල් වික්‍රමසිංහ උත්සාහ කරනවා. ඡන්දයක් තිව්වොත් දිනන්නේ ජාතික ජන බලවේගය නිසා බයවී ඡන්දය කල්දමා තිබෙනවා. ජාතික ජන බලවේගය පාරට බැහැලා මේ ඡන්දය දිනාගන්න ලැහැස්තියි. ඡන්දය තියන්නේ නැති නිසා, ව්‍යවස්ථාව සංශෝධනය කර, ජනාධිපතිවරණයක් තියන බව ප්‍රචාරය කරනවා. මොන දහම් ගැට ගැහුවත්, මොන ප්‍රචාර යැව්වත් ලබන අවුරුද්දේ ඔක්තෝබර් මාසයේ 17වැනිදාට පෙර ජනාධිපතිවරණය පවත්වන්න සිදුවෙනවා. බොහෝ දුරට ලබන අවුරුද්දේ ඔක්තෝබර් පළවැනිදා ජනාධිපතිවරණය පවත්වන්න ඕනෑ. එහෙම නම්, අගෝස්තු මුල් සතියේ නාමයෝජනා බාර ගන්න ඕනෑ. අපි ඒකටත් ලැහැස්තියි. ඊට මෙහා පුංචි ඡන්දය ලබාගන්නත් ජාතික ජන බලවේගය සූදානම්. ජේ.ආර්. ජයවර්ධන මැතිවරණ සිතියම ඇකිලුවා වගේ කරන්න රනිල් වික්‍රමසිංහ උත්සාහ කළත් ජේ.ආර්. ගිය පාරේ අඩි දහයක් වත් රනිල්ට යන්න බැහැ. එදා ජේ.ආර්. හයෙන් පහක බලයක් සමග ශක්තිමත්. අද රනිල් හොඳටම දුර්වල වී, ජාතික ජන බලවේගය ප්‍රබල ලෙසම ශක්තිමත්. ඒ නිසා ඡන්ද කල්දාලා යන සූත්‍රයට ඉඩ නොදී මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් දිනාගන්නත් ජාතික ජන බලවේගය සූදානම්.

රනිල් ඉන්න ඉන්න, ජාතික සම්පත් ඔක්කෝම විකුණනවා. ඛනිජ තෙල්, විදුලි බලය, ඇතුළු සියල්ලම විකුණනවා. රනිල් විදුලි බලාගාර විතරක් නොවෙයි, ජලාශ ටිකත් විකුණනවා. ඒ ගමන් කියන්නේ 2048දී රට දියුණු වෙනවා කියලා. මෑන් ඉපදිලා තිබෙන්නේ 1949දී. 2048 වෙනකොට අවුරුදු 99යි. රට සංවර්ධනය කියනවා කියන ප්‍රශ්නය අහන්නවත් එයා නැතිවෙයි. ඒ වෙනකොට අපිත් නැතිවෙයි. දීර්ඝ කාලයක් මේ රටේ ජනතාව ආණ්ඩු හදලා, ආණ්ඩු පෙරළලා තිබෙනවා. කිසිම සුගතියක් සිදුවී නැහැ. මේ රටේ පළවෙනි වතාවට රටටත්, ජනතාවටත්, සෙතක් ශන්තියක් සුගතියක් සිදුවෙන පාලනයක් පිහිටුවන්න ඕනෑ. ඒක වළක්වන්න රනිල් වික්‍රමසිංහ ඡන්දය කල්දානවා. ප්‍රතිත්‍රස්ත පනත, මාධ්‍ය මර්දනය පනත්, වගේ මර්දන පනත් ගේන්න උත්සාහ කරනවා. මාධ්‍ය නියාමනය කරන්න ඕනෑ. නැත්නම් නයි ගේන අය වගේ බොහෝ දේවල් කරනවා. නමුත් රනිල් ලැහැස්ති වෙන්නේ ජාතික ආර්ථිකයට බලපාන කරුණු වාර්තාකරනයත් නවත්වන්නයි. වාණිජ බැංකුවලින්, මහ බැංකුවෙන්, ඊ.පී.එෆ්., ඊ.ටී.එෆ්. අරමුදල්වලින් ආණ්ඩුවට දී තිබෙන ණය කපා හරින්න යනවා. ලංකා බැංකුවේ තැන්පතුවලින් 57%ක් මහජන බැංකුවේ තැන්පතුවලින් 37%ක් ජාතික ඉතිරි කිරීමේ තැන්පතුවලින් 65%ක් වශයෙන් ආණ්ඩුවට ණය දීලා තිබෙනවා. මේ ණය කැපුවොත් බැංකුවලට අවදානම්. මේ තත්වය මාධ්‍ය නාලිකාවලින් වාර්තා කළොත් මාධ්‍ය නාලිකාව තහනම් කරන්න යනවා. ජාතික ආර්ථිකය කියන ලේබලයට මුවා වෙලා රටේ ජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතිය වාර්තා කිරීමටවත් නොදී මර්දනය කරන්න යනවා.

අනික් පැත්තෙන් ජාතික ආරක්ෂාවට බලපාන කරුණු, රට අවස්ථාවර කරන කරුණු, වගේ ජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතිය වහලයි රනිල් වික්‍රමසිංහ යන්න හදන්නේ. ඡන්ද කල් දාලා, මර්දන නීති ගෙනත්, මාධ්‍යයට තර්ජනය කරලා, යන්න හදන්නේ. රනිල් වික්‍රමසිංහගේ මාධ්‍ය මර්දනය කිරීමේ නීතිය පාර්ලිමේන්තුවේ සම්මත කර නොදෙන බව අපි සහතික කරලා කියනවා. රනිල් වික්‍රමසිංහ 77දී පාර්ලිමේන්තුවට එනකොට චන්ද්‍රිකා කොහේද කියලාවත් දන්නේ නැහැ. චන්ද්‍රිකා ජනාධිපති වෙනකොට රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ යට පුටුවට වෙලා බලාගෙන හිටියා. රනිල් වික්‍රමසිංහ 77 පාර්ලිමේන්තුවට යනකොට මෛත්‍රීපාල සිරිසේනට පක්ෂයක් වත් තිබුණේ නැහැ. මෛත්‍රීපාල 89 පාර්ලිමේන්තුවට ගිහිල්ලා 2015 ජනාධිපති වෙනකොටත් රනිල් වික්‍රමසිංහ පහළ පුටුවකට වෙලා බලාගෙන හිටියා. ගෝඨාභය රාජපක්ෂ ප්‍රාදේශීය සභාවකවත් සිටියේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති පුටුවේ වාඩි වුණත් 77 සිට බලාසිටි රනිල් වික්‍රමසිංහට බැරිවුණා. 77 සිට අවුරුදු 45ක් තිස්සේ බැරිවුණාටත් පසු, ලැබුණු පොට්ට චාන්ස් එකෙන් යාම්තම් වාඩිවෙලා ඉන්නවා. දැන් නැගිටින්න ලැහැස්ති නැහැ. එයා ලැහැස්ති නැති වුණත් ජනතාව එකතු වී එයාව නැගිට්ටවන බව අපි සහතික වෙනවා. වංගු ගහලා බලයේ ඉන්න හැදුවත් එය පරද්දවා ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් ගොඩනගනවා.

ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකින් රට ගොඩනඟනවා. රට ගොඩනඟන්න නම් පාලකයන් කැපකිරීම් කරන්න ඕනෑ. එක්සත් ජාතික පක්ෂයේ නායකයා වටා ඉන්න අනික් අයව ජනාධිපතිවරයා වටා එකතු කරන මහජන මුදලින් නඩත්තු කරනවා. රුවන් විජේවර්ධන නියෝජ්‍ය නායකයා ජනාධිපති උපදේශක කරලා ආණ්ඩුවෙන් නඩත්තු කරනවා. උප නායක අකිල විරාජ් කාරියවසම් ජනාධිපති උපදේශකයෙක් කරලා ආණ්ඩුවෙන් නඩත්තු කරනවා. ජාතික සංවිධායක සාගල රත්නායක ඒත් ජනාධිපති උපදේශ්‍ය, නඩත්තු කරන්නේ ආණ්ඩුවෙන්. හිටපු උපලේකම් නවීන් දිසානායක, සබරගමුවේ ආණ්ඩුකාරයා කරලා ආණ්ඩුවෙන් නඩත්තු කරනවා. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ආශු මාරසිංහ ඒත් ජනාධිපති උපදේශක කරලා ආණ්ඩුවෙන් නඩත්තු කරනවා. ඒගොල්ලන්ගේ පක්ෂයේ රෝසි දක්වා මුල් පෙළේ සියලුම දෙනා නඩත්තු කරන්නේ ජනාධිපති පුටුවේ වාඩිවුණු රනිල් වික්‍රමසිංහ වටා එකතු කරගෙන, මහජන මුදලින්. මේ අයට වාහන, තෙල්, වෙනත් දීමනා, සියල්ලම ලබාදෙනවා. ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති නායකයන් හතර දෙනෙක්ව ආණ්ඩුවෙන් වාහන දීලා නඩත්තු කරන බව ඛනිජ තෙල් ඇමති කීවා. කෙහෙලියගේ ගෙදර වැඩකරපු අයට ජන මාධ්‍ය අමාත්‍යාංශයෙන් පඩි ගෙවූ බව කෝප් කමිටුවේදී හෙළිවුණා. පළවා හැරි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ තමන්ට ඕනෑ ආකාරයට නිල නිවාස මාරුකරමින් විශාල මහජන ධනයක් නඩත්තු කටයුතු සඳහා යොදා ගනිමින් ඉන්නවා. ජාතික ජන බලවේගයේ පත්වෙන ඇමතිවරුන්ට ආණ්ඩුවෙන් ගෙවල් නැත. ලයිට් බිල්, වතුර බිල්, ආණ්ඩුවෙන් ගෙවන්නේ නැත. මන්ත්‍රීවරුන්ට වාහන පර්මිට් ලබාදෙන්නේ නැත. මේ රට හදන්න ඕනෑ කැපකිරීම් කරන ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති අනුවයි.

රත්තරං පොලු ගේන, රත්තරන් චේන් කඩන, මිනී මැරුම්වලට වැරදිකරුවන් වී, බන්ධනාගාරයට පැනලා මරණීය තර්ජන එල්ල කළ, අය පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන් වී සිටිනවා. කුඩු ව්‍යාපාරයේ යෙදෙන, නීති විරෝධී පස් කපන, වංචා දූෂණවලට යෙදෙන, ජනවසමේ ඉඩම් පවරා ගන්න අය රටක් හදවාද? මේ රට හදන්න නම්, විනයක් ඇති ව්‍යාපාරයක් ඕනෑ. දැනුම ඇති ව්‍යාපාරයක් ඕනෑ. මේ ත්‍රාඩ දේශපාලනයෙන් නාවලපිටිය ගලවාගන්න ඕනෑ. ඒ වෙනුවෙන් අපේ සිරිල් සහෝදරයා, තුෂාරි සහෝදරී ඇතුළු පිරිස ඕනෑවටත් වඩා හපන්කම් පෙන්වනවා. රටක් පාලනය කරන්න ජනතාවගේ වේදනාව තමන්ගේ වේදනාව සේ සලකන, අවංකභාවය තිබෙන, කැපකිරීම් කරන අය ඕනෑ. ජාතික ජන බලවේගය නියෝජනය කරන්නේ, හැකියාවක් තිබෙන, දැනුම තිබෙන, ශිෂ්ටභාවයක් තිබෙන කණ්ඩායමක්. බෞද්ධ ධර්මය, හින්දු ධර්මය, කිතුනු ධර්මය, ඉස්ලාම් දැනුම මුල්කර ගත්, ශිෂ්ට සම්පන්න පිරිසක් සිටින්නේ ජාතික ජන බලවේගය තුළ. ජාතික ජන බලවේගය යනු සාමූහිකත්වයෙන් වැඩ කර, ත්‍රාඩයන්ගෙන් මේ රට ගලවා ගන්නා ව්‍යාපාරයක්. නෙදර්ලන්තයේ තානාපතිනිය ඇවිත් අපට හමුවුණා. මිලියන 17ක ජනගහනයක්, ඉන්න නෙදර්ලන්තයේ වර්ග කිලෝ මීටරයක 513ක් ජනතාවක් ඉන්නවා. අපේ රටේ 343යි. නමුත් කෘෂි නිෂ්පාදනය අපනයනය කරන රටවල්වලින් ලෝකයේ දෙවැනි තැන අරගෙන තිබෙනවා. වැස්ස එන්නේ එක ඍතුවකට. කාලයක අයිස් මිදෙනවා. අපේ රටේ ගංගා 103ක් මධ්‍යම කඳුකරයෙන් ගලාගෙන යන, ස්වභාවික සම්පත් තිබෙන හොඳින් හිරු එළිය වැටෙන රටක් වෙලත්, සහල්, එළවළු පිටරටින් ගේනවා.

පරාක්‍රමබාහු රජතුමාගේ කාලයේ ඉදිකළ පරාක්‍රම සමූද්‍රය අදත් තිබෙනවා. මින්නේරිය වැව හැදූ මහසෙන් රජතුමාට මින්නේරිය දෙවියෝ කියලා අදත් ජනතාව වන්දනාමාන කරනවා. අපේ ඉතිහාසයේ පළවෙනි වැව හැදූ වසභ රජතුමා වගේම කලා වැව හැදූ ධාතුසේන රජතුමා, අදත් ජනතාවට බත සපයනවා. නමුත් මේ පාලකයෝ අද බීජ ටික පවා පිටරටින් ගේනවා. නවසීලන්තය ලෝකයේ දෙවන කෘෂි අපනයනකරුවා වෙනකොට අපි හාල් පිටරටින් ගේනවා. මේ තත්වය වෙනස් කරන්න කෘෂිකාර්මික, ධීවර, සංචාරක, කර්මාන්ත දියුණු කිරීමේ විද්‍යාත්මක සැලසුම් 10ක් අපි එළිදක්වා තිබෙනවා. නමුත් රත්තරං හොරෙන් ගෙනැත් අහුවුණු මන්ත්‍රී ඩුබායි යන දේශපාලන සංස්කෘතිය තුළ නීතියක් නැති රටක් ලෝකයේ ඉදිරියට යන්නේ කොහොමද? උඩ ඉන්න අයට වෙනම නීතියක් ක්‍රියාත්මක කරන අය තවදුරටත් ඕනෑද? නැව ගිනි ගැනීමෙන් ලබාගත හැකි වන්දිය ඩොලර් බිලියන 10ක්. මූල්‍ය අරමුදලෙන් ලැබෙන ණය ඩොලර් බිලියන 2.9ක්. අධිකරණ ඇමතිම කියනවා ඩොලර් මිලියන 250ක පගාවක් අරගෙන තිබෙනවා කියලා. ලෝකයේ සිදුවුණු විශාලම රසායනික හානියට නිසි වන්දිය ලබාගැනීමට නොදී කොල්ලකනවා.මේ තත්වය වෙනස් කර, හැම කෙනාටම නීතිය පොදුවේ භාවිතා කරන පාලනයක් ගොඩනඟනවා. අපේ අනාගත පරම්පරාවට සන්තෝෂයෙන් ඉන්න පුළුවන් රටක් හැදුවා කියන සන්තෝෂය ලබාගත හැක්කේ ජාතික ජන බලවේගයේ අපට පමණයි. අපි සෑම දෙනාම එකතු වී මේ රට ගොඩනඟමු.”

මෛම සමුළුවේදී, ජාතික ජන බලවේගයේ විධායක සභිකයින් වන, ලාල්කාන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනී අමරසූරිය, ජාතික ජන බලවේගයේ දිස්ත්‍රික් විධායක සභික ඊ.එම් බස්නායක, ජනනියමු කලාකරුවෝ සංවිධානනය නියෝජනය කරමින්, ජ්‍යෙෂ්ඨ රංගණ ශිල්පිනී දීපානී සිල්වා, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී තිලක් සිරිසේන යන අයද අදහස් දැක්වූහ.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?