Latestදේශීය

රට වැටුනේ ගෝඨාභය හින්දා නෙමෙයි ලාල් කාන්තලා හින්දා

‘තමන්ගේ ගේ වට කරනවිට ගෝඨාභය ජනාධිපතිතුමා එදා නියෝගයක් දුන්නා නම් වෙඩි තියන්න කියලා. රට විනාශ වෙනවා. එතුමා මේ ලගදි මුණ ගැහුණ වෙලාවෙදිත් කිව්වේ මම බෞද්ධ දර්ශනයෙන් ඉගෙන ගත්ත දේ තමයි අත්හැරීම කියලා. එතුමා ගත්ත හොඳම හා නිවැරැදිම තීන්දුව තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අගමැතිවරයා බවට පත් කිරීම’ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාවලපිටිය ආසන බලමණ්ඩල රැස්වීමට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙසේද පැවසීය.

පසුගිය කාලය තුළ අපි ඉතාම දුෂ්කර කාලයක් ගත කළේ. තවම දුෂ්කර ගමනේ යම් කොටසක් අපි ගමන් කරමින් ඉන්නේ. මීට වසරකට පෙර අපි සියලු දෙනාම පැය 12 ක පැය 14 ක විදුලි කප්පාදුවකට මුහුණ දුන්නා. අපි දවස් දෙක තුන ඉන්ධන, ගෑස් පෝලිම්වල හිටියා. එදා අපිට ගන්න කිරිපිටි ඇතුළු අත්‍යාවශ ආහාර වෙළදපොළේ තිබුණේ නැහැ. පක්ෂ විපක්ෂ භේදයකින් තොරව හැමෝම මේකට මුහුණ දුන්නා. ගෝඨාභය ජනාධිපතිතුමා නිසා මේක වුණා කියලා එක මතයක් ඇති වුණා.

ඒක නෙමෙයි සත්‍යය කතාව. ගෝඨාභය ජනාධිපතිතුමා බලයට පත් වන්නේ 2019 අවසාන කාලයේදි. 2020 මාර්තු මාසයේ රට කොවිඩ් අර්බුදයට මුහුණ දෙනවා. රට මාස කිහිපයක් වහනවා. 2020 මාර්තු මාසයේ කොවිඩ් නිසා රට වැහුවේ නැතිනම් අපේ රටේ විදුලි කප්පාදුව පටන් ගන්නේ 2020 මාර්තු මාසයේ. රට වහපු නිසා කොවිඩ් අර්බුදයට විදුලි ඉල්ලුම අඩුවුණා. රජයේ කාර්යාල, කර්මාන්තශාලා, පාසල් වහලා තිබුණා. ගෝඨාභය ජනාධිපතිතුමා බලයට එද්දිත් මේ අර්බුදය උච්චතම අවස්ථාවට ඇවිත් තිබ්බේ. පිපුරුවේ නැති එක විතරයි. ඒක පුපුරලා ගියේ කොවිඩ් අර්බුදයෙන් රට විවෘත කරාට පස්සේ. කොවිඩ් නිසා රටේ ආර්ථිකය හැකිලුණා. අපේ රට විතරක් නෙමෙයි, ලෝකයේ ප්‍රභල රටවල් සියල්ලම ඊට මුහුණ දුන්නා. 2014 අවසාන කාලයේ සිට විදුලි ජනන පද්ධතිය නිවැරදි ආකාරයට ක්‍රියාත්මක නොකිරීම නිසා තමයි අපිට පැය 12 ක 14 ක විදුලි කප්පාදුවකට යන්න වුනේ.

නොරොච්චේලේ බලාගාරය විවෘත කරාට පස්සේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා රටට කිවුවා විදුලි බිල 25% කින් අඩු කරනවා කියලා. එම ප්‍රතිලාභය ජනතාවට දුන්නා. එතුමගේ තව සැලැසුමක් තිබුණා, සාම්පූර් බලාගාරය ඉදිකරන්න. ඒක ඉන්දියාවේ පරිත්‍යාගයක්ත මෙගාවොට් 500 ක් එකතු කරන්න තිබ්බේ. නමුත් මොකද වුනේ. 2015 දී ආණ්ඩු මාරු වුණාට පස්සේ ජවිපේ ලාල් කාන්තලා ගිහින් කිවුවා මේක ඉදිකළොත් පරිසර විනාශයක් සිදු වෙනවා කියලා. මේක ඉදිකරන්න දෙන්නෑ කිවුවා. ඔවුන් ආණ්ඩුවට බලපෑම් කළා. ඒ ආණ්ඩුවට ඔවුන් ජවිපෙ උදව් කරපු නිසා උසාවියට ගිහින් ආණ්ඩුව කිවුවා අපි සාම්පූර් ඉදිකරන්නේ නැ කියලා. ඒ වෙනුවට විකල්පයක් දුන්නෙත් නැ. 2105 න් පස්සේ අපේ රටේ බලාගාර ඉදිවුණේ නැහැ. එයයි යථාර්තය.

2005 මහින්ද ජනාධිපතිතුමා බලයට පත් වෙද්දි රටේ විදුලිය දීලා තිබුනේ 30% යි. ගෙවල් 10 ක් ගත්තොත් ගෙවල් 3කට පමනයි විදුලිය තිබ්බේ. ඒක 2015 වනවිට 100% ක් කළා. එදා රට තුළ බලාගාර ඉදිකළා. නමුත් ඒවා 2015 න් පසුව අඛන්ඩව ක්‍රියාත්මක වුණේ නැහැ. පසුගිය වසරේ විදුලි කප්පාදුවට හේතු වුනේ ජනන සැලසුම ක්‍රියාත්මක නොවීමයි. මට ලබා දුන්න අමාත්‍යංශය නිසා තමයි රටේ අරගල ඇති වුණේ. විදුලිය නැහැ, ඉන්ධන නැහැ. අපේ සංචිත පාවිච්චි කරලා දීර්ඝකාලීන සැලසුම්වලට යන්නේ නැතුව තිබුණු මුදල් සියල්ල වියදම් කළා ඉන්ධන ගන්න. ඩොලර් සංචිත ඒ වෙනුවෙන් යෙදෙවුවා.

ගත්ත ඉන්ධනවලට පිරිවැය ආවරණය කළේ නැහැ. ඒ නිසා අර්බුදයක් ඇතිවුනා. පසුගිය වසර තුළ අපිට ගන්න වුණු තීන්දු ජනප්‍රය තීන්දුත් නෙමෙයි, කැමැත්තෙන් ගත්ත ඒවාත් නෙමෙයි. ජවිපෙ සටන්පාඨ මොනවද? විදුලිය ලබා දියව්. ඉන්ධන ගෑස් ලබා දියව්. කිරිපිටි ලබා දියව්. මේවා තමයි ඔවුන්ගේ සටන්පාඨ වුණේ. මේ සටන්පාඨ 4 ම අපි මේ වසරක කාලය තුළ අයින් කළා. ඊට පස්සේ ජවිපෙට ජනතාව ඉදිරියට ගිහින් කියන්න සටන් පාඨ තිබුණේ නැහැ. එක එක හේතු කියලා, මිනිසුන්ව බය කරලා රැස්වීම්වලට අරන් ගියා. ජවිපෙ ඉතිහාසයෙත් යොදා ගත්තේ මේ ක්‍රමයයි.

තමන්ගේ ගේ වට කරනවිට ගෝඨාභය ජනාධිපතිතුමා එදා නියෝගයක් දුන්නා නම් වෙඩි තියන්න කියලා. රට විනාශ වෙනවා. එතුමා මේ ලගදි මුණ ගැහුණ වෙලාවෙදිත් කිව්වේ මම බෞද්ධ දර්ශනයෙන් ඉගෙන ගත්ත දේ තමයි අත්හැරීම කියලා. එතුමා ගත්ත හොඳම හා නිවැරැදිම තීන්දුව තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අගමැතිවරයා බවට පත් කිරීම.

මේ රටේ ස්ථාවර ආණ්ඩුවක් හදන්න එතුමාව ජනාධිපති කරන්න මාර්ගය හදලා දුන්නා. අපි කකුලෙන් ඇද්දොත් මොකක්ද වෙන්නේ. රට ආයේ යනවා පෝලින් යුගයට. රට ආයේ සන්නද්ධ අරගලකරුවන්ගේ භූමියක් බවට පත්වෙනවා. මේ ආණ්ඩුවට ශක්තිය දෙන්නෙත්, රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ශක්තිය දෙන්නෙත් රට ස්ථාවර කරලා රටේ අනාගතයට ශක්තිය ලබා දෙන්නයි. පෞද්ගලික කිසිවක් බලාපොරොත්තුවෙන් නෙමෙයි.

@Media unit

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?