Latestදේශීය

IMF උගුළෙන් ලංකාවට වූ දේ පකිස්තානයට සිදුවෙන්න දෙන්නේ නැහැ

ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් බවට ප්‍රකාශ කිරීමෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අටවල ලද උගුලේ හසු වූ බවත් එවැනි තත්වයක් පකිස්තානයට සිදු වීමට කිසිසේත් ඉඩ නොදෙන බවත් එරට මුදල් ඇමති ඉශාක් ඩාර් කළ ප්‍රකාශය පදනම් කරගනිමින් ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක ශාන්ත ජයරත්න සම්පාදනය කළ ලිපියක දැක්වේ.

එම ලිපිය සම්පූර්ණයෙන් උපුටාගෙන පහත පල කෙරේ,

“IMF ලංකාවට කල දේ කර ගැනීමට පකිස්තානය කොහෙත්ම සූදානම් නැහැ…

පකිස්තානයේ මුදල් ඇමැති ඉශාක් ඩාර් පසුගිය දා එහි පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව ඉදිරියට කැඳවා ප්‍රශ්න කිරීමේදී අපූරු කතාවක් කියනවා. “IMF අපිට බලකරනවා පාකිස්තානය බංකොලොත් රාජ්‍යක් බව (Default) ප්‍රකාශ කරන්න කියලා. අපි ඒකට සූදානම් නැහැ. IMF ලංකාවට කල දේ පාකිස්තානයට කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ.” ඔහුගේ කතාව මෙම ලිපියෙන් කියවන්න. https://www.island.lk>foreign-powers-want-pak-default-like-lanka-claims-pakistan-fm-ishaq-dar
මෙම ප්‍රකාශය ඉතා වැදගත් වන්නේ IMF ආර්ථික අර්බුදයට පත් රටවල් තම අණසකට නතු කරගැනීමට කෙසේ උස්සාහ කරනවාද යන්න අවබෝධ කරගැනීමට යි. ලංකාව ඊට කදිම උදාහරණයක් බව ලෝකයම අවබෝධ කරගෙන තිබුණත්, ලංකාවේ බොහෝ පිරිසකට එය නොතේරීම කනගාටුවට හේතුවක්.

පාකිස්තානයේ සම්පූර්ණ විදේශීය ණය 2023 මාර්තු මස 30 වන දිනට ඩොලර් බිලියන 130.32 ක්. මින් රජයේ ණය (Public Debt ) ඩොලර් බිලියන 85.2 ක් වෙනවා. ලංකාවේ සමස්ත විදේශ ණය මෙන් දෙගුණයක්. https://www.brecorder.com>news>40246825

පකිස්තාන මුදල් ඇමැතිවරයාට අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා මීට පෙර ලබා ගත් ණයක් සම්බන්ධව 2022 නොවැම්බර් පැවැත්වීමට තිබු 09 වන සහ අවසාන සමාලෝචන සාකච්ඡාව කිසිදු හේතුවක් නොදන්වා IMF විසින් කල්දමා තිබෙනවා. පාකිස්තානයට අලුත් ණයක් අවශ්‍ය වී තිබෙනවා. එමනිසා IMF ඔවුන්ට බලකරනවා මුලින්ම බංකොලොත් රාජ්‍යක් ලෙස ප්‍රකාශයට පත් කොට ඔවුන් නිර්දේශ කරන ව්‍යූහාත්මක ගැලපුම් කිරීම ආරම්භ කරන ලෙස . සහනාධාර ඉවත් කිරීම, බදු සහන ඉවත් කිරීම සහ නව බදු පැනවීම යනාදි කොන්දේසි ක්‍රියාත්මක කිරීමට IMF පාකිස්තානයට බල කරනවා.

පාකිස්තාන මුදල් ඇමැති වරයා එහිදී කරන ප්‍රකාශය ඉතා වැදගත්.

“IMF අපිට කියන හැමදේම කරන්න අපි සූදානම් නැහැ. ඔවුන් අපිට බලකරනවා බංකොලොත් රාජ්‍යක් ප්‍රකාශයට පත්කරන්න” කියලා. මුදල් ඇමැති මෙහෙමත් කියනවා, “IMF ඇතුව හෝ නැතිව පාකිස්තානය බංකොලොත් බව ප්‍රකාශ කිරීමට සූදානම් නැහැ. IMF or no IMF, Pakistan will not default.”

ඉශාක් ඩාර් මෙහෙමත් කියනවා.
“පාකිස්තානය ස්වෛරී රාජ්‍යක්. යම් අංශ වලට බදු සහන ලබා දීමට අපිට අයිතියක් තිබිය යුතුයි. එහෙත් IMF අපිට කියන්නේ කිසිදු අංශයකට බදු සහන ලබා නොදෙන ලෙසයි.”

පාකිස්තානය බංකොලොත් බව ප්‍රකාශ කිරීමෙන් පසු ඇති විය හැකි ප්‍රතිවිපාක පිළිබඳ නිවැරැදිව විශ්ලේෂණයක් කර ගෙන තිබීම හේතුවෙන් ඔවුන් එය එසේ නොකර සිටිනවා. ලංකාවේ රජයට එවැනි විශ්ලේෂණයක් තිබුණු බවක් පේන්නට නැහැ. එහි ප්‍රතිවිපාක අපි අද භුක්ති විඳිනවා.

රටක් බංකොලොත් බව ප්‍රකාශ කල පසු ආධාර කිරීමට හැකියාව තිබුණත් මිත්‍ර රටවල් සහ මූල්‍ය ආයතන උපකාර කිරීමට පෙළඹෙන්නේ නැහැ. ලංකාවටත් එම ප්‍රශ්නයට මුහුණ පෑමට සිදු වුන බව ඔබට මතක ඇති. ජපානය , ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව වැනි ආයතන ප්‍රකාශ කලේ IMF සමග ගිවිසුම් ගත වීමෙන් පසු ආධාර කල හැකි බවයි. එයට හේතුව වූයේ බංකොලොත් රාජ්‍යක් බවට වේලාසනම ප්‍රකාශ කිරීමයි.

ලංකාවේ රජය IMF ලබා දුන් සියළු කොන්දේසි ඒ අයුරින්ම පිළිගෙන ක්‍රියාත්මක කිරීම තුල රටේ මේ වන විට මිලියන 7 ක ජනගහනය දුප්පතුන් වී, ලක්ෂ 10 කට වැඩි පිරිසකට රැකියා අහිමි වී තිබෙනවා. කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ආයතන 1000 කට ආසන්න ප්‍රමාණයක් බැංකු වලට සින්න වී අවසන්. ලක්ෂ 5 කට වැඩි පුහුණු සහ නුපුහුණු ශ්‍රමිකයන් පවුල් පිටින් රටහැර ගොස්, කර්මාන්ත ගලවාගෙන ගොස්‍ විදේශ රටවල ස්ථාන ගත කරන තත්ත්වයට පත් වී තිබෙනවා. තවත් ඉදිරියේදී මේවායේ බලපෑම දැනෙන්නට ගන්නවා.

ඉශාක් ඩාර් මුදල් ඇමැති වරයා ප්‍රකාශ කරන්නේ පාකිස්තානය බංකොලොත් බව ප්‍රකාශ කරවීමට IMF හරහා ඉන්දියාව බලපෑම් කරන බවයි. එය එසේ විය හැකියි. ලංකාවට සිදුවෙමින් තිබෙන දේ නිරීක්ෂණය කිරීමේදී හොඳින්ම එය අවබෝධ කරගන්නට පුළුවන්.

චීනය විසින් පාකිස්තානයට ලබා දී තිබූ වාණිජ ණය සඳහා ප්‍රතිමූල්‍ය (Refinace) කර දී ගෙවීම් කල් දමා දී තිබෙනවා. ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහන ණය ඩොලර් බිලියන 3 කට ආසන්නව මේ වන විටත් ලබා දී තිබෙනවා. ඔවුන් බංකොලොත් රාජ්‍යක් බවට ප්‍රකාශ කලේ නම් IMF සමග ගිවිසුම් ගත වන තුරු එවැනි සහයෝගයක් ලබා ගැනීමට අපහසු වෙනවා.

භාහිර ණය ගෙවීම සඳහා පාකිස්තානයට වාර්ෂිකව දල වශයෙන් ඩොලර් බිලියන 4.5-5.0 අතර අවශ්‍ය වෙනවා. ඔවුන් මෙතෙක් එම ණය සහ පොලිය බාධා මධ්‍යයේ වුවත් ගෙවීමට කටයුතු කොට තිබෙනවා.

ලංකාවේ ණය ගෙවීම 2022 අප්‍රේල් 12 වන දින දක්වා කිසිදු බාධාවකින් තොරව කරගෙන පැමිණියා. ලංකාවේ වාර්ෂික විදේශීය ණය ගෙවීමේ අවශ්‍යතාව 2022 සිට 2028 දක්වා පිළිවෙලින් ඩොලර් බිලියන 2.8, 5.4, 5.2, 5.4, 4.4, 3.8, සහ 3.4 ක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කොට තිබෙනවා. (මූලාශ්‍රය: IMF ගිවිසුම.පිටුව 46 වගුව:6).

ලංකාවේ පාලකයන්ට වුවමනාවක් තිබුනේ නම් IMF කොන්දේසි ඒ අයුරින්ම පිළිනොගෙන මිත්‍ර රටවල් වලින්ද අවශ්‍ය සහයෝගය ලබා ගෙන ණය ගෙවීම බාධාවකින් තොරව කරගෙන යෑමට හැකියාව තිබුණා. ඊට සමාන්තරව යම් ආර්ථික ප්‍රතිසංස්කරණ අවශ්‍ය පරිදි සිදුකර ගැනීමට ද පුළුවන් කම තිබුණා . එහෙත් බංකොලොත් රාජ්‍යක් බවට ප්‍රකාශ කිරීමෙන් පසු මිත්‍ර රටවල සහයෝගය අහිමි වුනා.

ලංකාවට ඉන්ධන , ගෑස් , ඖෂධ , ආහාර ආනයනය සඳහා මසකට ඩොලර් මිලියන 700-800 ත් අතර ප්‍රමාණයක අවශ්‍යතාව තිබෙනවා (යම් ආනයන සීමා සහිතව ). එය කළමනාකරණය කර ගැනීමට ප්‍රමාණවත් ආදායමක් කවදත් ලංකාවේ තිබුණා. භාණ්ඩ හා සේවා අපනයනය, ශ්‍රමික ප්‍රේශන යනාදිය හරහා සාමාන්‍යයෙන් මාසිකව ඩොලර් බිලියන 1.5 – 2.0 අතර ආදායමක් ලංකාවේ බැංකු වෙත ප්‍රේශනය වෙනවා. අපනයන ආදායම පමණක් වුවත් ඩොලර් බිලියන 1 ක් පමණ මාසිකව ලැබෙන බව මහබැංකු වාර්තා වල සඳහන් වෙනවා.

රටේ ඩොලර් ආදායම වැඩි කරගැනීම සඳහා තෝරාගත් නිෂ්පාදන කර්මාන්ත සඳහා බදු සහන ලබා දී දිරිගැන්වීම් කිරීම තුල ඩොලර් ආදායම තවත් වැඩි කර ගැනීමට හැකියාව තිබෙනවා. අත්‍යාවශ්‍ය ආහාර, නිෂ්පාදන අමුද්‍රව්‍ය, ඉන්ධන, ඖෂධ, පොහොර වැනි දෑ ආනයනය සඳහා ප්‍රමුඛතාවය ලබා දී ආර්ථික අර්බුදය කළමනාකරණය කරගැනීමට පාලකයන් අවධානය යොමු කලේ නම් මේ වන විට සිදුව තිබෙන ආර්ථික අපරාධ පාලනය කර ගැනීමට හැකියාව තිබුණා. එහෙත් බංකොලොත් බව ප්‍රකාශ කිරීම සහ IMF කොන්දේසි හේතුවෙන් මේ වන විට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන් හාන්සි වී තිබෙනවා. රටේ දුප්පතුන් බෝවෙමින් තිබෙනවා. මන්දපෝෂණය ඉහළ යමින් තිබෙනවා. සෞඛ්‍ය පද්ධතිය කඩා වැටී තිබෙනවා. රටේ අධ්‍යාපනය අඩපණ වී තිබෙනවා. මේ වායේ ඵලවිපාක රටේ ජනයාට හොඳින්ම විඳින්නට වන්නේ 2023 අග සිට 2024 මැද වන විට බව ලියා තබා ගැනීමේ වරදක් නැහැ. ඒ වන විට ලෙඩත් මැරී බඩත් සුද්ද වී තිබෙන බව නම් ඉඳුරාම කිව හැකියි .

ශාන්ත ජයරත්න
ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක
21.06.2023″

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?