Latestදේශීය

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාහන 1,794ක් අතුරුදන්

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාහන 1,794ක් අස්ථානගතවී ඇතැයි රජයේ විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දැක්වෙන බව රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝපා කමිටුව) සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා. මේ තොරතුරු අනාවරණය වී ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාර්යසාධනය විමසීම සඳහා එහි ප්‍රධානීන් රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව කැඳවනු ලැබු අවස්ථාවේදී.

අමාත්‍යාංශයේ වාහන 259ක් බාහිර පාර්ශවයන්ට පවරාදී ඇතැයිද එම වාර්තාවේ සඳහන් වන බව පැවසූ කෝපා කමිටු සභාපතිවරයා වාහන පරිපාලනය සම්බන්ධයෙන්වන දත්ත පද්ධතියේ අඩුපාඩු පිළිබඳවද විගණකාධිපතිවරයා සිය වාර්තාවෙන් කරුණු ඉදිරිපත් කර තිබෙන බව සඳහන් කළා.

මේ වාහන අතර මෝටර් රථ 679ක් සහ යතුරුපැදි 1,115ක් ඇති බවත් එම මෝටර් රථ බොහොමයක් අමාත්‍යාංශය සන්තකයේ නැති බව දැනගන්නට ලැබීමෙන් අනතුරුව ඒවාට ආදායම් බලපත්‍ර නිකුත් කිරීම නවත්වන්නැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් දැනටමත් ඉල්ලීමක් කර ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරිනියක් එහිදී පැවසුවා. ඒ අනුව මේ වාහනවලට අදාලව ආදායම් බලපත්‍ර නිකුත් කිරීම නවතා ඇතැයිද ඇය වැඩිදුරටත් කියා තිබෙනවා.

වාහන 425ක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගැනීමට හැකි වූවත් ඒවා වෙන්දේසි කර අපහරණය කළා දැයි සොයා ගැනීමට අපහසු බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීහු පවසනවා. යතුරුපැදි 1,115න් තොරතුරු අනාවරණය කරගෙන ඇත්තේ එකොළහක් සම්බන්ධයෙන් පමණක් බව පැවසූ එම නිලධාරීහු මේ යතුරු පැදි බොහොමයක් ක්ෂේත්‍ර නිලධාරීන්ට නිකුත් කෙරුණු ඒවා බවද සඳහන්. ක්ෂේත්‍ර නිලධාරීන්ට මේ යතුරු පැදි ලබා දෙන්නේ ගිවිසුම්ගතව බවත් විශ්‍රාම යෑමෙන් පසු පෞද්ගලිකව ගෙන යෑමට ඒ අනුව අවසර හිමිවන බවත් සඳහන් වනවා. 

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?