Latestදේශීය

මූල්‍ය අර්බුධයේ වගකීම ආන්ඩුව සම්පූර්ණයෙන්ම බාර ගත යුතුයි

මූල්‍ය ක්ෂේත්‍රයේ ඇතිකර තිබෙන ගැටලුකාරිත්වයේ සම්පූර්ණ වගකීම ආණ්ඩුව භාර ගත යුතුයැයි ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිල සාමාජික සුනිල් හඳුන්නෙත්ති අවධාරණය කරයි.

ඔහු මේ බව අවධාරණය කර සිටියේ ඊයේ (27) පෙරවරුවේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ මාධ්‍ය හමුව අමතමිණි.

එහිදී වැඩිදුරටත් ඔහු දැක්වූ අදහස්,

“දවස් තුනකට වඩා බැංකු පද්ධතියේ නිවාඩු දීම් නිසා ජාත්‍යන්තර ව්‍යාපාර කරන අයට විශේෂයෙන් ප්‍රශ්න මතුවෙනවා. සාමාන්‍යයෙන් දින තුනකට වඩා බැංකුවලට නිවාඩු නොදීමේ මේ සම්ප්‍රදාය ආණ්ඩුව කැඩුවා. බැංකු නිවාඩුවක් නොවූ 30වැනිදා ගැසට් නිවේදනයකින් බැංකු නිවාඩුවක් කළා. මේ විදිහට බැංකු නිවාඩු දෙන්නේ ඇයි කියලා බැංකු ප්‍රධානීන් දන්නේත් නැහැ. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ බැංකු ප්‍රධානීන් එක්ක සාකච්ඡා කරලත් නැහැ. ආර්ථිකය බංකොලොත් කළ ආණ්ඩුව ඊට උත්තර සොයනවා වෙනුවට, ජනතාව තුළ අවිශ්වාසයක්, සැකයක් නිර්මාණය කර, බැංකු පද්ධතියත් බංකොලොත් කිරීමේ ක්‍රියාවලියක් ගෙන යනවා. බැංකු පවතින්නේ විශ්වාසයත් එක්ක. තැන්පත්කරුවන්, ණය ගන්නා අය, බැංකුත් එක්ක ගනුදෙනු කළ යුතු විශ්වාසය වෙනුවට සැකයක් ඇති කරනවා නම්, ජනතාව ඊට ප්‍රතික්‍රියා දක්වන එක වළක්වන්න බැහැ. මේ දින පහ ඇතුළත පාර්ලිමේන්තුව කඩිමුඩියේ කැඳවා තිබෙනවා. අයවැය විවාදය අතරතුරවත් සාමාන්‍යයෙන් ඉරිදා දවසේ පාර්ලිමේන්තුව රැස්වෙන්නේ නැහැ. ප්‍රංශ සවාරියෙන් පසු ජනාධිපති එන්නේම, පාර්ලිමේන්තුව රැස්කර ණය කපා හැරීමේ ක්‍රියාවලිය අනුමත කරගන්නා බව වාර්තා වෙනවා.

මූල්‍ය ක්ෂේත්‍රයේ ඇතිකර තිබෙන මේ ගැටලුකාරී තත්වය පිළිබඳ සම්පූර්ණ වගකීම ආණ්ඩුව විසින් භාර ගන්න ඕනෑ. ණය කපා හැරීමෙන් ඇතිවන තත්වයට වඩා අතුරු ප්‍රතිඵල විශාල ප්‍රමාණයක් මෙයින් ඇති විය හැකියි. ව්‍යාපාරිකයන්ට, කර්මාන්තකරුවන්ට සහ මහජනතාවට ඇති කරන සැකය රුපියල ශක්තිමත් කිරීම නැමති ක්‍රියාවලියේදී ආණ්ඩුව සිදුකළා. මේ මුළු ක්‍රියාවලිය විසින්ම බැංකු පද්ධතිය පිළිබඳව සහ තමන්ගේ ස්ථාවර ගිණුම්, ලැබෙන පොලිය සහ වෙනත් තැන්පතු පිළිබඳව මේ වන විටත් අවිශ්වාසයක් ඇති කර තිබෙනවා. මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ කළ ප්‍රකාශයෙන් මේ තත්වය තවත් තීව්‍ර කර තිබෙනවා. මහ බැංකු අධිපතිවරයා කතා කරන්නේ ඒ වගකීම දරාගෙන නොවෙයි. ස්ථාවර තැන්පතුවලට කිසිවක් නොවන බවත්, පොලිය අඩු නොවෙන බවත් ඔහු කියනවා. ඔහු බැංකු නිවාඩු දීලා කරන වැඩේ රටට කියන්නේ නැහැ. මේ සැඟවීම විසින්ම බොහෝ දෙනෙකු තුළ සැකයක් මතු කරනවා. ආණ්ඩුව කරන්නේ බැංකු පද්ධතිය ශක්තිමත් කරන කටයුත්තක් නම්, අර්බුදය විසඳන්න ක්‍රියාමාර්ග තේරීමක් නම් අවංකව කියන්න බැරි ඇයි? ඔවුන් උත්සාහ කරන්නේ පාර්ලිමේන්තුවේ සීල් එක මේ ක්‍රියාවලියට ගහගන්නයි. එයට විපක්ෂයත් හවුල් කර ගන්නා බව හර්ෂ ද සිල්වා ඇතුළු උගුරට හොරා බෙහෙත් කන මන්ත්‍රීවරුන්ගේ ප්‍රකාශවලින් පැහැදිලියි. මූල්‍ය අරමුදල සමග අත්සන් කළ ගිවිසුම පිළිබඳ විවාදයේදී ඔවුන් මඟහැර ගියා.

මුදල් පිළිබඳ කාරක සභාවේ ප්‍රධානී හැටියට හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා කරන ප්‍රකාශවලින් පේන්නේ අවසානයේදී ඔවුන් ආණ්ඩුවේ එකඟතාවයට යන බවයි. ප්‍රතිපත්තිමය වශයෙන් ඒ ක්‍රියාවලියට ඔවුන් හවුල් වී තිබෙනවා. හදිසියේ අණපනත් ගේන්නේම, නිවාඩු දෙන්නේම රටට අහිතකර, ජනතාවට අහිතකර, ක්‍රියාමාර්ගවලදීයි. ණය තොගයෙන් කොටසක් කපා හැරිය හැක්කේ, පොලිය කපා හැරිය හැක්කේ ආණ්ඩුව වැඩිම ණය අරගෙන තිබෙන රාජ්‍ය බැංකු පද්ධතිය තුළින්. ඒවායේ තිබෙන්නේ විශ්‍රාමිකයන්ගේ ගිණුම් වගේම දුක් මහන්සියෙන් හම්බකරන ජනතාවගේ තැන්පතු මුදල් මිස කළු සල්ලි ජාවාරම්කරුවන්ගේ මුදල් නොවේ. පිටරට බැංකුවල, පැන්ඩෝරා ගිණුම්වල, ස්විස් ගිණුම්වල, සල්ලි දාපු අයට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. රාජ්‍ය ව්‍යාපාර බංකොලොත් කර, ඒවා විකුණා දමා, එයින් හම්බකර ගත් කට්ටිය ඉතිහාසය පුරාම පිටරට ගිණුම්වල සල්ලි දමා තිබෙනවා. ඔවුන්ගේ ජීවිත සහ පුරවැසිභාවය තිබෙන්නේ ශ්‍රී ලංකා පොළොවේ නොවෙයි. ප්‍රශ්නය බලපාන්නේ මේ පොළොවේ ජීවත් වෙන මිනිසුන්ට. බැංකු පද්ධතිය අවදානමට ලක්කර, මූල්‍ය අස්ථාවරත්වයක් ඇති කිරීම අදට වඩා බලපාන්නේ අනාගතයේදී. අනෙකුත් රාජ්‍ය ව්‍යාපාර විදුලිබල මණ්ඩලය, තෙල් සංස්ථාව, ටෙලිකොම් වගේම රාජ්‍ය බැංකු පද්ධතියත් අස්ථාවර කිරීම ඉදිරියේදී බරපතළ ප්‍රශ්නයක් වෙනවා. විශේෂයෙන්ම දේශීය කර්මාන්තකරුවන්ට සහ ව්‍යාපාරිකයන්ට සිදුවෙන ප්‍රශ්නය තනි තනි ගිණුම් හිමියන්ට බලපානවාට වඩා ප්‍රබලයි. මේක රටේම ප්‍රශ්නයක්. ණය අර්බුදය ගැන අවංකව, විනිවිදභාවයකින් ජනතාවත් සමග සාකච්ඡා නොකරන ආණ්ඩුව ජනතාවට කොලේ වහලා ගහනවා. පාලකයන්ගේ කාලය ඉවරවුණාම, ගෝඨාභය රාජපක්ෂ ගියා වගේ යනවා. නමුත් අවසානයේ වන්දි ගෙවන්න වෙන්නේ ජනතාවට. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය ගන්න කොට ආණ්ඩුව කීවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කරන්න චීනයත් එක්ක, ජපානයත් එක්ක, ඉන්දියාවත් එක්ක කතා කර විසඳා ගන්නා බවයි. මුලදී දේශීය ණය කපාහැරීමක් ගැන කතා කළේ නැහැ. දැන් විදේශීය ණය කපා හැරීමක් ගැන කතා නොකර, කොලේ වහලා දේශීය ණය කපා හැරිමකට සූදානම් වෙනවා.

මූල්‍ය ක්ෂේත්‍රය පිළිබඳ අවබෝධයක් තිබෙන, දැනුමක් තිබෙන වෘත්තිකයින්ගෙන්, කර්මාන්තකරුවන්ගෙන් සහ ව්‍යාපාරිකයන්ගෙන් වගේම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ තමන්ගේ ගිණුම ගැන පමණක් නොසිතා සමස්තයක් හැටියට සිතා බලන ලෙසයි. මේ අවදානමට ලක්කිරීම ඉතා බරපතළයි. කළු සල්ලි සුදුකිරීමේ කටයුත්තක් මේ තුළ සිදුකරන්න ඉඩ තිබෙනවා. බැංකු අවදානමකට ලක්වෙන කොට, එම බැංකුත් උත්තර සොයන්න ඕනෑ. බැංකුවල හිමිකාරිත්වය ආක්‍රමණය කිරීමකට බලා ඉන්න ජාත්‍යන්තර සහ දේශීය කළු සල්ලි ජාවාරම්කරුවන්ට ඒක හොඳ අවස්ථාවක් වෙනවා. සිදුවිය හැකි තවත් භයානක දෙයක් ඒක. ආණ්ඩුව මේ කරන්න යන්නේ පාර්ලිමේන්තුවෙන් හිස් චෙක්පතකට අත්සන් ගන්නවා වගේ වැඩක්. ආණ්ඩුව කරන දේ රනිල් වික්‍රමසිංහ, නන්දලාල් වීරසිංහ, ඇතුළු සුළු පිරිසක් දන්නවා. කරන්න යන දේ මූල්‍ය පද්ධතියේ ප්‍රධානීන් හෝ ආණ්ඩුව පත්කර සිටින බැංකු අධ්‍යක්ෂවරුන් දන්නේ නැහැ.

සමෘද්ධි ව්‍යාපාරයේ අඩුපාඩු නිවැරදි කිරීම වෙනම ක්‍රියාවලියක්. නමුත් ආණ්ඩුව කරන්න යන්නේ මූල්‍ය අරමුදල දී තිබෙන නියෝග අනුව වැඩිම අවදානමකට ලක්වී තිබෙන පිරිස හැර අනෙක් අය කපා හැරීමයි. පළවෙනි තෝරා ගැනීමේදීම පවුල් ලක්ෂ තුනහමාරක් ඉවත් කර තිබෙන්නේ ඒ නිසයි. අනෙක් පැත්තෙන් ලැබුණු ආධාරයට වඩා ටිකක් වැඩිකර තෝරාගත් පිරිසකට දී ගම් ඇතුලේත් ජනතාව අතරේ ගැටීම් ඇති කරනවා. අද පංති සීමාවකින් තොරව සෑම කෙනෙක්ම පීඩාවකට පත්වී සිටිනවා. එයින් කොටසකට මේ දක්වා ලැබුණු දේවල් පවා අහිමිකරමින් යනවා. ඇමතිවරුන්ට වාහන, විදුලි බිල, ඉන්ධන මහජන මුදලින් ලබාගන්නා අතර, මෝටර් සයිකලයක් තිබෙන ගෙවල්වලට ලබාදුන් සහනාධාර කපාහැර තිබෙනවා. සෑම දෙයකටම පාර්ලිමේන්තුවේ අත උස්සන අයට දුප්පත් ජනතාවගේ මේ ප්‍රශ්න අදාළ නැහැ. ජීවිතය ගැට ගහගන්න කොහොම හරි පොරබැදීමට අවශ්‍ය උපකරණ ලබාගෙන තිබෙන අයගේ ඒ උපකරණ හේතුවෙන් සහනාධාර කපා හරිනවා. මොනතරම් දුෂ්ට ආණ්ඩුවක්ද? මොනතරම් දුෂ්ට පාලකයන්ද? ජූලි 10 දක්වා අස්වැසුම අභියායචනා ඉදිරිපත් කරන්න දින දී තිබෙනවා. ඊට අදාළ ආකෘති පත්‍රය මහාචාර්යවරයෙකුටවත් පුරවන්න බැහැ. එතන තිබෙන්නෙත් කප්පාදුව.

ණය කපාහැරීම මගින් රටේ මූල්‍ය පද්ධතිය අස්ථාවර කිරීමේ ක්‍රියාවලියත්, අස්වැසුම මගින් ජනතාව මහ පාරට ඇද දමා තිබෙන තත්වයත් තේරුම් ගන්නා ලෙස ඉල්ලා සිටිනවා. ජනතාව පීඩාවට පත්කරන මේ දුෂ්ට ක්‍රම වහාම නවත්වන ලෙස ආණ්ඩුවට බල කරනවා. එසේ නොවුණහොත් පීඩාවට පත්වී සිටින බැංකු සේවකයන් කර්මාන්තකරුවන් ව්‍යාපාරිකයන් සහ අස්වැසුමෙන් කප්පාදුවට ලක්වී සිටින සියලු පිරිස් ඒකරාශී කරගෙන ආණ්ඩුව පළවා හැරීමට ක්‍රියාකරන බව අවධාරණය කරනවා.”

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?