Latestදේශීය

බැදුම්කර චූදිතයාට නැවතත් රනිල්ගෙන් කප්පම්?

බැඳුම්කර මංකොල්ලයේ ප්‍රධාන චූදිතයා වී සිටින පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට අයත් ස්කාගාර සමාගමට රුපියල් කෝටි 341ක බදු වංචා කිරීමේ අවස්ථාව රනිල් වික්‍රමසිංහ මුදල් ඇමති යටතේ ලබා දී ඇති අතර සේවක අර්ථ සාධක අරමුදලේ සාමාජිකයින්ගේ ඉතිරි කිරීම් මත ණය කපා හැරීමේ ක්‍රියාමාර්ග අනුගමණය කරමින් තිබෙන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් හෙළි කරනු ලැබීය.

දේශීය ණය කපා හැරිම පිළිබඳ ඊයේ (01) පැවති පාර්ලිමේන්තු විවාදයේදී අර්ජුන් ඇලෝසියස්ට අයත් පර්පචුවල් ට්‍රේෂරීස් සමාගම යටතේ පවතින මෙන්ඩිස් සමාගම විසින් සුරා බදු වංචා කිරීම පිළිබඳව “එදා බැඳුම්කර වංචාවේ ප‍්‍රධාන වගඋත්තරකරුවා. එදා රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයාත් එක්ක ඒ ගනුදෙනුවට සම්බන්ධ ප‍්‍රධාන වගකිවයුත්තා. කෝටි 341ක් ගෙවා නැතිව ඔහුව නිදහස් කර තිබෙනවා.” යනුවෙන් කරුණු දැක්වීය.

එම විවාදයේදී මන්ත්‍රීවරයා පලකළ සම්පූර්ණ අදහස් පහත දැක්වේ,

“මේ රටේ පෞද්ගලික අංශයේ වැඩ කරන ජනතාවගේ දහදිය මහන්සියෙන් උපයන මුදල් පිළිබඳව බලහත්කාරයෙන් තීන්දු ගැනීමක් අද මේ සිදුකරන්නේ. ඔවුන්ට කතා කරන්න, දුක්ගැනවිල්ල කියන්න තැනක් නැහැ. බලයක් නැහැ. ඒ නිසා වැඩකරන ජනතාව වෙනුවෙන් දැනටමත් ශ්‍රේෂ්ඨාධිකරණයේ එෆ්.සී. 166/2023 යටතේ නඩුවක් ගොනුකර තිබෙනවා. ඒ නඩුව ලබන 13දා විභාගයට ගන්න දින තීරණය කර තිබියදී, හරිනම් මේ විවාදය පැවැත්වීමත් සාධාරණ නැහැ. නමුත් ආණ්ඩුව ඒ කිසිවක් නොසලකා විවාදය පවත්වනවා.

මෙයට මාස හතර පහකට පෙර, මහබැංකු අධිපතිවරයා සහ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පුන පුනා කීවේ දේශීය ණය කපාහැරීමක් නොකරන බවයි. වගකීමෙන් ඒ බව ප‍්‍රකාශ කරනවා කියලත් කීවා. නමුත් මේ ඉදිරිපත් කර තිබෙන කැබිනට් පති‍්‍රකාවේ 1.6 III යටතේ නිශ්චිතව සඳහන් කර තිබෙන්නේ ”එය ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන්ගේ තාවකාලික කමිටුවේ සාමාජිකයන්ට ගෙවිය යුතු, විදේශ නීතිය යටතේ වන, විදේශ මුදලින් වන ණය ප‍්‍රතිව්‍යුහගත කිරීම සඳහා ප‍්‍රකාශිත පූර්ව කොන්දේසියක් ” හැටියට දේශීය ණය කපා හරින බව පැහැදිලිව දක්වා තිබෙනවා. ආණ්ඩුවත් මහ බැංකු අධිපතිවරයාත් පුන පුනා රටට කීවේ පට්ටපල් බොරුවක්, මුසාවාදයක්, අසත්‍යයක්. මේ රටේ වැඩකරන ජනතාවගේ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මේ ප‍්‍රකාශ දෙක හරහා නොමග යැව්වා. ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර හිමියන්ගේ කමිටුවේදී ඔවුන්ගේ පූර්ව කොන්දේසියක් හැටියට දේශීය ණය කපා හැරීම පැහැදිලිව ඉදිරිපත් කර තිබෙනවා. ආණ්ඩුව ඒ බව මෙතෙක් කල් කීවේ නැහැ. අන්තිම වෙලාවේ කැබිනට් පත්‍රිකාවෙන් මේ බව කියනවා. මෙවැනි ආණ්ඩුවක්, මෙවැනි මුදල් අමාත්‍යාංශයක්, මෙවැනි මහ බැංකු අධිපතිවරයෙක් පිළිබඳව මේ රටේ ජනතාවට ශත පහක විශ්වාසයක් නැහැ. අද දෙන ගැරන්ටි, කිසිවක් විශ්වාස කරන්න බැහැ. දැනටමත් ඒ විශ්වාසය බිඳ වට්ටා තිබෙන්නේ.

දේශීය ණය කපාහැරීම ස්වෛරිත්ව බැඳුම්කර හිමියන්ගේ පූර්ව කොන්දේසියක් ලෙස හරි පැහැදිලිව ඉදිරිපත් කර තිබෙනවා. පසුගිය කාලයේ විදේශ ණය කපාහැරීම පිළිබඳ ‘පැරිස් ක්ලබ්’ එකේදි අනෙකුත් පාර්ශ්ව එකතු කර, කළ සාකච්ඡාවලදී ඔවුන් ඉදිරිපත් කළ පැහැදිලි කොන්දේසියක තිබුණා. සමානුපාතික ක‍්‍රමයක් යටතේ විනිවිද පෙනෙන ආකාරයට ණය කපාහැරිය යුතු බව පැහැදිලිව කියා තිබුණා. එක් එක් ණයකරුවන් සමග හොර රහසේ ගිවිසුම්වලට නොයන ලෙස, විනිවිදභාවයෙන් යුක්තව සහ ක‍්‍රමවේදයකට අනුව සිදු කළ යුතු බවට කොන්දේසි පනවා තිබුණා. ඒ නිසාම චීනයත් එක්ක වෙනම එකඟතාවකටත්, ‘පැරිස් ක්ලබ්’ එකත් එක්ක වෙනම එකඟතාවකටත් එන්න බැරි වුණා. අසමාන සැලකීමක් නොවිය යුතු බව පැරිස් ක්ලබ් එක සෑම අවස්ථාවකදීම කියා තිබුණා. ඒ කොන්දේසියට ආණ්ඩුව එකඟ වුණා. ජාත්‍යන්තර ණය කපා හැරීමේදී ඔවුන්ගෙන් ඉදිරිපත් වුණු විනිවිදභාවයට සමානුපාතික ආකාරයට යන්න ආණ්ඩුව එකඟ වුණා.

නමුත් දේශීය ණය කපා හැරීමේදී ඉතා පැහැදිලිව සමානුපාතික, සාධාරණ, ක‍්‍රමවේදය අමු අමුවේ උල්ලංඝනය කර තිබෙනවා. අද මේ අත තබා තියෙන්නේ අර්ථසාධක අරමුදලට, සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදලට. මේ රටේ පුද්ගලික අංශයේ වැඩකරන ජනතාවගේ සල්ලිවලට. ඒ අයගේ පොලී අනුපාත තීරණය කරන්නේ මුදල් මණ්ඩලයෙන්, මහා භාණ්ඩාගාරයෙන්. නමුත් ප‍්‍රාථමික ගැනුම්කරුවන්ගේ ණයවලට අත තබා නැති එක බරපතළ ප‍්‍රශ්නයක්. නීතියේ සාධාරණත්වය රැකෙන්නේ කොහොමද? සාධාරණව ණය ප‍්‍රතිව්‍යුහගත කළ යුතුයි කියන මූලික හරය බිඳවට්ටලා තිබෙන්නේ. ප‍්‍රාථමික ගැනුම්කරුවන් එක්ක තිබෙන ඞීල් නිසයි එහෙම කරන්නේ, කියලා මේ සංවාදය තුළින් පැහැදිලි වුණා. වතු කම්කරුවන්ට, පෞද්ගලික අංශයේ ලක්ෂ සංඛ්‍යාත සේවකයන්ට, මේ ගැන කියන්න තැනක් නැහැ. නමුත් ප‍්‍රාථමික ගැනුම්කරුවන් එක්ක ඞීල් දමා ඇති බව පැහැදිලිව ඔප්පු වෙනවා.

පසුගිය ජූනි මාසයේ 15දා වෙනකොට බදු පැහැර හැරීම්, විශේෂයෙන් ම සුරා බදු පැහැර හැරීම්වල ඉහළින්ම ඉන්නේ කවුද? මෙන්ඩිස් කොම්පැනිය කෝටි 341ක් ගෙවා නැහැ. මෙන්ඩිස් කොම්පැනිය ‘පර්පැචුවල් ට්‍රෙරෂරීස්’ ආයතනයේ එකක්. එදා බැඳුම්කර වංචාවේ ප‍්‍රධාන වගඋත්තරකරුවා. එදා රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයාත් එක්ක ඒ ගනුදෙනුවට සම්බන්ධ ප‍්‍රධාන වගකිවයුත්තා. කෝටි 341ක් ගෙවා නැතිව ඔහුව නිදහස් කර තිබෙනවා. ඔවුන්ව මේ ණය කපා හැරීමට අසු වෙන්නේ නැහැ. හරි පැහැදිලිව ඉවත්කර තිබෙනවා. මේක තමයි ඞීල් එක. මේ රටේ වැඩකරන සාමාන්‍ය ජනතාවට එක විදිහක්, මෙ වගේ කොම්පැනිකාරයන්ට තව විදිහක්. ප‍්‍රයිමරි ඞීලර්ස්ලා අයින් කරනකොට මෙන්ඩිස් කොම්පැනියේ පර්පචුවල් ට්‍රෙෂරීස් ප‍්‍රධාන එක් කෙනෙක්.

ඊළඟට ඉන්නේ වයඹ ‘ඩිස්ටලිරීස්’ සමාගම. කෝටි 52 1/2ක් ගෙවා නැහැ. ඊළඟට වයඹ ‘ස්පිරීට්ස්’ සමාගම. 26 කෝටි විසි පන් ලක්ෂයක් ගෙවා නැහැ. ‘ග්ලෝබල් බ්ලෙන්ඩර්ස්’ සමාගම කෝටි 110ක් ගෙවා නැහැ. මේ සම්පූර්ණ වාර්තාව මම සභාගත කරනවා. රුපියල් කෝටි 622ක් නොගෙවූ බදු අයකර ගන්න ආණ්ඩුව කිසිම ක්‍රියාමාර්ග ගෙන නැහැ. බැඳුම්කර වංචාවට වගකිව යුතු ආයතන, අයින්කර තිබෙනවා. ඔවුන්ට බදු වංචා කරන්න ඉඩදී තිබෙනවා.

පසුගිය කාලයේ උසාවි නියෝගයක් මත මෙන්ඩිස් කොම්පැනිය වහල තිබුණා. රනිල් වික‍්‍රමසිංහ මුදල් ඇමති වූ විගස ඒ සමාගම එක්ක එකඟතාවකට ගියා. දැන් නිෂ්පාදන කරනවා. ඞීල් එක මේක. වතුවල කම්කරුවන්ගේ අර්ථසාධක අරමුදලට බලහත්කාරයෙන් අත තියලා පොලිය 9%ක් බව කියනවා. මෙතන බරපතළ අසාධාරණයක් තිබෙනවා. නව බැඳුම්කර නිකුත් කරද්දී 25% පොලී ප‍්‍රතිශතයකට යන බවත් ඊට පසු 9%ක් බවත් ආණ්ඩුව කියනවා. 9%ක පොලියක් ලැබෙන බව ආණ්ඩුව සහතික කරන්නේ කොහොමද? පසුගිය කාල පරිච්ඡේදය පුරාම හැම ආණ්ඩුවක්ම අපේක්ෂිත ආදායමක් ඉදිරිපත් කළත්, ඒ අපේක්ෂිත ආදායම් උපයාගෙන නැහැ. අද ආණ්ඩුව උප කල්පනය කරනවා අපේක්ෂිත ආදායම් ඉලක්කවලට යන්න පුළුවන් කියලා. ඒ තුළින් 9%ක පොලියක් සහතික කරන්න පුළුවන් කියවලා. මහ බැංකු අධිපතිවරයාගෙන් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් අපි මේ බව ඇසුවා. 9%ක පොලිය මේ යන ක‍්‍රමවේදය ඇතුලේ දෙන්න පුළුවන් බවයි, ඔවුන් කීවේ. යම් හේතුවක් නිසා 9% දෙන්න බැරි වුණොත් මහා භාණ්ඩාගාරය මැදිහත් වී එය ලබාදෙන බව කීවා. දැන් කියන්නේ මහා භාණ්ඩාගාරයේ සල්ලි නැහැ කියලා, බංකොලොත් කියලා එසේ තිබියදී, 9%ක පොලියක් දෙනවා කීම තුළ කිසිදු බැඳීමක් නැහැ. මුදල් කාරක සභාවට ඊයේ (30) ඊ.පී.එෆ්. සහ ඊ.ටී.එෆ්. අරමුදල්වල ප‍්‍රධානීන් එක හඬින් කිව්වේ මේ යෝජනාව නිල වශයෙන් ලබාදී නැති බවයි. අර්ථසාධක අරමුදලට, සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදලට සිදුකරන දේ ගැන එක මහත්තයෙක් දැන ගත්තේ ෆේස් බුක් එකෙන් බව මුදල් කාරක සභාවෙදී කීවා. මේ අරමුදල්වලට සිදුවන පාඩුව කොතරම් ද, 9% පොලිය දෙන්න පුළුවන්ද, සිදුවන අලාභයන් කොයි වගේද, මේ අරමුදල් මුහුණ දෙන අනතුර මොනවගේද කියලා ඔවුන් දන්නේ නැහැ. බලහත්කාරයෙන් මේක කරන්නේ.

මුදල් මණ්ඩලය ගන්නා තීරණවලට ඒ සාමාජිකයන් අනිවාර්යයෙන්ම වගකියන්න ඕනෑ. ආණ්ඩු පවතිනවා. නැතිවෙනවා. මේ මුදල් ඇමති ඉන්නවා. නැතිවෙනවා. ඊළඟට එන මුදල් ඇමතිවරු කවුද කියලා අපි දන්නේ නැහැ. ඒ මුදල් ඇමතිවරු හැසිරෙන ආකාරය ගැන සහතික දෙන්න පුළුවන් කාටද? මෙතන බරපතළ අනතුරක් තිබෙනවා. අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ට දැනටමත් බලපෑමක් වෙලා ඉවරයි. වැඩි පොලී ප‍්‍රතිශතයක් තිබෙද්දී ඒ ආයෝජන ලාභවලින් යම් කොටසක් සාමජිකයන්ට ලැබෙනවා. නමුත් 9% දක්වා අඩු කළ ගමන් බලපෑම් වෙනවා. මේ කියන 9%ත් සථීරව තියෙන්නේ නැහැ. මේ යන බංකොලොත් ගමන තුළ කඩා වැටෙනවා. 9%ක පොලියක් අනිවාර්යයෙන් දෙන බවට නීතිමය බැඳීමක් තිබෙන්නේ කොහේද? ඊළඟට එන මුදල් ඇමතිවරයෙක්, ඊළඟට එන ආණ්ඩුවක්, ”ගිය ආණ්ඩුව මේක කළේ. අපි මේ ගාන දෙන්න බැඳිලා නැහැ.” කියලා කියයි. මේ රටේ වැඩකරන ජනතාවගේ මුදල්වලට ඍජුව බලපා තිබෙනවා. අරමුදලට වෙන පාඩුව ගණනය කර, සාමාජිකයන්ට සිදුවන පාඩුව ගණනය කරන්න පුළුවන්. මේ වංචාව කරලා තිබෙන්නේ ප‍්‍රශස්ත විදිහට. උද්ධමනය 12% හැමදාම තියෙන්නේ නැහැ. අද කරන මේ වැඩෙන් පුද්ගලික අංශයේ සේවකයෝ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අනතුරට ලක්වෙනවා. ආණ්ඩුව කරන්නේ පෞද්ගලික ඩීලර්ස්ලව බේරලා, බැඳුම්කර වංචාවට ඍජුව සම්බන්ධ අය බේරලා දුප්පත් ජනතාව තවත් පීඩාවට පත්කිරීමයි. මේක සම්පූර්ණයෙන් අයුක්තිසහගතයි, අසාධාරණයි, නීති විරෝධියි. මේ ක්‍රියාවලිය වහාම නවත්වන්න. මේ හරහා තවදුරටත් ආර්ථිකය හැකිළෙනවා. මෙ ක්‍රියාවලියට විරුද්ධව අපි ඡන්දය දෙනවා.”

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?