Latestදේශීය

බැංකුවලට රුපියල් බිලියන 97ක පාඩුවක්

ණය ප්‍රතිව්‍යුගතකරණයෙන් මෙරට බැංකු පද්ධතියට බලපෑමක් නැතැයි ආණ්ඩුව පැවසුවද මෙම ණය ප්‍රතිව්‍යුගතකරණයෙන් බැංකු වලට සිදුවන පාඩුව රුපියල් බිලියන 97කට වැඩි යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසනවා.

ඒ මහතා මේ බව සදහන්කර සිටියේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

ණය ප්‍රතිව්‍යුගතකරණය පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා පැවසුවේ මෙවැන්නක්..

“ණය ප්‍රතිව්‍යුහකරණයෙන් බැංකු වලට වන පාඩුව රුපියල් බිලියන 97කට වැඩියි.

ණය ප්‍රතිව්‍යුහකරණයෙන් බැංකු වලට බලපෑමක් නෑ කියා ආණ්ඩුව කිව්වත් ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකා සහ සංකල්ප පත්‍රිකා ගැඹුරින් අධ්‍යනය කළ විට ඒක බොරුවක් බව හෙලිදරව් වෙනවා. 2023.06.28 දිනැති දේශීය ණය ප්‍රශස්තකරණය ක්‍රියාත්මක කිරීම නමින් මුදල් ඇමතිවරයා විසින් ඇමති මණ්ඩලයට ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයේ තුන්වන පිටුවේ දක්වා තිබෙන ආකාරයට පිය වීමට තිබෙන ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර වල වටිනාකම ඩොලර් මිලියන 886ක් නැතිනම් රුපියල් බිලියන 272ක්. මහ බැංකුව විසින් ඇමති මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවේ 29 පිටුව අනුව මේ බැඳුම්කර වල වටිනාකමින් 30%ක් කපා හැරෙනවා. ඒ කියන්නේ රුපියල් බිලියන 81.6ක ප්‍රාග්ධන කප්පාදුවක් සිදු වෙනවා.

සංවර්ධන බැඳුම්කර වලින් 85%කම අයිතිය තිබෙන්නේ මෙරට බැංකු වලට. ඒ අනුව ප්‍රාග්ධන කප්පාදුවෙන් පමණක් බැංකු වලට සිදුවන අලාභය රුපියල් බිලියන 69ක්. මීට අමතරව බැංකු විසින් රාජ්‍ය ආයතන වලට ලබා දීලා තිබෙන ඩොලර් ණය ප්‍රමාණය ඩොලර් මිලියන 323ක් නැතිනම් රුපියල් බිලියන 92ක්. ඒ ප්‍රමාණයෙනුත් 30%ක් කපා හරිනවා. ඒ කියන්නේ බිලියන 28ක්. බැඳුම්කර සහ ඩොලර් ණය දෙකේම ප්‍රාග්ධන කපා හැරීමෙන් පමණක් බැංකුවලට සිදුවන අලාභය රු බිලියන 97ක්. මීට අමතරව පොලියත් 35%කින් පමණ අඩු කරනවා. එයින් බැංකුවට වන අලාභය අපි ගණන් හදලා නෑ. ඒ කියන්නේ දේශීය ණය ප්‍රශස්තකරණය හරහා බැංකු වලට සිදුවන අලාභය රුපියල් බිලියන 97කට වැඩියි.

මහ බැංකුව ලොකු හැන්දෙන් බෙදා ගනියි. ජනතාවට 9%යි. මහ බැංකුවට 29%යි

මේ රටේ සිටින ලක්ෂ 190ක අර්ථ සාධක අරමුදල් කලමනාකරණය කරන්නේ මහ බැංකුවයි. වැඩිම ලාභයක් ලැබෙන සුරක්ෂිත ආයෝජන තුල ආයෝජනය කරලා අර්ථ සාධක සාමාජිකයින්ට ඉහලම පොලියක් ලබා දීම මහ බැංකුවේ වගකීමයි. මහ බැංකුව අපේ අර්ථ සාධක ගිණුම් කළමනාකරණය කරන අතරේ මහ බැංකුවේ නිලධාරින්ට වෙනම අර්ථ සාධක අරමුදලක් පවත්වා ගෙන යනවා. 2022 වසර කියන්නේ ලංකාවේ මෑත ඉතිහාසයේ ඉහළම පොලී අනුපාත වාර්තා වුණු වසර. බැඳුම්කර සහ භාණ්ඩාගාර බිල්පත් වල පොලී අනුපාතය 32% තරම් ඉහළ ගියා. 2022 වසරේ දී මහ බැංකුවේ අර්ථ සාධක අරමුදල් ආයෝජනය කරලා ලැබුණු ලාභයෙන් සෑම සාමාජිකයෙකුගේ ගිණුමට 29%ක පොලී ආදායමක් බැර කරලා තිබුණා. නමුත් ඒ මහ බැංකුවම කලමනාකරණය කරන ජනතාවගේ අර්ථ සාධක අරමුදලේ ආදායමෙන් එහි සාමාජිකයින්ට ලබා දුන්නේ යන්තම් 9%ක පොලී ආදායමක් පමණයි. මහ බැංකුව නම් අරමුදල් දෙකම කළමනාකරණය කරන්නේ ඒ අයගේ අරමුදලෙන් 29%ක පොලියක් සාමාජිකයින්ට ගෙවද්දි රටේ ජනතාවට 9%ක සොච්චම් පොලියක් ලබා දුන්නේ ඇයි?

මහ බැංකුවේ අරමුදල් ඉහළම ප්‍රතිලාභ ලැබෙන තැන් වල ආයෝජනය කරලා ජනතාවගේ අරමුදල් අඩු ප්‍රතිලාභ ලැබෙන තැන්වල ආයෝජනය කිරීම කෙතරම් අසාධාරණ ද? සාපරාධි විශ්වාසය කඩ කිරීම කියන සිර දඬුවම් ලබා දිය හැකි වරදයි මහ බැංකු නිලධාරින් කරලා තිබෙන්නේ. මේ අසාධාරණය පිළිබඳ පැහැදිලි කිරීමක් මහ බැංකු අධිපතිතුමා විසින් රටට කළ යුතුමයි. ඒ වගේම මේ වරද යළි නොවන්න නම් මහ බැංකු නිලධාරින්ගේ අර්ථ සාධක අරමුදල් ද මහජනතාවගේ අර්ථ සාධක අරමුදල් වලටම එකතු කරලා එක අරමුදලක් ලෙස කළමනාකරණය කළ යුතුයි කියා අපි යෝජනා කරනවා.

අර්ථ සාධක අරමුදලේ ගිණුම් පරික්ෂා කලාම ඉතිහාසයේ වැඩිම ආදායම ලබලා තිබෙන්නේ 2022 දී. ඒක රුපියල් බිලියන 357ක්. නමුත් මේ ආදායම පොලී ලෙස සාමාජික ගිණුම් වලට බැර කලේ නැත්තේ ණය ප්‍රතිව්‍යුහකරණයේ දී අර්ථ සාධකේ බිලි දීමට ආණ්ඩුව මුල ඉඳන්ම සැලසුමක හිටියා කියන සාධාරණ සැකය මතු වෙනවා.”

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?