Latestවිදේශීය

ඉන්දියාව ලොව දෙවන ධනවත් රාජ්‍යය කරා ගමන් කරමින් සිටී

ඇමරිකාවේ සුප්‍රකට බැංකුවක් වන Goldman sachs විසින් ඉදිරිපත් කරන ලද නවතම මුල්‍ය වාර්තාවක් මගින් පෙන්වා දෙනු ලබනුයේ ඉන්දියාව තවත් වසර 50 කින් ලෝකයේ දෙවන පොහොසත් රට බවට පත් වන බවයි. වරෙක BRICS සමුහයේ සාමාජිකයෙකු ලෙසත්, චීන (OCS)ෂන්ගායි සාමාජිකයෙකු ලෙසත්, තවත් වරෙක ඇමරිකාව සමග QUAID පැසිෆික් සංගමයේ සාමාජිකයකු ලෙස සිටිමින්ද ජාත්‍යන්තර දේශපාලනය තුල ඉන්දියාවේ දෙබඩි බව මේ වන විට විශේෂයෙන් ඇමරිකාවට හා බටහිරට හිසරදයක් බවට පත්ව ඇත. ඩොලර් බිලියන 3736ක් ප්‍රාග්ධනයක් හිමි කර ගනිමින් ඉන්දියාව ලෝකයේ 5වැනි පොහොසතා බවට පත් වුවත් අදටත් එරට ජනගහනයෙන් මිලියන 555ක ආදායම හිමි කරගෙන සිටිනුයේ එරට ධනපතියන් 98 දෙනෙකු අත බව oxfarm 2023 වාර්තාව මේ අතර පවසා සිටි.

ඇමරිකාවේ සුප්‍රකට මුල්‍ය සමාගම් බැංකුවක් වන Goldman sachs ආයතනය පසුගියදා එළිදැක්වූ තම නවතම වාර්තාව මගින් පවසා සිටිනුයේ තව වසර 50කින් චීනය පිටුපසින් හා ඇමරිකාවට ඉදිරියෙන් ඉන්දියාව ලෝකයේ දෙවන ධනවත් රාජ්‍යය බවට පත් වන බවයි.

පසුගිය 2022 වසරේ බිලියන 1.4 ක් වන ලෝකයේ වැඩිම ජනගහනයක් වාර්තා කරන රට බවට පත් වුයේ ඉන්දියාවයි. ඊට පෙර එය වාර්තා කරනු ලැබුවේ චීනයයි. ඉන්දියාවේ ඒක පුද්ගල ආදයම ඩොලර් 2500ක් ලෙස ගණන් බලා ඇති අතර එය චීනයේ ඩොලර් 13000ක් වේ. 2023 දී පමණක් පරිගණක හා නව තාක්ෂණය කේෂ්ත්‍රය තුල පමණක් ඉන්දියාව ඩොලර් බිලියන 245ක් උපයා ගෙන ඇත. ආර්ථික වර්ධන වේගය 6.8 %ලෙස සඳහන් වන අතර එය චීනයේ 4.5% ලෙස 2022 වසර සඳහා පෙන්වයි. ඇමරිකාවේ තවත් මුල්‍ය බැංකුවක් වන MORGAN STANLY පෙන්වා දෙනුයේ ඉන්දියාවේ මෙම ආර්ථික වර්ධන වේගය සලකා බලද්දී 2027 වන විට ඉන්දියාව ජර්මනිය හා ජපානය පසුකර යාම නැවැත්විය නොහැකි බවයි.

එම වාර්තාව තව දුරටත් පවසනුයේ ඉන්දියාවේ 18-25 තරුණ ජනගහනය ඉතාමත් ක්‍රියාශීලි මෙන්ම ඔවුන් අතරින් වසරක් පාසා විද්‍යාත්මක ගවේශකයින්, පරිගණක ක්‍රියාකාරීන්, හා ජිව විද්‍යා තාක්ෂණික ඉංජිනේරුවන් විශාල ප්‍රමාණයක් රටතුලට හා ලෝක වෙළඳ පලට එවනු ලබන බවයි. මෝටර් රථ නිෂ්පාදනයෙන් ඉන්දියාව සිටිනුයේ ජපානයට ඉදිරියෙන් තෙවන ස්ථානයේය. මේ වන විට ලොව පුරා මෙවැනි බුද්ධිමතුන් හා තාක්ෂණික නිලධාරීන් මිලියන 28ක් ලොව පුර සේවය කරනු ලබන අතර ඔවුන් වසරකට ඩොලර් බිලියන 90ක් එරට ආර්ථිකයට ලබා දේ. 2022 වසරේදී ඉන්දියානු ඩයස්පෝරාව ඩොලර් බිලියන 111ක් එරටට ලබා දී ඇත. මේ වනවිට ඇමරිකානු සමාගම් වන Apple, Tesla, spacex වැනි බහු ජාතික සමාගම් චීනයෙන් පිටවී ඉන්දියාව වෙත පැමිණෙමින් තිබේ. එහිදී ක්‍රියාශීලි විශාල ජනගහනයක් සහිත ඉන්දියාවේ රට තුලම අභ්‍යන්තර වෙළඳපලක් හා ශක්තිමත් මධ්‍යම පංතියක් පැවතීමත් නිසා මෙම ආර්ථික බලවතුන් එරටට ඇතුළුවීමට තවත් විශේෂ හේතුවක් ලෙස සැලකිය හැක.

කෙසේවෙතත් Goldman sachs වාර්තාව පෙන්වා දෙනුයේ ඉන්දියානු පරිපාලනය තුල තවදුරටත් පවතින දුෂණ හා නිලධාරිවාදය හේතුවෙන් ජාත්‍යන්තර ආයෝජකයින් එරටට පැමිණීමට එතරම් කැමැත්තක් නොදක්වන බවයි. එහිදී Michelin බහු ජාතික ටයර් සමාගමේ නියෝජිතයෙකු මාධ්‍ය වෙත පවසා සිටියේ රැවුල වවාගත් දුෂිත පරිපාලන ඉන්දියානුවන් හේතුවෙන් හා අමුද්‍රව්‍ය අපනයන් මත අයකරනු ලබන අධික බදු හේතුවෙන්, ව්‍යපෘති අනුමත කිරීම සඳහා ෆෙඩරල් ආණ්ඩු විශාල කාලයක් ගැනීම හේතුවෙන් තමන් එරටින් පිටවී ගිය බවයි. මෙවැනි දුර්වලතා පැවතියත් චීනයට වඩා අඩු මුදලට ශ්‍රමය ලබා ගැනීමේ හැකියාව ඉහල අගයක පැවතීම නිසා ලෝක බහු ජාතික සමාගම් චීනය අත්හැර ඉන්දියාවේ ආයෝජනයට කැමැත්තක් දක්වයි.
Michelin බහු ජාතික සමාගම හෙලිකල ඉන්දියානු පරිපාලනය තුල ඇති මෙම දුර්වලකම් සනාථ කරමින් මෙම වසරේ 2023 ජුලි 11 වැනිදා ඇපල් සමාගමේ උප කොන්ත්‍රාත් සමාගමක් වන Foxconn සමගම ඩොලර් බිලියන 19.5ක ආයෝජන ව්‍යපෘතියක් ඉන්දියාවෙන් ඉවත් කර ගන්නා ලදී. මෙම ආයෝජනය මගින් ලක්‍ෂයකට රැකියා ලබාදීමට ඉලක්ක කර තිබිණි. එසේම යටිතල පහසුකම්, ගුවන් තොටුපලවල්, අධිවේගී මාර්ග හා වරායන් සංවර්ධනය වීම සිදු වූවත් ඒවා දීර්ඝ කාලීන ආයෝජන රටට ලබා ගැනීම සඳහා එතරම් ප්‍රමාණවත් නොමැත. මෙම කේෂ්ත්‍රවල පුර්ණ සංවර්ධනයක් සඳහා අවම වශයෙන් 10% ක ආර්ථික වර්ධන වේගයක් වසර 20ක කාලයක් පුරා අවශ්‍යව ඇති බව Goldman sachs වාර්තාව තවදුරටත් පෙන්වා දේ.

ඉන්දියානු ආර්ථිකය තුල වැඩිම අදායමක් ලැබෙනුයේ නව තාක්ෂනය හා පරිගණක කේෂ්ත්‍රය ප්‍රමුඛ සේවා අංශය මගින් වුවත් තරුණ ජනගහනයෙන් 50%ක් වන 18-60 පිරිසෙන් විශාල පිරිසකට තවමත් ඒ සඳහා අවශ්‍ය අධ්‍යාපන පහසුකම් ලබා දීමට ඉන්දියාව අපෝසත් වී ඇත. මෙම 18-40 තරුණ ප්‍රජාව තුල රැකියා වියුක්තිය 40%ක් ලෙස සඳහන් වන අතර ආර්ථිකයට ඔවුන් එක් නොකරගැනීම හේතුවෙන් රට තුල දැවැන්ත අසමානත්වයක් නිර්මාණය වෙමින් පවතී. රටේ ශ්‍රම බලකායෙන් ඉන්දියානු කාන්තාවන්ගේ සහභාගිත්වය 20%ක් ලෙස සඳහන් වේ. Goldman sachs වාර්තාවට අනුව එය රටේ සංවර්ධනයට විශාල බලපෑමක් හා බාධාවක් ඇතිකරනු ලබයි.

Global Development Policy Center of Boston නම් ආයතනය විසින් ඉදිරිපත් කරන තවත් වාර්තාවකට අනුව චීනය සමග සංසන්දනය කිරීමේදී ජාත්‍යන්තර වෙළඳපලේ ධනවත් සමාගම් 500 අතර ඉන්දියාවට ඇත්තේ ඉන්දීය සමාගම් 9ක් පමණක් වන අතර චීනයට 134 ක් ලෙස සඳහන් වේ. අප්‍රිකාව තුල රටවල් 42ක් වෙනුවෙන් ඉන්දියාව ලබා දී ඇති සමස්ථ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 12ක් වන විට චීනය එහිදී ඩොලර් බිලියන 134ක් අනුමත කර ඇත. ඒ අනුව චීනයට සාපේක්ෂව ඉන්දියාව එම කේෂ්ත්‍ර තුල තවමත් සිටිනුයේ අතිශයින් පහල ස්ථානයක වේ. එසේම ඉන්දියාවේ 64.4%ක් තාම ජිවත් වනුයේ ගම්බදව වන අතර එය චීනයේ 33%ක් පමණ වේ. ලෝක වෙළඳපල තුල ඉන්දියාවේ කොටස ලෙස සඳහන් වනුයේ 11.8%ක් වන අතර එය චීනයේ 14.4%ක් ලෙස පෙන්වනු ලබයි. කෙස්වෙතත් තවමත් චීනය යනු ඉන්දියාවේ දෙවන වෙළඳ සහකරු ලෙස සැලකේ.

එසේම මෙම ආර්ථික ජයග්‍රහණයන් ඉන්දියාවේ සියළුම ජනතාව භුක්ති විඳින තත්වයක්ද දක්නට නොලැබේ. oxfarm වාර්තා වලට අනුව 2021 වසරේදී පමණක් ඉන්දියානු කොටිපතියන් 33%කින් තම ආදායම් හා ලාභ වැඩිකර ගනිද්දී, ජනගහණයෙන් 53%ක ජිවින තත්වයන් කඩා වැටී ඇත. ඩොලර් බිලියන 500ක ප්‍රාග්ධන හිමි ඉන්දියන් කෝටිපතියන් 98 දෙනෙකු මිලියන 555ක් ජනතාවගේ අදායම් භුක්ති විඳි. රටේ රැකි රක්ෂා හිඟය 10% ලෙස සටහන් වේ. ජනගහනයෙන් 68.8%ක් ජිවත් වනුයේ දිනකට ඩොලර් 2ක ආදායමකිනි. මිලියන 363ක ජනතාවකට අවශ්‍ය මුලික සෞඛ්‍යය පහසුකම්, නිවාස හා අධ්‍යාපන පහසුකම් නොමැත.

කෙසේ වෙතත් තම පැරණි යටත් විජිත හාම්පුතා වන මහා බ්‍රිතාන්‍ය පසුකරමින් 2023 දී 7-9% ආර්ථික වර්ධන වේගයක් සමගින් ඉදිරියට එන ඉන්දියාව වසර 2075 දී ඩොලර් බිලියන 52,500ක ප්‍රාග්ධනයක් හිමිකරු වීමට නියමිත බව Goldman sachs වාර්තාව තව දුරටත් පවසා සිටි. එය චීනයේ ඩොලර් බිලියන 57000ක් ලෙසත්, ඇමරිකාවේ එය 51500 ලෙස සටහන් වේ.

වෙන්වන ඕනෑම ජාතියක ස්වයං තීරණ අයිතිය පිළිගත යුතු යැයි පැවසූ ලොව සමහර පැරණි වාමාංශික පක්ෂවල නියෝජිතයින් ” ඉන්දීය ඒකීය භාවයට එරෙහිව ඇමරිකානු බ්‍රහ්ම පුත්‍ර සැලැස්ම හෙලා දැකීම” දුටුවේ හිංදු ජාතිවාදය ආරක්ෂා කිරීමේ කර්තව්‍යයක නිරත වීමක් ලෙසයි. එහෙත් ජනාධිපති බිල් ක්ලින්ටන් යුගොස්ලාවියානු යුද්ධය අවසාන කරමින් නේටෝව විසින් සකස් කරන ලද ඩයිටන් ගිවිසුම අත්සන් කරමින් 1995 දී පැවසුවේ ඊළඟ බොස්නියාව ඉන්දියාව විය යුතු බවයි. මෙම සාහසික ප්‍රකාශය ඒ යුගයේ දිල්ලි පාලකයින් දැඩි තිගැස්සිමකට ලක් කරන ලදී.

ඇමරිකානු -චීන-බටහිර ගැටුම තුලදී එක පාර්ශ්වයකට පමණක් නතු නොවී නමුත් ගැටුම තම වාසියට හරවා ගනිමින් නොබැඳි පිළිවෙත තුල ගමන් කරමින් සියළුම බලවතුන් සමග සම්බන්දතා පවත්වමින් රටේ ඒකීය භාවය මෙන්ම ලෝකයේ නව බලවෙතකු ලෙස නැගී සිටීමට ඉන්දියාව සමත් වීම දකුණු ආසියානු කලාපයේ පමණක් නොව සමස්ථ ආසියාවේ සාමය හා ආරක්ෂාව සඳහා අත්‍යවශ්‍ය සාධකයක් වනු බවට කිසිදු සැකයක් නොමැත. ජුලි 14 වැනිදා ප්‍රංශයෙන් යුධ යානා 26ක් හා සබ්මැරින 3ක් මිලදී ගන්නා ඉන්දියාව ඇමරිකානු හා බටහිර සම්භාධක අභියෝගයට ලක් කරමින් පැයකට කිලෝමීටර් 3700ක වේගයෙන් ගමන් කරන Brahmos මිසයිල රුසියාවට ලබාදීමට ජුලි 15 වැනිදා තීරණය කරනු ලැබීමෙන් පෙන්වනු ලබනුයේ ඉන්දියාව විසින් අනුගමනය කරනු ලබන උපක්‍රමික විදේශ ප්‍රතිපත්තියේ ඇති නිර්භීත භාවය විනා වෙන යමක් නොවේ.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?