Latestදේශීය

තරුණයන්ට ලණු දෙන ජවිපෙ ගැන පවිත්‍රා කියයි

කියුබාව වගේ ආණ්ඩුවක් හදා ඇමරිකාව වගේ ජීවිතයක් දෙන බව ජනතා විමුක්ති පෙරමුණ පවසන බවත් ඇතැම් තරුණ පිරිස් මෙම ලනු ගිලින බවත් ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි.

අත්තනගල්ල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන බලමණ්ඩලය අමතමින් ඇය මෙම අදහස් පළ කළාය.

“බලවේගයක් ලෙස අපි ඉතිහාසය තුළ නිවැරදි තීන්දු ගත්ත බලවේගයක්. අපි රටට ආදරය කරන බලවේගයක්. මේ බලවේගය මුලින්ම බිහි කලේ බණ්ඩාරනායක මැතිතුමා. ඊට පස්සේ මේ බලවේගයට විවිධ නායකයෝ ආවා. විවිධ නම් දැම්මා. කුමන නායකයෝ ආවත්, කුමන නම් දැම්මත් එදා ඉදන් අද දක්වාම අඛණ්ඩව රට තුළ රැදී ඉන්න බලවේගයක් මේක. මේ බලවේගයෙන් බිහිවුනු මහින්ද රාජපක්ෂ මහතාගේ තීරණය අනුවයි රටේ යුද්ධය අවසන් කලේ. එතුමා රට සංවර්ධනය කලෙත් මේ බලවේගය නිසයි. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති කරන්න තීන්දු කලෙත් මේ බලවේගයයි. කාබනික පොහොර වැනි එතුමා ගත්ත ඇතැම් තීන්දු නිසා ප්‍රශ්න මතු වුණා. රට තුළ අරගලයක් ඇතිවුණු නිසා එතුමා අයින් වුනා. ඊට පසසේ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කරන්න අපි නිවැරදි තීන්දුවක් ගත්තා.

පාර්ලිමේන්තුවේ ජනාධිපති තෝරන වෙලාවේ රනිල් වික්‍රමසිංහ මහතා වගේම ඩලස් අලහප්පෙරුම මහතාත් ඉදිරිපත් වුණා. අපි කල්පනා කරලා බැලුවා කාටද ඡන්දය දෙන්නේ කියලා. ඒ වෙද්දි රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන ප්‍රශ්න තිබුණා. අරගල තිබුණා. රටේ තවත් ප්‍රශ්න තිබුණා. මේ ගැන බලලා අපි රනිල් වික්‍රමසිංහ මහතාට සහය දෙන්න තීන්දු කලා. ඔහු සමග අපිට දේශපාලනික වශයෙන් විශාල කෝන්තර තිබුණා. නමුත් එතුමාට තිබෙන ජාත්‍යන්තර සබදතා මත රටේ ආර්ථිකය ශක්තිමත් කරලා රට ගොඩ ගනිවි කියන විශ්වාසය මතයි අපි එතුමට සහය දුන්නේ.

රටේ තරුණ පරපුරට ලනු ගිල්ලවන්න ජේවිපි එක උත්සහ කරමින් සිටිනවා. තරුණ පිරිස තීන්දු ගන්නේ ෆේස්බුක් එක බලලා. සමාජය ගැන වැඩිහිටි ඔබට තියෙන දැනුම ඔවුන්ට නැහැ. ජේවිපි එක කියනවා කියුබාව වගේ ආණ්ඩුවක් හදනවලු. ඇමරිකාව වගේ ජීවිතයක් දෙනවලු. තරුණ පිරිස අතරින් සමහරු මේ ලණු ගිලිනවා. ඔබට වගකීමක් තිබෙනවා ඔවුන්ට මේ ගැන දැනුවත් කරලා දෙන්න.

2015 දි අපි පැරදුනු වෙලේ අපේ බලවේගයේ බහුතරය අපිත් සමග හිටියා. එන්.ජි.ඕ. වලින් නඩත්තු වෙන සමහර පිරිසක් බොරු මත ප්‍රචාරය කරා. යුද්ධය කරන එක වැරදියි කිවුවා. ණය ගන්න එක වැරදියි කිවුවා. බහුතර ජනතාවගේ මතය යටපත් කරලා සල්ලි පොම්ම කරලා එන්.ජි.ඕ. මතවාදය රට තුළ ප්‍රචාරය කරා. අදටත් ඒක සිදු වෙනවා.

ජේවිපි එක අද ඉතිහාසය ගැන කතා කරනවා. ඔවුන් රටට මොනවද කලේ. 88-89 දි ශ්‍රිලනිපයේ නායකයෝ හොය හොය මැරුවා. වමේ නායකයෝ මැරුවා. විජය මැරුවා. යු.ඇන්.පි. නායකයෝ මැරුවා. ජේවිපි එකට වසර 50 ක් පමණ වෙනවා. මොනවද රටට කරලා තියෙන්නේ. බස් ගිනි තියලා, දේපළ විනාශ කරලා, මිනී මරලා රටම විනාශ කරපු එක විතරයි ඔවුන් කලේ. ජේවිපි එකේ මන්ත්‍රීවරු අපිත් එක්ක චන්ද්‍රකා මහත්මියගේ ආණ්ඩුවේ කැබිනට් එකේ හිටියා. මොනවද කලේ?  වැව් 1000 ක් හදනවා කියලා විශාල මුදලක් නාස්ති කලා. දකුණේ ජනතාව තිස්සමහාරාම ප්‍රාදේශීය සභවේ බලය ඔවුන්ට දුන්නා. වැඩක් කරාද? ඒ නිසා ඊළග පාර ජනතාව ඔවුන්ට බලය දුන්නේ නැහැ. ජේවිපි එක කරන්නේ කටින් බතල හිටුවන එක පමණයි.

අරගලකරුවෝ මොනවද කරේ? පාර්ලිමේන්තුවේ අපිත් සමග හිටපු සහෝදර අමරකීර්ති මහතාට ගහලා ගහලා නිරුවත් කරලා මහපාරේ මරා දැම්මා. අපේ ගෙවල් ගිනි තිබ්බා. ප්‍රසන්න ඇමතිතුමාගේ ගෙදරත් ගිනි තිබ්බා. තවත් බොහෝ අයගේ ගෙවල් ගිනි තිබ්බා. අපේ පාක්ෂිකයින්ටත් ගොඩක් හිරිහැර සිදු කලා.

කොවිඩ් නිසා යුරෝපයේ බොහෝ ජනතාව මිය ගියා. වැඩිහිටියෝ පොඩි ළමයි ඔක්සිජන් නැතුව මැරුණා. මිනී භූමදානය කරන්න ඉඩ තිබ්බේ නැහැ. ඒ තරමට මිනිස්සු මැරුණා. නමුත් අපි එහෙම වෙන්න දුන්නේ නැහැ. අපේ බලවේගය රටත් ජනතාවත් ආරක්ෂා කරා.

ඒ වගේම මං කියනවා, ඊලග මැතිවරණයේදී අපේ පක්ෂයේ සහය නැතුව කාටවත් ආණ්ඩුවක් හදන්න බැහැ. ඒ වගේම කාටවත් ජනාධිපති වෙන්නත් බැහැ. විවිධ කරදර හිරිහැර අපහාස අවලාද මැද ඔබ අපි සමග මෙහෙම ඉන්න එක ගැන මම සතුටු වෙනවා.” යනුවෙන් පැවසීය.

( ප්‍රදීප් අනුර කුමාර)

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?