Latestදේශීය

සාහසික ආර්ථික අපරාධයේ වගඋත්තරකරු මහින්ද – චම්පික රණවක

එක්සත් ජනරජ පෙරමුණ ආරම්භ කරන්නේ ආර්ථික අපරාධයට දායක වූ දේශපාලකයන්, නිලධාරීන් සහ වග කිව යුත්තන්ට ආර්ථික අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාවක් හදලා දඬුවම් දීමෙන් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ එක්සත් ජනරජ පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් සමුළුව අමතමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ රණවක මහතා ප්‍රකාශ කළේ මේ වන විට ඖෂධ හිඟය මෙන් ම විශේෂඥ වෛද්‍යවරුන්. හෙද හෙදියන්, තාක්ෂණ ශිල්පීන් ඇතුළු වෘත්තිකයන් රට හැර යාම හේතුවෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රය බරපතළ අර්බුදයකට පත් ව ඇති බව ය. එමෙන්ම විශ්ව විද්‍යාල මහාචාර්යවරුන් ඇතුළු වෘත්තිකයන් රට හැර යාම හේතුවෙන් විශ්ව විද්‍යාලවල ඉංජිනේරු පීඨ, වෛද්‍ය පීඨ ද ඉදිරි කාලයේ දී පවත්වා ගෙන යාම පිළිබඳ ප්‍රශ්නයක් මතු ව තිබේ. ඊට හේතුව මේ රටේ වෘත්තීයවේදීන්ට බලාපොරොත්තුවක් නැති කම ය. අවු. 3ක් ඇතුළත මේ රට ප්‍රකෘති තත්ත්වයට ගෙන ඒම සඳහා බලාපොරොත්තුවක් ඇති කර ගන්නැයි ජනරජ පෙරමුණ ඉල්ලා සිටින බව ද රණවක මහතා ප්‍රකාශ කළේ ය. ඒ සඳහා ජනරජ පෙරමුණ වැඩපිළිවෙළක් ඉදිරිපත් කර තිබේ. ඒ වෙනුවෙන් කැප වෙන ලෙස ද හෙතෙම ඉල්ලා සිටියේ ය.

අද අප රටට ගෙන්වන ඖෂධ වර්ග 15000 කට ආසන්න ප්‍රමාණයෙන් 1/3 ක් පමණ අති අත්‍යවශ්‍ය ඖෂධ නොවේ. තවත් 1/3ක් පමණ රට තුළ නිපදවා ගත හැකි දේවල් ය. ක්‍රියාකාරී වැඩපිළිවෙළක් යටතේ අත්‍යවශ්‍ය, අත්‍යවශ්‍ය නොවන ආකාරයෙන් සකස් කොට ඉන් කොටසක් මේ රටේ දී ම නිපදවීම සඳහා කටයුතු කිරීමට අවශ්‍ය විශේෂඥ බලය ජනරජ පෙරමුණ සතු ව තිබේ.

ශ්‍රී ලංකාවේ සාහසික ආර්ථික අපරාධයේ මූලික වගඋත්තරකරු මහින්ද රාජපක්ෂ බව ද රණවක මහතා අවධාරණය කළේ ය.

සිංහල බෞද්ධයන්ට කරන්න තිබූ ලොකු ම හතුරු කම කළේ රාජපක්ෂලා බව ද ඔහු මෙහි දී පෙන්වා දුන්නේ ය.

ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තය මෙන් ම කෘෂි කර්මාන්ත ය ද ඉදිරියට ගෙන යා යුතු ය. එහි ඵලදාව වැඩි කර ගත යුතු ය. නවීන කෘෂි කර්මාන්තයක් සමග ඉදිරියට යාම සඳහා මේ රටේ කෘෂි කර්මාන්තයට ඵලදායීතාව හඳුන්වා දිය යුතු ය.  එම වැඩපිළිවෙළ සඳහා අත්දැකීම සහිත පිරිස් තමන් සතු ව සිටින බව ද රණවක මහතා ප්‍රකාශ කළේ ය.

“සමහරු හිතනවා ගොවියො සංවිධානය කරලා පෙළපාලි ගියා ම, පිකට් බෝඩ් ඇල්ලුව ම, ඒ වගේ ම පාරිභෝගිකයො සංවිධානය කරලා පිකට් බෝඩ් ඇල්ලුව ම ඒක තමයි ගොවි සටන කියලා. නියම ගොවි සටන තියෙන්නෙ මේ මහ පොළොවෙ ඵලදායීතාව වැඩි කරලා අපේ ගොවියා බලාත්මක කරන වැඩපිළිවෙළ යටතේයි. ඒ වැඩපිළිවෙළ එක්සත් ජනරජ පෙරමුණ; අපි ඉදිරිපත් කරලා තියෙනවා, ඒක අපි මහ පොළොවෙ ක්‍රියාත්මක කරනවා.”

“රටේ අර්බුදයේ මූලාරම්භය ඇති වුණේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙ. මොකද ලෝක කයියෙක් තමයි ඒ වැඩපිළිවෙළ ගෙනිච්චෙ. අපි ඒ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කෝප් කමිටුවට ගෙනෙල්ලා 2021 ඔක්. මාසෙ දි ඒ දත්ත දැක්ක ම මම දැක්කා ඉතා ම බරපතළ අර්බුදයකට රට ගෙන යන බව. කරපු අනතුරු ඇඟවීම නො තකා තමයි ගමන් කළේ. 2021 නොවැම්බර් බැසිල් රාජපක්ෂ අයවැය ඉදිරිපත් කරපු දවසෙ මම පාර්ලිමේන්තුවෙ කතා කරලා කිව්වා 2022 මාර්තු මාසෙ රටේ බලශක්ති අර්බුදයක් එනවා, සරත් වීරසේකරගේ පොලිසියට ඒ අරගලය නවත්තන්න බෑ, ඒ වගේ ම නැවත බැසිල් රාජපක්ෂ මේ රටේ අයවැය ගේන්නෙත් නෑ කියලා.”

බලශක්ති අර්බුදය පිය මං කොට මේ රටේ බලශක්ති ක්ෂේත්‍රය ගොඩ නගා ගත යුතු ය. ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ සහ අත්දැකීම් ජනරජ පෙරමුණ සතු ව තිබේ.

“අපි ට දින 100 යි ගියේ. රු. 154ට රාජපක්ෂලා ගසා කාපු පෙට්‍රල් රු.117 ට අපි දුන්නෙ නැද්ද? රු. 134ට රාජපක්ෂලා ගසා කාපු ඩීසල් රු. 95 ට අපි දුන්නෙ නැද්ද? එහෙම දීලත් ඛනිජ තෙල් සංස්ථාව ඩොලර් නෑ කියලා හරි පාඩු කළා කියලා හරි චෝදනාවක් තියෙනවද?

“අද තුන් ගුණයකින් විදුලි බිල නග්ගලත් විදුලි බල මණ්ඩලය ලාභ කර ගන්න තටමනවා, හැබැයි එදා 2015 දින 100 ක් ඇතුළත 14% කින් විදුලි බිල අඩු කරලා කෝටි 2000 ක ලාභයක් අපි ලංකා විදුලි බල මණ්ඩලයට ගෙනත් දුන්නෙ නැද්ද?”

“එදා අපි ගෙනාපු වහල උඩ සූර්ය බල විප්ලවය නොවෙන්න අද දවල්ටත් ලයිට් කපන්න වෙනවා. අලුත් අදහස් අපි ගෙනැල්ලා මේ රටේ විදුලි බල ක්ෂේත්‍රයේ අපි පරිවර්තනයක් අපි ඇති කළා. අපි කතා කරන්නෙ කයිවාරුකාරයන්ගෙ කයිවාරු මත නෙවෙයි. වැඩ කරලා පෙන්වලා අත්දැකීමෙන්. මේ බලශක්ති ක්ෂේත්‍රය ගොඩ නගපු මිනිස්සු හැටියට.”

“2015 දි අපි මුල් වතාවට විදුලි මෝටර් රථ හඳුන්වා දුන්නා. විදුලි මෝටර් රථවලට චාර්ජිං සෙන්ටර්ස් හඳුන්වලා දුන්නා. හැම කාර් පාර්ක් එකක කරගෙන යන්න අපි වැඩපිළිවෙළක් ආරම්භ කළා. අපේ ම ආණ්ඩුවෙ සමහරු ඒ විදුලි මෝටර් රථවලට බදු ගහලා ඒ ක්‍රියාවලිය අඩපණ කරන්න කටයුතු කළා. නමුත් මේ ලෝකයේ අනාගතය විදුලි මෝටර් රථ. 2035න් පස්සෙ ප්‍රධාන සමාගම් කවුරුවත් මේ තෙල්වලින් දුවන මෝටර් රථ නිෂ්පාදනය කරන්නේ නෑ.”

“මේ රටේ පොදු ජනතාවට පැයකට 15000 ක් ගෙනියන්න තමයි සැහැල්ලු දුම්රිය හැදුවෙ. එහෙම නැතුව සැහැල්ලු දුම්රිය හැදුවෙ පවුලකට ගෙදර යන්න නෙමෙයි”

“මහනුවරත් අපි හැදුවා සැලසුමක්. පේරාදෙණියෙ සිට කටුගස්තොටට මේ යන මග. ඒ වගේ ම ජපන් රජය මේ නගරය දියුණු කරන්න ජයිකා ආයතනය බිලියන ගණනක් වැය කරන්න සූදානමින් හිටියා. මේ නගරයේ තිබුණ ජල ප්‍රශ්නය විසඳන්න දුණුමඬලාවෙ ජල ව්‍යාපෘතිය ඇති කළා, මේකෙ වතුර ටික බැහැලා යන්න පොළොව යටින් යන උමං මාර්ගය හැදුවා. දුම්රිය මාර්ගය පේරාදෙණිය සිට කටුගස්තොටට හදන්න කටයුතු කළා. ජපානය අපිට කිව්වා කටුගස්තොට අපි නව නගරයක් හදමු, තෙල්දෙණියෙ නව නගරයක් හදමු, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ගන්නොරුව ආශ්‍රිත ව තාක්ෂණ නගරයක් හදමු කියලා. ගෝඨාභය මේ සියල්ල එක පෑන් පහරින් නතර කරලා දැම්මා”

මහනුවර සමුළුවට එක් වූ එක්සත් ජනරජ පෙරමුණේ ජාතික සංවිධායක, වරලත් ඉංජිනේරු සුමේධ රත්නායක මහතා;

“සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියේ 2025 වෙනකොට මාලබේ ඉඳන් බත්තරමුල්ල හරහා කොටුවට. උදේ 6.30 සිට 8.30 දක්වා පැය 2 න් එක පැයකට මිනිස්සු 14360 ක් ගෙනියන්න පුලුවන්කම තිබුණා. ඒක 2035 වෙනකොට 20,000 දක්වා වෙනවා. මේ සඳහා බස් රථ යොදවනවා නම් එක පැයකට බස් රථ 240ක් දාන්න ඕනෙ. ඒ කියන්නෙ හැම තත්පර 15කටම සැරයක් බස් රථයක් යන්න ඕනෙ. හිතන්න එක ලේන් එකක් විතරක් තත්ත්පර 15 කට සැරයක් බස් එකක් යන්න ගියොත් මොන තරම් මාර්ග තදබදයක් ඇති වෙන්න පුළුවන් ද? මාලබේ ඉඳන් කොටුවට දවසකට යනවා වාහන 120000 ක් දෙපැත්තට. ඒ කියන්නෙ ඒ පාරෙ වාහනයකට යන්න ඉඩක් ඉතිරි වෙන්නෙ නෑ. සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියෙන් කළේ මීටර් එකහමාරෙ එකහමාරෙ කනුවක් මත තමයි මේ දුම්රිය දුවන්න ලෑස්ති කරලා තිබුනෙ. කිසි ම බාධාවක් වෙන්නෙ නෑ ඒ පාරෙ යන වාහනවලට. ඒ දුම්රිය 18 ක් පැයක් ඇතුළත යන්න සූදානම් කරලා තිබුනා. සෑම විනාඩි 3.3කට වරක් ම එක දුම්රියක් යනවා. ඒ යන දුම්රිය අර යන මිනිස්සු 14360 අරං යන්න හැකියාව තියෙනවා. රු.94 යි ටිකට් එකේ ගාන වුනේ මාලබේ ඉඳන් කොළඹට. දැන් 290 යි ඩොලර් එකේ ගාන අනුව. ඒත් ලාභයි. ත්‍රීවිලර් එකක යනව නම් ගාන වෙනවා රු. 450 ක්. හිතන්න කොයි තරම් දීර්ඝ අධ්‍යයනයකින් ද මේක සැලසුම් කරලා තියෙන්නෙ. මෙන්න මේ සැලසුම් ගැන නොයෙක් නොයෙක් කතා කියන කොට අපිට සිද්ධ වෙනවා ඒකට උත්තර දෙන්න. එහෙම උත්තර දෙන්න ගියා ම ෆේස් බුක් එකේ ඉන්න අපේ මිත්‍රයො ඇවිල්ලා කියනව. “මේ ව්‍යාපෘති කරන්න හදන්නෙ කොමිස් ගහන්න..” අපි කිසිම දවසක කොමිස් ගන්න ව්‍යාපෘති කරලා නෑ!”

@Media unit

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?