Latestදේශීය

පාස්කු ප්‍රහාරයට අළුත් අර්ථකථනයක් සපයන රොහාන් ගුණරත්න

රනිල් පොහොට්ටු හවුල් ආණ්ඩුව පාස්කු ත්‍රස්තවාදී ප්‍රහාරය පිළිබඳව නව අර්ථකථන තුළින් ප්‍රචාරක ව්‍යාපාරයක් ආරම්භ කර ඇති අතර එහි ආරම්භක පියවර වශයෙන් එම ප්‍රහාරය තුළ කිසිම දේශපාලන කුමන්ත්‍රණයක් නොතිබූ බව තහවුරු කිරීමට උත්සාහ දරා තිබේ.

මහාචාර්ය රොහාන් ගුණරත්න දිනමිණ පුවත්පත සමඟ කළ සාකච්ඡාවකදී මෙම ආරම්භක පියවර තබා ඇති බව හෙළි වේ. එම පුවත්පතේ “පාස්කු ප්‍රහාරය දේශපාලන කුමන්ත්‍රණයක් නෙමෙයි” යන සිරස්තලයෙන් අදාළ ප්‍රචාරක ලිපිය පළ කර තිබිණි.

සහරාන්ගේ බිරිඳ වූ සරා ජස්මින් පිළිබඳව මෙම ලිපියේ පළ කර තිබු‍නේ “ඩීඑන්ඒ සාම්පල් ගැනීම විස්තීර්ණ ක්‍රමයට කළ යුතුයි. ඔවුන් පළමු අවස්ථා දෙකේ නිවැරදි ආකාරයට සාම්පල් ගෙන තිබුණේ නැහැ. එවිට තුන්වැනි වර ගැනීමට සිදු වෙනවා. එහි කිසිම වරදක් නැහැ. රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සාම්පල් ගැළපෙන බව තහවුරුකර තිබෙනවා. තුන්වැනි වර නිවැරදි ආකාරයට සාම්පල් ගත්විට ඒවා ජීව විද්‍යාත්මක මවක හා දරුවකු අතර පවතින සම්බන්ධය සනාථ කළා. ඇය මියගිය බව 100%ක් තහවුරුයි. ඇය දුටු බවට සමහරු බොරු ප්‍රකාශ කර තිබුණා. සීසීටීවී ආධාරයෙන් වැඩිදුර පරීක්ෂණ කරන විට ඒවා අසත්‍යය බව ඔප්පු වුණා.” යනුවෙනි.

එසේම තව දුරටත් ඒ පිළිබඳව කරුණු දක්වමින් “සහරාන්ගේ අවසාන වීඩියෝව දැක්පු කිසිම කෙනෙක් ‍පාස්කු ප්‍රහාරය දේශපාලන අරමුණක් ඇතිව කළ ප්‍රහාරයක් කියන කතාව විශ්වාස කරන එකක් නැහැ. එයට සීඅයිඒ, මොසාඩ්, රෝ හෝ දේශීය වෙන කිසිම සංවිධායනයක් සම්බන්ධ නැති බව මේ වීඩියෝව දකින ඕනෑම කෙනෙකුට තේරෙනවා.” යනුවෙන් ද ප්‍රකාශ කර ඇත. තව දුරටත් කරුණු දක්වමින් “වනාතවිල්ලුවෙ මෙහෙයුම නොකෙරුණා නම් සෑම දිස්ත්‍රික්කයම පහරදීම් කෙරෙන්න තිබුණා. මෙතැන කිසිම කුමන්ත්‍රණයක් නොතිබුණ බව පැහැදිලිය. මේ වගේ සිද්ධි මුස්ලිම් අන්තවාදය මතුවුණු සෑම තැනකම සිදුව තිබෙනවා. ලෝකයේ වෙනත් රටවලත් වෙලා තිබෙනවා. බින්ලාඩන් හා ඔහුගෙ දෙවැනියා වන අයිමන් අල් – සවාහිත් 9/11 ප්‍රහාරයේදි මේ කතාවම කිව්වා. 9/11 කොමිසම් වාර්තාවෙ ඔවුන්ගෙ අරමුණ පැහැදිව දක්වා තිබෙනවා. බාලි, ස්පාඤ්ඤයේ මැඩ්රිඩ්, එංගලන්තය, පැරිස් වගේ තැන්වල ප්‍රහාර එල්ල කළ විටත් ඔවුන් තමන්ගෙ අරමුණ මොකක්ද කියලා කිව්වා. එහෙමනම් ඒවත් දේශපාලන කුමන්ත්‍රණ වෙන්න ඕනෑ.

මොළයේ ප්‍රශ්නයක් නැත්නම් වුණේ මොකක්ද කියලා පැහැදිලියි. මේ සෑම සිදු වීමකින් පසුව ඒ රටවල ඔත්තු සේවා සංවිධාන වාර්තා නිකුත් කර තිබෙනවා. මෙයට අමතරව ප්‍රහාරයට සම්බන්ධ යයි සැකකරන ත්‍රස්තවාදීන් ද වගකීම භාරගෙන තිබෙනවා. මේ මතය බිඳින්න ඕනෑ නිසා මම සහරාන්ගේ අවසාන වීඩියෝ පටය ප්‍රසිද්ධ කළා. සහරාන් හා ඔහුගේ අනුගාමිකයන් කැප වුණේ අපේ රටට, රජයට හෝ අපේ නායකයන් වෙනුවෙන් නෙමෙයි. අයිඑස්එස් සංවිධානයේ නායක අබුබකර් අල් බැක්ඩෑඩි වෙනුවෙන්. ප්‍රහාරයට පෙර සහරාන් නිකුත් කළ වීඩියෝවෙන් මේ බව හොඳින් පැහැදිලි වෙනවා. ඒ නිසා පාස්කු ප්‍රහාරය කුමන්ත්‍රණයක් කියන්න බැහැ.” යනුවෙන් ද ප්‍රකාශ කරමින් කිසියම් කණ්ඩායමක් නිදහස් කිරීම සඳහා කරුණු දැක්වීමට ඉදිරිපත් වී ඇති බව බැලූ බැල්මටම පෙනී යයි.

ආණ්ඩුව පාස්කු ත්‍රස්තවාදී ප්‍රහාය සම්බන්ධව මාතෘකාව නැවත වෙනත් වටයකින් වෙනමම අර්ථකථන සහිතව ඉදිරියට ගෙන ඒමේ සූදානමක් පවතින බව මෙයින් පැහැදිලි වේ.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?