Latestනවතම ලිපිවිදේශීයවිශේෂාංගසංස්කෘතික

ප්‍රංශ ජාතික ගීය රෙගේ (REGGAE) තාලයට ගැයූ යුදෙව් සංගීතඥයා

Serge Gainsbourg යනු ප්‍රංශයේ සුප්‍රකට කලාත්මක සංගීතය දියුණු කිරීමේ ලා ඉතා විශාල දායකත්වයක් සැපයු යුදෙව් සම්භවයකින් යුතු වූ සංගීතඥයෙක් වේ. 1979 වන විට ගැඹුරු සහ කලාත්මක යැයි ලෙස පිළිගැනුණු ඔහුගේ කෘති ඔහු බලාපොරොත්තු වන සාර්ථකත්වයට මුහුන දෙන්නේ නැත. ඒ වන විට ඔහුගේ “sex and sun “ගීතය පවා සම්ප්‍රාදායික ප්‍රංශ සමාජයේ දැඩි විවේචනයට ලක් වී තිබිණි. මේ වන විට ලොව පුරා එතරම් ප්‍රකටව නොවූ REGGAE සංගීතය ප්‍රංශ සමාජයට හඳුන්වා දීමට හා එම මාදිලිය ඔස්සේ ගීතයක් නිර්මාණය කිරීමට ජැමෙයිකාව බලා ඔහු පිටත් වේ.

“Aux armes et cætera” නම් වූ මෙම රෙගේ ඇල්බමය ඔහුගේ වෘත්තීය දිවියේ වඩාත් කතා බහට ලක් වූ ඇල්බමයක් බවට පත් වේ. ජැමෙයිකානු සංගීතඥයන් වන විශේෂයෙන් ස්ලි සහ රොබී මෙන්ම සුප්‍රසිද්ධ රස්තා බොබ් මාලේගේ සංගීත රටාව හා එම ගීතවල තිබූ විප්ලවීය අභාෂය තම නව ගීතය සඳහා එක් කිරීමට මෙම සංගීතඥයා ප්‍රංශ ජාතික ගීය වූ “La Marseillaise” සුප්‍රකට ගීතය තෝරා ගන්නා ලදී. මෙම ගීතය ජැමෙයිකාවේ කිංග්ස්ටන් හි පටිගත කරන ලදී. ගී තැටියේ නම “La Marseillaise” නමින් වෙළඳ පලට 1979 අප්‍රේල් මාසයේදී නිකුත් කරන ලද අතර මසක් ඇතුලත 80,000කට වඩා එහි පිටපත් අලෙවි වනුයේ අති සාර්ථක ලෙසිනි.

කෙසේවෙතත් Reggae අනුවාදයකට අනුවර්තනය කරන ලද ප්‍රංශ ජාතික ගීය වූ La Marseillaise ගී තැටිය ප්‍රංශ සමාජයේ අන්ත නාසිවාදී කොටස් හා ඇතැම් සම්ප්‍රදායික දේශපාලන පක්ෂ වල ඍජුවම විවේචනයට ලක් විණි. Serge Gainsbourg විසින් නිකුත් කල මෙම නව La Marseillaise සංගීත තැටිය හෙලා දකිමින් 1979 ජුනි මාසයේදී දක්ෂිණාංශික පුවත් පතක් වන Le Figaroහි මාධ්‍යවේදියෙකු වන Michel Droit විසින් මතභේදාත්මක ලිපියක් පල කරන ලදී. ඒ සමගම මෙම නව ගීතය වටා සාකච්ඡා, විවාද, සංවාද ප්‍රංශ සමාජය පුරා වේගවත් වුයේ ප්‍රංශ ජාතික ගීයට අගෞරව කල බවට Serge Gainsbourg හට චෝදනා කරමිනි. එයින් සිදුවුයේ ගීතය ප්‍රංශ ජනතාව අතර වඩ වඩාත් ජනප්‍රිය වී ඇල්බමයේ උණු කැවුම් ලෙස විකිණී යාමයි.

විශේෂයෙන් ප්‍රංශ නාසි වාදී පක්ෂ දිගින් දිගටම Serge Gainsbourg හට සංගීත ආශ්‍රම හා ප්‍රසංග පැවැත්වීම සඳහා සහභාගී වීම ඔහුට අවහිර කරනු ලැබිණි. ඇතැම් විශ්‍රාමික ප්‍රංශ හිටපු හමුදා සාමාජිකයන්ගේ සංවිධාන වල පීඩනය හේතුවෙන් 1979 සැප්තැම්බර් මාසයේදී ප්‍රංශයේ දකුණු ප්‍රදේශයේ ප්‍රධාන නගරය වන මාර්සෙයිල් හි පැවැති සංගීත රාත්‍රියක් අවලංගු කිරීමට පවා සිදුවිය. ජාතිවාදීන් විසින් සමාජය කුපිත කිරීම හා ජනතා උසි ගැන්වීම් නිසා මෙම ගීතයේ බලපෑම මුළු ප්‍රංශයටම බලපාන්නට විය. ගීතයේ නව ප්‍රකාශණය නිසා රට කඳවුරු දෙකකට බෙදී ගියේය. කිසිදා ස්පර්ශ කළ නොහැකි ජාතික උරුමයකට එල්ල වූ ප්‍රහාරය හෙළා දකින ප්‍රංශයක් හා සිවිල් සහ නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වෙනුවෙන් සටන් කරන තවත් ප්‍රංශයක් ලෙස ප්‍රංශ සමාජය බෙදී ගියේය.

1980 ජනවාරි 4 වැනිදා Serge Gainsbourg ප්‍රංශයේ Strasbourg නගරයෙහි පැවැත්වුණු ප්‍රසංගයක් සඳහා පැමිණියේය. මාස ​​කිහිපයකට පෙර ඔහු පටිගත කළ La Marseillaise හි REGGAE අනුවාදයට මෙම ප්‍රසංගයේදී ගැයීමට එරෙහිව විශ්‍රාමික පැරෂුට් හමුදා භටයින් පිරිසක් පැමිණියේ එය කඩාකප්පල් කිරීමටය. වේදිකාවට ගොඩ නොවන ලෙස ඔහුගේ බිරිඳ හා මිතුරන් Serge Gainsbourgට බැගෑපත් විණි. ජැමයිකාවෙන් පැමිණි සංගීත කණ්ඩායමක්ද බෝම්බ ප්‍රහාරයක් සිදුකරන බවට වූ තර්ජනය හේතුවෙන් ප්‍රසංගය අවලංගු කරන ලෙස ඉල්ලා සිටියහ.
නමුත් Serge Gainsbourg නැවැත්වීමට කිසිවෙකුට නොහැකි විය. ඔහු වේදිකාවට නැංගේය.

” ජාතික ගීය යුදෙව් සම්භවයක් තිබෙන මම හා මගේ කළු ජාතික ශිල්පින් ගායනා කරනවට අකැමැති අන්ත නාසිවාදී පිරිසක් මේ රටේ සිටිනවා. මම මගේ හමුදා සේවය සඳහා නියම කල වසර දෙක අවසන් කල පුරවැසියෙක්. එසේම මම ප්‍රංශ ජාතිකයෙක්! “La Marseillaise” ගීතයට එහි මුල් විප්ලවීය අර්ථය දුන් මම විප්ලවවාදියෙක්! මා සමඟ මේ ප්‍රසංගයට එක් වන ජැමෙයිකානු සංගීත කණ්ඩායමේ සාමාජිකයන්ට හා අනෙකුත් ශිල්පීන්ට අනතුරක් වනවා දැකීමට මා සුදානම් නෑ. සාමය වෙනුවෙන් අපි සියල්ලෝම එක්ව ප්‍රංශ ජාතික ගීය ගායනා කරමු” යයි පැවසුවේය.\

සැබෑ තනුවට, සංගීතය නොමැතිව Serge Gainsbourg මිටිකර ගත් තම හස්තය ඉහලට ඔසවා ප්‍රංශ ජාතික ගීය ගායනා කරනු ලැබුවේ පැමිණි සිටි පැරෂුට් භටයන්ද එයට එක් කර ගනිමිනි. ප්‍රංශ පැරෂුට් හා හමුදා භටයින් ප්‍රංශ ජාතික ගීය කොහේදී ඇසුණත් එය ගායනා කිරීමට බැඳී සිටි. ඒ අනුව ඔවුන්ට එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කල නොහැකි විය. විදුලි පහන් නිවී ගියේය, මිනිසුන් පිටතට පැමිණියහ, පැරෂුට් භටයන් ද පිටවී ගියේ බලා පොරොත්තු රහිතවය. ඒ අවස්ථාවේදී ප්‍රංශ ජාතික ගීතය ගායනා කර සියළුදෙනාම එක් තැනකට ගෙන ඒමේ එකම මාර්ගය එය වූ අතර සිදුවන්නට ගිය මහා ව්‍යසනයක් එමගින් වැලකී ගියේ අනු නමයෙනි.


1981 දී, Gainsbourg විසින්ම “La Marseillaise” හි මුල් පිටපත වෙන්දේසියකදී මිලදී ගනු ලැබුවේ නාසි වාදීන්ට යලි ප්‍රහාරයක් එල්ල කරමිනි. තමන් දේශප්‍රේමී නොවන බවට ඔහුට චෝදනා කරන පුද්ගලයින්ට ප්‍රතිචාරයක් ලෙස ඔහු පැවසුවේ “පුරවැසියන්ට ආයුධ සන්නද්ධ වීමේ අයිතිය ” Rouget de L’Isle විසින්ම තම ගීතය තුලින් අවධාරණය කර ඇති බව යලි යලිත් කියා පාමිණි. සුප්‍රකට විප්ලවීය ගීතයක් වූ “La Marseillaise” ගීතය විප්ලවීය සංගීත ආරාවක් වූ REGGE ශෛලයෙන් ගායනා කිරීම එයට කරන අගෞරවයක් නොවන බව ඔහු මෙලොවින් සමුගත් 1991 මාර්තු 2 වනදා දක්වා ඉතා දැඩිව විශ්වාශ කරනු ලැබුවා පමණක් නොව ඒ වෙනුවෙන් අභිතව පෙනී සිටියේය.

පසුකාලීනව ප්‍රංශ ජාතික ගීය JAZZ හා ඔපෙරා ශෛලයෙන්ද ගායනා කෙරුණේ රාජ්‍ය මැදිහත් වීමෙනි. 1989 ප්‍රංශ විප්ලවයට වසර100ක් පිරෙන දා ඔපෙරා ආකාරයෙන් බැස්ටිල් හිදී එය ගායනා කරනු ලැබුවේ සුප්‍රසිද්ධ ඔපෙරා ගායිකාවක් වන ඇමරිකානු කළු ජාතික ගායිකාවක් වූ JESSYE NORMAN විසිනි. ඇය ප්‍රංශ ජාතික ගීය ගායනා කරනු ලැබුවේ ප්‍රංශ ජාතික කොඩියද පොරවා ගනිමිනි. JESSYE NORMAN නම් වූ ඇමරිකානු කළු ජාතික ගායිකාවක් ප්‍රංශ ජාතික ගීය ගැයීම හා ජාතික කොඩිය පොරවා ගැනීම හා ඇය තුලින් මතු වූ උච්චාරණ අපහසුකම් විවේචනය කරමින් ඇයට ඒ සඳහා ආරාධනා කල එවකට පැවැති ෆ්රන්සුවා මිතරෝන්ගේ පාලනයට එරෙහිව ප්‍රංශ ජාතිවාදීන් ගෙන් විශාල විරෝධයක් එල්ල විණි.

සුප්‍රකට “La Marseillaise” විප්ලවීය ගීතය ලියනු ලැබුවේ 1792 අප්‍රියෙල් 25 වැනිදා ” Rouget de L’Isle නම් වූ හමුදා නිලධාරියෙකු විසිනි.පසුව 1795 ජූලි 14 වැනිදා ප්‍රංශ විප්ලවයට වසර 6ක් පිරෙන දා එය ප්‍රංශ ජාතික ගීය ලෙස තෝරා ගන්නා ලදී. රුසියාවේ බෝල්ෂෙවික් විප්ලව සමයේ ප්‍රංශ ජාතික ගීය වූ “La Marseillaise” රුසියානු විප්ලවාදීන් විසින් ගායනා කල බව ජෝන් රීඩ් විසින් රචිත ලොව හෙල්ලූ දස දවස නම් ග්‍රන්ථයේ සඳහන් වේ. මේ හා සමාන ගීතයක් වූ ප්‍රංශයේ 1871දී සිදු වූ පැරිස් කොමියුන සමයේ සිරගතව සිට Eugène Pottier විසින් ලියූ (internationale) නම් වූ ගීතයද ලොව පුරා වඩාත් ජනප්‍රිය විය. පසු කලෙක එම ගීතයද ජාත්‍යන්තර කම්කරු ගීතය ලෙස පිළිගෙන එංගල්ස් විසින් දෙවන ජාත්‍යන්තරයේදී තෝරා ගන්නා ලදී.

සුප්‍රකට BEATLES සංගීත කණ්ඩායම ප්‍රංශ ජාතික ගීයේ ” විප්ලවය සඳහා ජනතාවට ආයුධ දියව්” යන විප්ලවීය විදානයන් ඉතා හිංසා කාරී බවට සඳහන් කරමින් එය ඉතා දැඩිව හෙලා දකුණු ලැබීය. පසුව ඔවුන් ප්‍රංශ ජාතික ගීයට එරෙහිව “ALL YOU NEED IS LOVE නම් ගීතය නිර්මාණය කරන ලදි. අදටත් ප්‍රංශයේ උදේ හවා ගැයෙන ප්‍රංශ ජාතික ගීතය වන “La Marseillaise” නව සාමකාමී ලෝකයට කෙතරම් ගැලපේද යන්න ප්‍රංශ සමාජය තුල නිතර ඇතිවන සංවාදයකි.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?