Latestනවතම ලිපිවිදේශීය

ඇමරිකාවේ හවායි ගින්න ජීවිත 100ක් අහිමි කර දහස් ගණනක් අතුරුදන් කරයි

මිනිස්සු 100කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් කරමින් තවත් දහසකට වැඩි පිරිසක් අතුරුදහන් කරමින් ඇමරිකාවේ හවායි දූපත හරහා හමා යන ලැව් ගිනි පිළිබඳ මුලු ලෝකයම කම්පාවෙන් බලා සිටී.

එම ඛේදවාචකය පිළිබඳව බීබීසී සිංහල වෙබ් අඩවිය සවිස්තරාත්මක සටහනක් තබා ඇත. එය සම්පුර්ණයේනම උපුටා ගෙන පහත පළ කෙරේ.

හවායිහි ලැව්ගිනි: ‘මෞයී නගරය ‘ගිනි සුළි කුණාටුවෙන්’ වෙලා ගනිද්දී සයිරන් හඬක් කිසි විටෙකත් නිකුත් වුණේ නැහැ’

හොලී හොන්ඩරිච් සහ මැක්ස් මට්සා හවායිහි මෞයී සිට

කලක් හවායිහි රාජකීය අගනුවර වූ ලහයිනා දැන් ආදාහනාගාරයකි.

“ඉතුරු වෙලා තියෙන දේවල් අපි රැස් කරන්නට උත්සහ කළත් ඒවා කැඩිලා බිඳිලා යනවා,” මෞයී ප්‍රාන්තයේ පොලිස් ප්‍රධානී ජෝන් පෙලෙටියර් සෙනසුරාදා පැවසුවේ, වියළී ගිය පඳුරු සහ තණකොළ ඇති පෙදෙසක් හරහා ක්ෂණයකින් පැතිර ගිය දැවැන්ත ලැව්ගින්නක් දිවයිනේ බටහිර කෙලවර ගිල ගැනීමෙන් සිව් දිනකට පසුව ය.

100කට ආසන්න මරණ සංඛ්‍යාවක් තහවුරු වී ඇති ඇත්තේ, ලහයිනාහි හට ගත් ලැව්ගිනි, සියවසකට වැඩි කාලයකදී එක්සත් ජනපදයේ ඇති වූ මාරාන්තික ම ලැව්ගින්න බවට පත් කරමිනි.

නමුත් ලහයිනාහි දැවී ඉතිරිව ගිය සුන්බුන් අතරින් මේ වන විට සොයා ගෙන ඇත්තේ 3%ක් පමණක් වන අතර, සීමිත ලෙස ක්‍රියාත්මක සෝදිසි කිරීමේ ප්‍රයත්නයන් හේතුවෙන් මරණ සංඛ්‍යාව තියුණු ලෙස ඉහළ යනු ඇතැයි යන බිය ඇති කරයි.

“අපි කවුරුත් ඇත්තට ම ඒකෙ පරිමාණය තවමත් දන්නේ නැහැ,” පොලිස් ප්‍රධානී පෙලෙටියර් අනතුරු ඇඟවූයේ හැඟීම්බර වෙමිනි.

දිවි ගලවා ගත් විශාල පිරිසක් බීබීසීය සමග ඔවුන් ගැලවුණු ආකාරය සහ ඔවුන්ට අහිමිවූ දෑ පිළිබඳ තොරතුරු බෙදා ගත්තේ, මිනිත්තුවකට සැතපුමක වේගයකින් නගරය ගිනිබත් කරමින් පසුගිය අඟහරුවාදා ඇරඹුණු ඛේදවාචකය ගැන වඩා ත් සම්පූර්ණ චිත්‍රයක් ලබා ගැනීමට උපකාර කරමිනි.

ඔවුන් ලබා දුන් තොරතුරුවල එක් පොදු කරුණක් අන්තර්ගත විය: තම දිවි රැක ගැනීමට දිව යාමට ප්‍රථම නිල වශයෙන් අනතුරු ඇඟවීමක් සිදු නොවුණු බව ප්‍රදේශවාසීන් පවසන්නේ, හදිසි අවස්ථාවකදී ප්‍රතිචාර දැක්වීම කොතෙක් දුරට සාර්ථක වූවා ද යන්න පිළිබඳව මෙන් ම තවත් පුද්ගලයින් කොපමණ ගණනක් මුදා ගැනීමට තිබුණා ද යන්න පිළිබඳ වේදනාකාරී ප්‍රශ්න මතු කරමිනි.

අවවාදය යි: මෙහි ඇතැම් පාඨකයන් කම්පනයට පත් විය හැකි කරුණු අන්තර්ගත වේ.

පසුගිය අඟහරුවාදා උදෑසන, ලහයිනා වැසියන් අවදි වී තිබුණේ විදුලිය විසන්ධි වීමට හේතුව සෙවීමට ය. ජංගම දුරකතන ආරෝපණය වී නොතිබිණි. එලාම් ඔරලෝසු නිසි වේලාවට නාද නොවුණු අතර වායුසමීකරණ යන්ත්‍ර ද අක්‍රිය වී තිබිණි.

42 හැවිරිදි ප්‍රදේශවාසියෙකු වන ලෙස් මන් මේ ඇනහිටීම පිළිබඳව දැන ගත්තේ, ඔහු එරට නැගෙනහිර වෙරළ ප්‍රදේශයට ලබා ගත් දුරකතන ඇමතුමක් එකවර ම විසන්ධි වීමත් සමග ය. ඔහු එදින අලුයම 4:00ට අවදි වී තිබුණේ පැය හයක කාල වෙනස මග හරවා ගැනීමට ය. සංවාදය අතරතුර සබඳතාව බිඳ වැටිණි.

මන් පැවසුවේ, විදුලි ඇනහිටීම කලබලයට පත් විය යුතු විශේෂ දෙයක් බව තමන්ට නොහැඟුණු බව ය.

“මම හිතුවේ ඒක තවත් විදුලිය විසන්ධි වෙච්ච දවසක් විතරයි කියලා,” යැයි ඔහු පැවසුවේ, වෙරළ තීරයට කඩා වදින සුළං ධාරා පිළිබඳව සඳහන් කරමිනි.

අන් බොහෝ අය මෙන් මන් ද උපකල්පනය කළේ, මෙම ඇනහිටීමට දිවයින ආසන්නයේ ඇති ඩෝරා සුළි කුණාටුව සමග සම්බන්ධයක් ඇති බව ය. එය පැයට සැතපුම් 65 (පැ.කි. 105) දක්වා වේගයෙන් යුතු තද සුළං මෞයී වෙත ගෙන එනු ඇතැයි බලධාරීන් අනතුරු අඟවා තිබිණි.

එම අවස්ථාවේදී ඩෝරා සුළි කුණාටුවේ සුළං ධාරා හේතුවෙන් ප්‍රදේශයේ ගිනිදැල් තීව්‍ර වීම නොවැදගත් බවක් පෙනෙන්නට විය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?