Latestදේශීයමතවාද

තහනම් වචනය “ටිරාන්” වූ අනුරගේ පැයක කතාව

(චන්දන සිරිමල්වත්ත)

දුමින්ද නාගමුව සහෝදරයා කළ ප්‍රකාශයක දේශපාලන අදහස විකෘති කරමින් ඇතැම් පාර්ශ්ව ‘වටේ යන’ බව පෙනේ. වටේ යාම ඇත්ත ප්‍රශ්නය වසං කරන මගක් හොයන අනුරලාට වාසිදායකය. නමුත්, මේ තොරොම්බල්කාර දේශපාලනය විසිතුරු ජවණිකා මවයි. ඒ නිසා මේ ‘වටේ යන ප්‍රශ්නය’ (මෝල්ටාව) ගැනම පිලිතුරු දෙන්නට තකහනියක්ම ජාතික ජනබලවේගය හරහා පදනම් ආයතනයේ සම්මන්ත්‍රණයක් සංවිධානය කළ අනුර දිසානායක පැයක කතාවක් කළේ ඊයේ සවසය.

නිරීක්ෂණයක් ලෙස, දුමින්ද මතු කළ ප්‍රශ්නයට පිලිතුරු දෙනවා වෙනුවට අනුර කළේ ඒ පාදක කරමින් වෙනත් පාර්ශ්ව දෙඩවූ ‘මෝල්ටා’ කතාවකට පිලිතුරු දීමය. චෝදනාවෙන් පීඩාවට පත්ව, නිදහසට කරුණු කියද්දී අනුර සිය කතාවකදී සාමාන්‍යයෙන් පවත්වාගෙන ගිය සංයමය පවා අහිමි කරගත්තේය. ඔහු ඉබාගාතේ කතා කරමින් හතර අතේ ප්‍රහාර එල්ල කළේය. පාර්ලිමේන්තුවේ ඇතැම් අඳ බාල මන්ත්‍රින් මෙන් සතුන්ගේ නම් පවා පටබඳිමින් ඔහු කතා කළේ මෙතෙක් පෙන්වමින් සිටි ‘කථික විදග්ධභාවය’ පරයා දේශපාලන බොලඳභාවය ප්‍රදර්ශනය කරමිනි. හාස්‍යජනක කාරණය වන්නේ එයද නොවේ. ඔහු දුමින්ද මතු කළ ටිරාන්-අනුර සහවාසයේ දේශපාලන ප්‍රශ්නය ගැන වචනයක් පවා නොකීවා පමණක් නොව, ඒ වෙනුවෙන් කළ දීර්ඝ වාග් ප්‍රහාරය තුළ තමන්ට එල්ල වූ චෝදනාවට අදාළ අනෙක් පුද්ගලයා, එනම් රනිල් රාජපක්ෂ පාලනය දිවි හිමියෙන් රකින දුෂ්ට මර්දකයාගේ නමවත් සඳහන් නොකරන්නට ප්‍රවේශම් වීමය. කාලයකට පෙර පැවති ‘විනාඩියක් පමණයි’ විනෝදාත්මක ගුවන්විදුලි වැඩසටහනේ මෙන් ‘අනුරගේ කතාව පැයයි – තහනම් වචනය ටිරාන්’ය.

ඒ චෝදනාව නැවත සිහිපත් කරමු. ‘රනිල්-රාජපක්ෂ කල්ලිය වෙනුවෙන්, ටිරාන් සංවිධානය කරන දුෂ්ට මර්දනය ගැන අනුර කිසිවක් නොකරන්නේ, වචනයක් කතා නොකරන්නේ යුරෝපයේ දූපතකට සල්ලි දාන නිසාද?’ දුමින්ද මේ කියන්නේ ‘දූපතක් මිලදී ගත් බවද?’ ‘මෝල්ටාවේ ආයෝජන ගැනද?’ නැත්නම්, දේශපාලනයේදී ජනතාවගේ සතුරකු සමග ගෙන යන ‘වංක සහයෝගයක්’ ගැනද?

අනුරගේ කතාවෙන් ඔහු තුළ වන කම්පනය පිලිබිඹු වන නමුත් ඔහු අනුගාමිකයන් පිනවන්නට යමක් කර ඇත. මැතිවරණ දේශපාලනයේදී එය පමණක් සෑහෙන්නේ නැත. බදු හොරු ගැන කියන විට, දූෂිත වලල්ල ගැන කියන විට ජනතාවට තවදුරටත් වසං කළ නොහැකි නම් ගණනාවකි. ඉතින්, ධම්මික පෙරේරා ගැන, ඩඩ්ලි සිරිසේන ගැන ඊෂාර නානායක්කාරලා ගැන කිසිවක් කියන්නේ කොහොමද? අනුරට ඒ කිසිවක් හෙලිකරන්නටද නොහැකිය. අපි බනින්නෙ අපිට ඕන අයට, එක එකා කියන පලියට අපි බනින්නෙ නෑ යැයිද අනුර විසින් වගාඩම්බර කතා කීවේය.

නමුත්, අවසානයේ ඔහු සිදුකර ඇත්තේ දුමින්ද මතු කළ ඇත්ත ප්‍රශ්නය සම්බන්ධයෙන් තවදුරටත් සාධක එකතු කිරීමය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?