Latestදේශීය

පෙරපාසල් අධ්‍යාපනය සඳහා ජාතික ප්‍රතිපත්තියක් කඩිනමින් සකස් කරනවා: අධ්‍යාපන අමාත්‍ය

ප්‍රාථමික අධ්‍යාපනයේ පළමු ශ්‍රේණියට ඇතුළත් වන දරුවන් පෙරපාසල් වර්ග පහක පමණ ප්‍රභේද ගණනාවකින් යුත් විවිධ පූර්ව අධ්‍යාපන මට්ටම්වල සිට පාසල් අධ්‍යාපනයට ප්‍රවේශවීම තුළ මතු වන අහිතකර අධ්‍යාපන විෂමතා ඉවත් කරගැනීම සඳහා පෙරපාසල් අධ්‍යාපන ජාතික ප්‍රතිපත්තියක් කඩිනමින් සකස් කළ යුතු ව ඇති බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

පෙරපාසල් අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ගත යුතු ක්‍රියාමාර්ග වශයෙන් කෙටුම්පත් කර දක්වා ඇති කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් නව ප්‍රතිපත්තිය සකස් කිරීම පිළිබඳ ව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්වුණු සාකච්ඡාවක දී ඒ මහතා මේ බව පැවසී ය.

මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ පවත්වන ලද සමීක්ෂණයක් අනුව පළමු ශ්‍රේණියේ අධ්‍යාපන මට්ටමට සරිලන පූර්ව අධ්‍යාපන සාධන මට්ටමෙහි පසු වන්නේ පෙරපාසල් දරුවන්ගෙන් 15%ක් පමණක් බව පෙනී ගොස් ඇති බවයි.

ඒ අනුව මෙම පෙරපාසල් ජාතික ප්‍රතිපත්තිය සැකසීමේ වැදගත්කම අවධාරණය කළ අමාත්‍යවරයා එම ප්‍රතිපත්ති තීරණ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමී ව කාර්යක්ෂ්ම වත් ඵලදායී වත් ක්‍රියාවට නැංවීම කෙරෙහි ද අවධානය යොමු කරන බව පැවසී ය.

එසේ ම ප්‍රාථමික අධ්‍යාපනයෙහි නිරත ගුරුවරුන් ද ඉතා විධිමත් ගුරු පුහුණුවක් ලබා ජාත්‍යන්තර මට්ටමට උචිත වන අන්දමින් දැනුමින් පමණක් නොව ආකල්ප හා කුසලතා සංවර්ධනයකින් ද පොහොසත් විය යුතු බවත් හෙතෙම සඳහන් කළේ ය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?