Latestනවතම ලිපිවිදේශීය

සඳ මත 5වෙනි රට ජපානය

සඳ මත යානාවක් ගොඩබැස්වූ ලොව 05 වැනි රට බවට පත්වීමට ජපානය මේ වන විට ප්‍රබල උත්සාහයක නිරත වෙමින් සිටින බව වාර්තා වේ.

එහි එක් අදියරක් යටතේ චන්ද්‍රයා බලා යානයක් සාර්ථකව පිටත් කර යැවීමට ජපානය අද (07) සමත් විය.

ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සියට අයත් මෙම යානය රැගත් රොකට්ටුව අභ්‍යවකාශගත කෙරුණේ, දකුණු ජපානයේ ‘තෙනෙගෂිමා’ අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙනි.
 
‘මූන් ස්නයිපර්’ ලෙසින් නම් වන මෙම මෙහෙයුම යටතේ සඳ මතට යානාවක් ගොඩබැස්වීම ජපානයේ උත්සාහය වී ඇත.

ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය සහ මිට්සුබිෂී පෞද්ගලික සමාගමක් එක්ව දියත් කළ මෙහෙයුම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 100ක් වැය කර ඇති බව සඳහන්ය.

එය අමෙරිකානු අභ්‍යවකාශ මෙහෙයුම්වල දී වැයවන මුදලට සාපේක්ෂව ඉතා පහළ අගයකි.

යානාව රැගත් H IIA රොකට්ටුව අභ්‍යවකාශගත කිරීමට පසුගිය සතිය තුළ අවස්ථා 03ක දී උත්සාහ කළත් කාලගුණ අවදානම් හේතුවෙන් එම උත්සාහයන් කල්දැමීමට ඔවුන්ට සිදු විය.

මෙම යානාව සඳ වෙත ගොඩබැස්වීමට නියමිතව  ඇත්තේ, ලබන පෙබරවාරි මාසයේ බව වාර්තා වේ.

එය සඳ මත පිහිටි ප්‍රකට ‘මාරේ නෙක්ටාරිස්’ ද්‍රෝණිය වෙත ගොඩබැස්වීම ජපානයේ සැලසුම වී තිබේ.

මාරේ නෙක්ටාරිස් ද්‍රෝණිය සැලකෙන්නේ, පෘථිවියේ සිට බැලූ විට පැහැදිලිව පෙනෙන සඳේ කළු පැහැ ලපයක් ලෙසයි.

ද්‍රෝණිය තුළ පිහිටි ‘ෂියෝලි’ ආගාධය හෝ ඊට මීටර් 100ක් ආසන්න ඕනෑම ස්ථානයක් යානයේ ඉලක්කය වී ඇත.

පෘථිවියෙන් පිටත් ව මාස 04කින් යානාව සඳ වටා කක්ෂගත කෙරෙනු ඇත.

යානය සඳ වෙත ගොබැස්වීම ආරම්භ වීමට නිමිතව ඇත්තේ, සඳ වටා තවත් මාසයක් භ්‍රමණය වීමෙන් පසුව බව සඳහන්ය.

මේ අතර, මූන් ස්නයිපර් යානාවට අමතරව, X කිරණ කැමරාවක් සහ වර්ණාවලීක්ෂ චන්ද්‍රිකාවක් ද මෙම රොකට්ටුව සමඟින් අභ්‍යවකාශය වෙත යොමු කෙරිණි.

ඒ ජපානය, අමෙරිකාව සහ යුරෝපානු අභ්‍යවකාශ ඒජන්සිය සමඟ සිදු කරන ඒකාබද්ධ ව්‍යාපෘතියක් යටතේ බව සඳහන්ය.

එම චන්ද්‍රිකාව තුළ බස් රථයක ප්‍රමාණයෙන් යුතු දුරේක්ෂයක් ද රැගෙන යන අතර, එය පෘථිවි කක්ෂයේ දී යානාවෙන් වෙන්ව පෘථිවිය වටා කක්ෂගත කිරීමට නියමිතයි.

ඒ හරහා කළු කුහර පිළිබඳ පර්යේෂණ පැවැත්වීමට ද අපේක්ෂිත බව වාර්තා වේ.

@sinhala.adaderana.lk

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?