Latestදේශීය

දේශපාලන නඩු වලදී විනිසුරුවන්ට තර්ජනය කරන බව පැහැදිළියි – අනුර කුමාර දිසානායක

පොහොට්ටු පක්ෂයෙන් ජනතාවගේ ඡන්දය ලබා ගෙන මේ වනවිට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ පාලනය ආරක්ෂා කරමින් සිටින පිරිස් දේශපාලන නඩුවලදී විනිසුරුවරුන්ට තර්ජනය කරන බව මුලතිව් මහේස්ත්‍රාත්වරයාගේ ප්‍රකාශය අනුව හෙළිවී ඇතැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පෙන්වා දුන්නේ ය.

ඔක්. 01 පැවැත්වූ මාවනැල්ල ආසන සමුළුවේදී මෙම කරුණු පෙන්වා දෙමින් එම පක්ෂයේ නායක වැඩි දුරටත් පළ කළ අදහස් පහතින් දැක්වේ.

“අපේ රටේ ඉතිහාසයේ මේ දක්වා ආණ්ඩු මාරු වුණේ ඡන්දවලින්. නමුත් ඡන්දෙකට කලින් මේ රටේ ජනතාව ආණ්ඩු මාරු කළා. ඒ 2019 නොවැම්බර්  මාසෙ  69 ලක්ෂයක ජනවරමක් ලබාගත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂත් 2020 මහ ඡන්දෙදි තුනෙන් දෙකක ප්‍රබල ජනවරමක් ලබාගත් අගමැති මහින්ද රාජපක්ෂත්, ආණ්ඩුවත් වෙනස් කරන්න කියලා රටේ මහජනතාව  පාරට  බැස්සා. මේ පාලකයන් වෙනස් කරන්න ඕන කියන අදහස රටේ ජනතාවට තිබුණ නිසා, ඒ අරගලයට මහජනතාවගෙ ආශිර්වාදය ලැබුණා. නමුත් එහි ප්‍රතිඵලය යහපත් වුණේ නෑ. රනිල් වික්‍රමසිංහ ජනාධිපති වෙලා මාස පහළොවකට ආසන්න කාලයක් වෙනවා. ලබන වසරේ අගෝස්තු මාසයේ අනිවාර්යයෙන් ජනාධිපතිවරණ කැඳවන්න  සිදුවෙනවා. ඉදිරි කාලය සුබදායි වන බවට ආණ්ඩුව ජනතාවට බලාපොරොත්තු ඇති කරනවා. නමුත් ජනතාව ආණ්ඩුව ගනු ලබන තීන්දු  තීරණ කෙරෙහි කිසිසේත් සතුටකින් නැහැ.  එදා ලක්ෂ ගණන් ජනතාව පාරට බැහැලා ඉල්ලා සිටි, අපේක්ෂාවන්,  අරමුණු ඉලක්කයන් ඉටුකර දීමට මේ පාලකයන් අසමත් වෙලා තියෙනවා.

ජනතාව බලාපොරොත්තු වුණා නීතියේ විධානයේ ආධිපත්‍ය තියෙන රටක්. සැමට සාධාරණ නීතියක් ක්‍රියාත්මක වෙන රටක්. නමුත් එය ඉටු වූයේ නැහැ. පසුගිය දිනෙක පාතාල කණ්ඩායම් දෙකක් අතර ගැටුමක් සිද්ධ වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස ගාල්ලෙ ව්‍යාපාරිකයෙක් මිය යනවා. ඔහු එක පාතාල  කඳවුරක් නියෝජනය කළ කෙනෙක්. ඔහු ඇමති කෙනෙක්ගේ මාමා කෙනෙක්. අපට අද පෙන්නුම් කර තිබෙනවා මේ පාතාලයන් පිටුපස, කුඩු ජාවාරම් පිටුපස දේශපාලකයන් ඉන්න බව. ඔබ දන්නවා පුත්තලමෙ ‘අලි සබ්රි” විශාල රත්තරන් තොගයක් ගෙනත් අහුවුණා. ඔහු පසුවදා පාර්ලිමේන්තුවට ආවා. එදා පාර්ලිමේන්තුවෙ ඡන්දයක් පැවැත්තුවා. එයට ඔහු විරුද්ධව ඡන්දය පාවිච්චි කළා. ඊට පස්සේ පාර්ලිමේන්තුවෙ තවත් ඡන්ද කීපයක් තිබ්බා. ඒ සෑම ඡන්දයකදිම අලි සබ්රි ඡන්දය පාවිච්චි කළේ ආණ්ඩුවට පක්ෂව. කෙහෙළිය රඹුක්වැල්ලට විරුද්ධ විශ්වාසභංගෙදි, අලි සබ්රි ඡන්දය දුන්නෙ කෙහෙලිය රඹුක්වැල්ලට පක්ෂව. ඒ කියන්නේ ආණ්ඩුවට පක්ෂව. සාධාරණව නීතිය ඉටුවන බවට කිසිදු ක්‍රියාමාර්ගයක් පෙන්නුම් කරන්නේ නෑ. පසුගියදා මුලතිව්වල මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළා. නඩු තීන්දුවක් දීම හේතුකොටගෙන  ඔහුට මරණ තර්ජන එල්ල වෙලා තිබෙන බව. එයින් පැහැදිලි වෙනවා විනිසුරුවරුන්ට දේශපාලන නඩුවලදි තර්ජනයක් තියෙන බව. ඒ නිසා රටේ නීතිය කෙරෙහි විශ්වාසයක් ගොඩනැඟෙන්නේ නැහැ.

අරගලයේ තවත් බලාපොරොත්තතුවක් තමයි දුෂණය නාස්තිය නතර කිරීම. නමුත් ජනාධිපතිවරයා මොකද කරන්නේ. ජනාධිපතිවරයා රැජිණගේ මළ ගෙදර යනවා. කුමාරයාගෙ ඔටුනු පලඳන උත්සවයට යනවා, ජපානයේ අගමැතිගෙ මළ ගෙදර යනවා, රාජ්‍ය නායකයෙක් ලෙස ජනාධිපති පමණක් වූ කණ්ඩායමක් සමඟ ජර්මනියේ පරිසර සමුළුවකට යනවා. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමට රැගෙන ගියේ  මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන. මේ අයව රැගෙන ගියේ රට ගැන හිතලා නෙමෙයි.  ජනාධිපති කැම්පේන් එක ගැන හිතලා. තමන්ගේ දේශපාලනයට, ඊළග ජනාධිපති සිහිනයට, පොහොට්ටුවේ සහාය ලබාගැනීමට මහජනයාගේ ධනය නාස්ති කරනවා.  ස.ජ.බෙ. බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී සුරේෂ් වඩිවේල් රැගෙන ගියේ, ඇයි? ඊළඟ ජනාධිපති වෙන්න නම් වතුකරයේ ඡන්ද ලබා ගන්න ඕනෙ. ඒකට සුරේෂ් වඩිවේල් ගන්න ඕනෙ.  සුරේෂ් වඩිවේල් ගන්න නම් එයාව නිව්යෝර්ක්  එක්ක යන්න ඕනෙ. ඊට කලින් සාගල රත්නායක ඇමරිකාවට ගියා. ඇමරිකාවේ සිට කෙලින්ම ජර්මනිය යනවා. මේ මොකටද? මහජනතාවගේ මුදල් නාස්ති කරන,  දේශපාලනයෙන් මේ අය වෙනස්වෙලා නැහැ.  මහජනතාවගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරන එක නතර වෙලා  නැහැ. මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් නැගිට්ටේ මේ සංස්කෘතියට  විරුද්ධව.

ඔබ හිතනවද ඉතිරි මාස 11 හොඳ වෙයි කියලා. නැහැ තවත් ප්‍රශ්න වැඩි වෙනවා. කාලය කෙටි වෙන්න කෙටි වෙන්න වැඩේ දෙනවා. ජර්මනියේ පරිසර සමුළුවට ගිහින් ජනාධිපති ප්‍රකාශ කරනවා, ලෝකෙ චීනය සහ එක්සත් ජනපදය අතර ගැටුමක් තිබෙනවා, ඒක ලෝක සංවර්ධනයට බාධාවක්. වහාම ගැටුම නිරාකරණය කරගන්න ඕනෙ. චීනයට සහ ඇමරිකා එක්සත් ජනපදයට අවාද දීලා  පසුවදා චීනයට යන්න ට්‍රයි කරනවා, කීයක් හරි  ඉල්ලගෙන  එන්න.

ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ව්‍යාපෘති ගණනාවක් තිබෙනවා. එකක් සුලං බලයෙන් විදුලිය නිෂ්පාදනය කිරීම. දෙක, සූර්ය බලයෙන් විදුලිය නිෂ්පාදනය  කිරීම. සුළං බලයෙන් විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා බලාගාර හදන්න අපට යම් විශාල මුදලක් අවශ්‍යයි. ඒ සඳහා ප්‍රාග්ධනය ඇති ආයෝජකයෙක් කැඳවන්න සිදුවෙනවා.  එයට  අපි  එකගයි. ඒ සඳහා අපි තෝරා ගත යුත්තේ අපට වාසිදායක ආයෝජකයෙක්. ආයෝජකයා විදුලිබල මණ්ඩලය සමග විදුලිය මිලදී ගැනීමේ ගිවිසුමක් අත්සන්  කළ  යුතුයි. ඒ සදහා ටෙන්ඩර් කැඳවීමක් කළ යුතු වෙනවා. අපේ රටේ පුනරීන්වල මෙතරම් ප්‍රමාණයක් සුළං බලයෙන් විදුලිය නිෂ්පාදනය කිරීමේ ඉඩකඩ තිබෙනවා. ඕගොල්ලො විදුලිය නිෂ්පාදනය කරලා අපට කීයටද දෙන්නේ, විමසීමක් කළ යුතු වෙනවා. එතනදි අපි අඩු මිලට දෙන අයත් සමග ගිවිසුම්ගත විය යුතුයි. අද එවැනි කිසිදු ටෙන්ඩර් කැඳවීමක් නැහැ . අදානිට මන්නාරමේ මෙගාවොට් පන්සියක් හදන්න දෙනවා. මිලදී ගැනීමට ටෙන්ඩර් කැඳවන්නේ නැහැ. අමාත්‍යංශ සහ එයා අතර  එකඟතාවයකට  එනවා. අපට තිබෙන ආරංචි හැටියට විදුලි ඒකකය ඩොලර්  ශත  හත හමාරයි. අදානි ඉන්දියාවෙත් විදුලි බලාගාර හදනවා. පසුගියදා අදානි ඉන්දියාවේ බලාගාරයක් ගත්තා,  ඉන්දියාවේදී අදානි ඒක ගත්තේ ටෙන්ඩර් කැඳවීමෙන්. එම ගිවිසුම අනුව ඉන්දියානු විදුලිබල මණ්ඩලයට  ඒකකයක් විකුණන්න ඩොලර්  ශත  තුනහමාරකට. එතන තමයි ගතමන්ට් එක තිබෙන්නේ. සාම්පූර්වල සුර්ය බලයෙන් විදුලිය නිෂ්පාදනය කරන්න මෙගාවොට් 150ක් අදානිට දෙනවා. සාමාන්‍යයෙන් මෙගාවොට් එකක් හදන්න අක්කර තුනක සෝලාපාම් එකක් දාන්න ඕනෙ. අක්කර තුනකින් මෙගාවෝට් එකයි හදන්නේ. මෙගාවොට් 150ක් හදන්න 450ක් ඕනෙ.

විදුලිබල මණ්ඩලය සොයාගෙන තිබෙනවා, සූර්ය ශක්තිය තිබෙන තැන්වල ඉඩම් බිම් අඟලක් වත් නොමැතිව මෙගාවොට් 1000ක් හැදිය හැකි බව. නමුත් කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව මෙගාවොට්150ක් හදන්න ඉඩම් අක්කර 450ක් දී තිබෙනවා. පුනරීන්වල තවත් අක්කර 700ක් දෙන්න සැලසුම්කර තිබෙනවා. මේ කරමින් සිටින්නේ පැරණි වංචා දූෂණයමයි. ජනතාව පාරට බැස්සේ මේ දේශපාලනයට විරුද්ධව.

පසුගියදා රනිල් ප්‍රකාශ කළා බංග්ලාදේශයෙන් අරගෙන තිබූ ඩොලර් මිලියන 200 ගෙවූ බව. අපේ මුළු ඩොලර් ණය ප්‍රමාණය ඩොලර් මිලියන 37,000යි. අපේ රුපියල් ණය ප්‍රමාණය ඩොලර්වලින් රුපියල් මිලියන 44,000යි. ගෙවා තිබෙන්නේ ඩොලර් මිලියන 200යි. මේ අර්බුදය ගොඩගැනීම සඳහා වූ සැලැස්මක් පෙනෙන තෙක් මානයේ නැහැ. ඒගොල්ලෝ ගියා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේ ආර්ථිකයේ දේහයට ඇති වි තිබෙන අර්බුදයට විසඳුම් කිව්වේ නැහැ. ජාත්‍යනතර මූල්‍ය අරමුදල විසඳුම් දෙන්නෙ ගිණුම්වලට උත්තරයක්. ප්‍රශ්නය තිබෙන්නේ ගිණුමේ නොවෙයි. ආර්ථික අර්බුදයේ ප්‍රකාශනයයි ගිණුමෙන් පෙන්නුම් කරන්නේ. මේකට  විසඳුම් සොයන්න ආර්ථික දේහයේ වෙනසක් කළ යුතුයි. රනිල්ගේ විසඳුම් සැලසුම ආර්ථිකය හැකිළීම. එහි අවසන් ප්‍රතිඵලය තමයි තව තවත් අර්බුදයට යාම. ආර්ථිකය කඩා වැටීම.  රනිල් බලාපොරොත්තු වුණා 2023 වැට් ආදායම බිලියන 912ක් සොයන්න. නමුත් පළවෙනි මාස හයට ලැබී තිබෙන්නේ බිලියන 230යි. ඉතිරි මාස හයෙත් එම මුදලම ලැබුණොත් බිලියන 460යි. ආණ්ඩුවේ ආදායම හරි අඩකින් අඩුවෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර තිබෙනවා රජයේ ආදායම් පිළිබඳව සතුටු නොවෙන බව. ඔවුන් කියනවා විදුලි බල මණ්ඩලයේ ආදායම රුපියල් කෝටි 3000කින් වැඩි කර ගන්න උවමනා බව. මේ මාසය ඇතුළත 22%ත් 26%ත්  අතර විදුලි බිල වැඩිවෙනවා. රනිල් වික්‍රමසිංහ අපේ ආර්ථිකය ලිහා ගන්න බැරි පඹගාලක පටලවා තිබෙනවා. දැන් ඔහු අපේ රටේ සම්පත් ටිකට අත තබමින් ඉන්නවා. ටෙලිකොම් ආයතනය, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ලංකා හොස්පිට්ල් එක, ආණ්ඩුව සතුව තිබෙන ගලදාරි හෝටලය, ආණ්ඩුව  සතුව තිබෙන ගෑස් බෙදාහැරීමේ ආයතනය, ආණ්ඩුව සතුව තිබෙන වෝටර්ස් එජ් හෝටලය, ආණ්ඩුව සතුව තිබෙන හයට් හෝටලය, මේ ආයතන කමිටුවක් දමා විකිණීමට සියල්ල සැලසුම් කරමින් යනවා. මෙපමණක් නොවෙයි. මාර්තු මාසයේ 20 සහ 21 බණ්ඩානායක සම්මන්ත්‍රණ ශාලාවේ සමුළුවක් සූදානම් කර තිබෙනවා. සියලුම තානාපති කාර්යාලවලට ලියා තිබෙනවා, මේ ආයතන මිලදී ගැනීමට ආයෝජනය කිරීමට කැමති අයට පැමිණෙන ලෙසට.  අපේ රටේ මුළු ඛනිජ සම්පත් පිළිබඳ විස්තරයක් ඉදිරිපත් කරනවා. අපේ රටේ මැණික් සම්පත් තිබෙන ඉඩම්, වසර 700ක් පොහොර හැදිය හැකි දැවැන්ත පොස්පේට් නිධිය, වාර්ෂිකව, ස්වභාවික ලෙස වැල්ලට ගොඩගසන ටයිටේනියම්, තෝරියම් සම්පත් තිබෙන  පුල්මුඩෙයි ඛනිජ වැලි නිධිය, වටිනා මිනිරන් සහිත කහටගහ පතල, හුනුගල්, මොණරාගල යපස් සම්පත, වෙන්දේසියේ දාන්න සූදානම් වෙලා ඉන්නවා. එන්.ඩී.බී. ආයතනයට අයිති, මැල්සිරිපුර ෆාම් එක,   ආඬිගම ෆාම් එක, රිදියගම ගොවිපොළ, නාරම්මල ගොවිපොළ, පොළොන්නරුවෙ ගොවිපොළ, ආදී විශාල ගොවිපොළවල් 21ක් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට තිබෙනවා. එම ගොවිපොළවල් 31ම ඉන්දියාවේ අමූල් සමාගමට විකිණීමට සූදානම් වී ඉන්නවා. ඒ සහා කමිටු දෙකක් දමා තිබෙනවා. එක කමිටුවක් එම ගොවිපොළවල් අයත් භූමියේ සහ ගස්වල, එහි වගාවේ වටිනාකම තීරණය කිරීමටත්, දෙවන කමිටුව එම ගොවිපොළවල්වල සිටින සතුන්ගේ සහ ඒවායේ තිබෙන උපකරණවල  වටිනාකම තීරණය කිරීමටත් යොදාගෙන තිබෙනවා. ඒ කමිටුවේ සිටින්නේ පශු සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්. ඔබ යෝගට් එකක්, කිරිපිටි ගත හොත් ‘හයිලන්ඩ්’ එක කෙරෙහි විශ්වාසය තබාගෙන සිටිනවා. ‘හයිලන්ඩ්’ එක ඉන්දියවේ අමූල් සමාගමට විකිණීමට අවශ්‍ය කැබිනට් පත්‍රිකා සකස්කර අවසන්. දැන් හුවමාරු කිරීම සහා සාකච්ඡා යමින් තිබෙනවා. මිල්කෝ ආයතනය අමූල් සමාගමට විකිණීමට කැබිනට් මණ්ඩලය අනුමත කර අවසන්.

වර්තමානයේ ලංකාවට අවශ්‍ය මෙගාවොට් 2000ක විදුලිය. මන්නාරමේ සුළං බලයෙන් මොගාවොට් 4000ක විදුලිය නිපදවීමට හැකි විභවයක් තිබෙනවා. මෙගාවොට් 4000ක් අවශ්‍ය වෙන්නේ,  2040 වෙන කොට. පුනරීන්වල මෙගාවොට් 2000ක් නිපදවීමේ විභවයක් තිබෙනවා. මේ සම්පත් සියල්ල විකිණීමට සූදානම් කර තිබෙන්නේ. මේ සම්පත් අපේ උපන් නූපන් පරම්පරාවට අයිති සම්පත්. මේවා විකුණන තෙක් අපි බලා සිටිය යුතුද? මේ උත්සාහ කරන්නේ රනිල් වික්‍රමසිංහ කීයක් හෝ අරගෙන ඡන්දය දිනාගැනීමේ අවශ්‍යතාවය.

අපේ රටේ ගොවිපොළවල් 31 අපි දන්නවා. අපිට ඒවායේ තත්වය ගැන සතුටු විය නොහැකියි. ඒවායේ සම්පත්වලින් වැඩි ඵලදායකත්වයක් ලබාගැනීමට එවා හොඳින්මෙහෙයවන්න හැකියාව තිබිය යුතු වෙනවා. මේ පාලකයෝ ඒවා කරන්නේ නැහැ. ඒවායේ වත්මන් තත්වය ගැන සතුටු විය නොහැකියි. හොඳම තාක්ෂණය ගෙනැවිත් ඒවා දියුණු කළ යුතුව තිබුණා. එහෙම නොකළේ මේ පාලකයෝ. ඒවා කඩා වට්ටලා, පාඩු කරලා, එයාලට විකිණීම තමයි අද උත්තරයකට තිබෙන්නේ. මෙය පරාජයට පත් කිරීමේ අත් නොහැරිය හැකි වගකිමක් තිබෙනවා. මේ විකිණීමත්, මේ පාලනයත් පරාජය කළ යුතුයි.

අපට ජාතික සමගියෙන් පිරි රටක් ඕනෙ. නමුත් පාලකයන්ට ඕනෙ වෙන්නේ ජාතීන් බේද භින්න කිරීම.  ඇයි ඒ? ඒක තමයි එයාලගේ දේශපාලනය. මහින්ද රාජපක්ෂලා නොහිතපු විදිහට 2015  බලය අහිමි වුණා. නැවත බලය ලබාගැනීම සඳහා එයාලා  ව්‍යාපෘති හැදුවා. ආරම්භයේදි ඔවුන් කියන්න පටන් ගත්තා උතුරේ යළි කොටි නැගිටින කතාවක්. 2015න් පසුව අපේ ශබ්ද කෝෂයට ආවා “යළි කොටි නැගිටියි” කියලා මාතෘකාවක්. 2017දි එය යටපත් වී ගොස් වෙනත් මාතෘකාවක් කරළියට ආවා. මුස්ලිම් ජනතාව ඉතා සැලසුම් සහගතව සිංහල ජනතාව ව‍ඳ කිරීමට. 2050  වෙන කොට මුස්ලිම් ජනතාව බහුතර ජනතාව වී සිංහල ජනතාව සුළුතරය බවට පත්වෙනවා. “ජාතිය අනතුරේ” කිව්වා. ව‍ඳ ඇඳුම්,  ව‍ඳ කොත්තු, ව‍ඳ දොස්තරලා ගැන කිව්වා. ගොඩනැගුවා මහා මිත්‍යාවක්. රට ගිනිගන්න ඔන්න මෙන්න තැනක තිබුණා. එවැනි තැනකට යන්න ඒගොල්ලෝ ඉඩ දෙන්නේ නැහැ. එයාලට උවමනා ගානට කළමනාකරණය කර ගත්තා. පාස්කු ප්‍රහාරයෙන් පස්සේ තැන තැන කඩු හමුවෙන්න පටන් ගත්තා. ඊට පස්සේ කියන්න පටන් ගත්තා සහරාන් පුපුරවා ගත්තේ නැත්නම් අපි නිදා ඉන්න වෙලාවක කොටලා මරන්න තමයි හිටියේ කිව්වා. ඒගොල්ලෝ ජනාධිපති ඡන්දයෙ ප්‍රතිඵලය ලියා ගත්තා. ජනතාව අතර වෛරය, සැකය, ක්‍රෝධය ලියලන්න පටන් ගත්තා. ඒක තමයි එයාලගේ දේශපාලනය. එයාලට කවදාවත් ජාතික සමගිය අවශ්‍ය නැහැ. අදත් ඒගොල්ලෝ උත්සාහ ගන්නවා ජාතිවාදය අවුස්සන්න.

ලෝකයේ රටක අනාගත ස්ථාවරභාවය රඳා පවතින්නේ ඒ රට මොනතරම් ප්‍රමාණයකින් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමට සමත්ද යන්න මත. අද ඉන්දියාව ඖෂධ නිෂ්පාදනය, කෘෂිකාර්මික භාණ්ඩ,  කාර්මික භාණ්ඩ, අයි.ටී. මාර්කට් එක, මෘදුකාංග පද්ධති නිෂ්පාදනයේ සිට කෘෂි නිෂ්පාදනය දක්වා දැවැන්ත නිෂ්පාදන රාජ්‍යයක් ගොඩනගාගෙන තිබෙනවා. දකුණු කොරියාව, ලෝකයේ ප්‍රධානය ප්ලාස්ටික් සර්ජරි කරන රට. ලෝකයේ රූපලාවන්‍ය උපකරණ නිෂ්පාදනයේ ප්‍රමුඛ රටක්. ප්‍රබලම චිත්‍රපට කර්මාන්තය, සංගීත ක්ෂේත්‍රෙය් දැවැන්ත නිෂ්පාදනයන්, අත්පත් කරගෙන තිබෙනවා.

අපේ පාලකයන් අවශ්‍ය වෙලාවට අවශ්‍ය තීන්දු ගත්තේ නැහැ. උපාලි විජේවර්ධන යුනික් රේඩියෝව නිෂ්පාදනය කළා. ඒක දියුණු කළේ නැහැ. පියට් කාර් එක පටන් ගත්තා. එය දියුණු කළේ නැහැ. කඩදාසි කර්මාන්ත ශාලාව, සීනි කර්මාන්ත ශාලාව, සිමෙන්ති කර්මාන්ත ශාලාව, පරන්තන්වල රසායන කර්මාන්ත ශාලාව, වසා දැමුවා. කිසි නිෂ්පාදනයක් නොකර තිබෙන දේවල් විකුණා කන, නාස්තිකාර තාත්තෙක් වගේ රටේ පාලකයෝ ඇති වුණා. මේ රටේ නැවත අලුත් පරිවර්තනයක් ඇති කරන්න ඕනෙ. එහි ප්‍රතිවිපාක අපි සෑම දෙනාම බුක්ති විඳිනවා. ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාර කඩාවැටී තිබෙනවා. ඉදිකිරීම් කර්මාන්තය මුළුමනින්ම කඩා වැටී තිබෙනවා. ඉංජිනේරුවන් දහස් ගණනකට රැකියා අහිමි වී තිබෙනවා. ලෝකයේ වෙළඳපොළ අත්පත් කර ගැනීම සඳහා, ඉතා වේගවත්ව නව ආර්ථික පරිවර්තනයක් අපි කළ යුතුයි. ජාතික ජන බලවේගයේ අපි කරන්නේ ඒ කාර්යය. ඒ සඳහා ආණ්ඩු වෙනසක් කළ යුතුයි. කල් දමන ලද පළාත් පාලන මැතිවරණයේ තීන්දුව නුදුරේම ලැබෙනවා. අධිකරණය ජනතාවගේ ප්‍රජාතන්ත්‍ර අයිතියට පටහැනි තීන්දුවක් දේවියැයි මම හිතන්නේ නැහැ. නමුත් කුමන තීන්දුවක් දුන්නත් එයින් ආණ්ඩුව මගහැර ගියත් ආණ්ඩුවට ජනාධිපතිවරණය මගහැර යාමට කිසිසේත්ම නොහැකි වෙනවා. එළඹෙන අයවැයෙන් රුපියල් බිලියන එකොළහක් වෙන්කොට තිබෙන බවට ප්‍රවෘත්තියක් පුවත්පතේ පළ වී තිබෙනු දුටුවා. ඒගොල්ලෝ හිතනවා ගමේ අයට තහඩු ටිකක්, සිමෙන්ති ටිකක්, අරක්කු ටිකක්, බත් පාර්සලයක් , සාරියක් දීල රවටා ගත හැකියි කියා. හැබැයි ලංකාවේ දේශපාලනය ගොඩක් වෙනස් වෙලා. යමක් බෙදලා ජනතාව වෙනස් කරන්න හැකිවෙයි කියා හිතනවා. එයාලා හොරකම් කරපු ධනය ගෙනත් බෙදන කොට, ඔබ ගමට ගොස් දැනුම බෙදන්න. ගමේ ජනතාවට තේරුම් කර දෙන්න. දේශපාලන දැනුම බෙදන්න.

අපේ රටේ ඉතිහාසයේ තීරණාත්මක අවස්ථාවල අපේ ස්වාමීන් වහන්සේලා කරපු කාර්යභාරය ඉතා විශාලයි. ඒ කාර්යභාරය අද අපට අවශ්‍යයි. පල්ලියේ මව්ලවිතුමා, කෝවිලේ තුරුක්කල්තුමා, කතෝලික පල්ලියේ පියතුමා, ඔබතුමන්ලාගෙන් ඉල්ලා සිටිනවා, මේ සත්කාර්ය වෙනුවෙන් හඬ අවදිකරන්න. ඒ වගේම මෙතන රැස්වී සිටින ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා, තව මාස එකොළහයි. අපේ රටේ ඉරණම සුබදායී දිසාවට ගමන් කරනවාද? විනාශකාරී දිසාවට ගමන් කරනවාද? යන්න තීරණය කරන්නේ මේ මාස එකොළහ. පරණ පාර තවත් බලන්න දෙයක් නැහැ. අපි අපේ ජීවිත අත්දැකීම්වලින් පරණ පාරේ විනාශකාරිත්වය දැක තිබෙනවා. අලුත් බලාපොරොත්තුවක් තියන්න, අරමුණක් සහිතව ඉදිරියට යන අලුත් පාර ජාතික ජන බලවේගයේ මාලිමාව පෙන්වන පාර.“

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?