Latestවිදේශීය

මිහිපිට අපායක් කළ ගාසා තීරය

ඊශ්‍රායල – හමාස් යුද ගැටුම්වලින් මියගිය පිරිස 3,600 ඉක්මවා ගොස් තිබේ.

හමාස් සංවිධානය ඊශ්‍රායලය වන වෙත එල්ල කළ හදිසි ප්‍රහාරයෙන් පසු ඇරඹි යුද ගැටුම් අඛණ්ඩ 9 වැනි දිනටත් ක්‍රියාත්මක වෙමින් පවතී.

ගාසා තීරයට එල්ල වන ඊශ්‍රායල ප්‍රහාර නිසා මියගිය ගණන 2,300 කට අධිකය.

ඉන් තුනෙන් එකක්ම දරුවන් බව සඳහන් වේ.

ගාසා හි අයිස් ක්‍රීම් ප්‍රවාහන රථ තුළ පවා මෘතදේහ ගොඩගසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

උතුරු ගාසා හි වෙසෙන මිලියන 1.1ක ජනතාවට ඉන් ඉවත් යන ලෙස ඊශ්‍රායල පසුගියදා නියෝගය කර තිබුණි.

ඒ අනුව ජීවිතය උදෙසා පළායමින් සිටි කාන්තාවන් සහ ළමයින් රැසක් රැගත් එක් ට්‍රක් රථයකට අවාසනාවන්ත ලෙස ඊශ්‍රායල ප්‍රහාරයට ලක්ව තිබු ආකාරය විදෙස් වාර්තා සඳහන් කළේය.

කෙසේ නමුත් පළා යන සිවිල් වැසියන් ඉලක්ක කළ ප්‍රහාරයක් එල්ල කළ බවට වන චෝදනා ඊශ්‍රායල හමුදාව ප්‍රතික්ෂේප කර තිබේ.

ජනතාවට ඉවත්ව යන ලෙස කළ නිවේදනය අලුත් කරමින් ඊශ්‍රායල හමුදාව ගාසා වැසියන්ට ඉවත්ව යා හැකි ආරක්ෂිත කොරිඩෝවක් ඊයේ (15) විවෘත කළේය.

ඒ අනුව පැය 3ක කාලයක් ඔවුන්ට ලබාදී ඇති අතර එම කාලසීමාවේදී ප්‍රහාර එල්ල නොකරන බව ද නිවේදනය කළේය.

ඉදිරියේදී උතුරු ගාසා හි දරුණු යුද ක්‍රියාකාරකම් සිදුවීමට නියමිත බව ද ඊශ්‍රායල හමුදාව පවසයි.

මේ අතර උතුරු ගාසා හි රෝහල් සියල්ල ද ඉවත් කරගන්නා ලෙස ද ඊශ්‍රායලය දන්වා තිබේ.

මෙය ඉතා අසීරු කටයුත්තක් බව පවසන ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ එය රෝගීන්ගේ මරණ වරෙන්තුවකට සමාන කළ හැකි බවය.

එම සංවිධානයට අනුව උතුරු ගාසා හි රෝහල් 22ක රෝගීන් 2,000ක් පමණ ප්‍රතිකාර ලබමින් සිටී.

මේ අතර ගාසා තීරය වෙත භූමියෙන්, ගුවනින් සහ මුහුදින් ප්‍රහාර එල්ල කරන බව ඊශ්‍රායල හමුදාව නිවේදනය කර තිබේ.

කෙසේ නමුත් ඊට නිශ්චිත කාලරාමුවක් තවමත් ප්‍රකාශයට පත්කර නැත.

දැනටමත් මධ්‍යධරණී මුහුදේ සිට ගාසා වෙත ප්‍රහාර එල්ල වෙමින් පවති.

විචාරකයින් පවසන්නේ උතුරු ගාසා තීරය නව අධි ආරක්ෂිත කලාපයක් ලෙස නම් කිරීම ඊශ්‍රායලයේ මීළඟ සැලසුම විය හැකි බවය.

ගාසා තීරය ආසන්න ඊශ්‍රායල ජනපදයක් වන කාර්අසා වෙත පැමිණි ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතෙන්යාහු එහිදී හමුදා සෙබළුන් හමුවීමට කටයුතු කර තිබුණි.

එහිදි ඔහු සෙබළුන්ගෙන් විමසා ඇත්තේ “මීළඟ පියවරට ඔබ සූදානම් ද?” යනුවෙනි.

මේ අතර ගෙවුණු සතියකට වැඩි කාලයක් තුළ ගාසා තීරය වෙත එල්ල වූ ගුවන් ප්‍රහාර ගණන 6,000 ඉක්මවා තිබේ.

එය වසරක කාලය තුළ අමෙරිකාව ඇෆ්ගනිස්තානය වෙත එල්ල කළ ගුවන් ප්‍රහාර ගණනට සමාන බව වාර්තා වේ.

හමාස් සංවිධානය පසුගිය සෙනසුරාදා ආරම්භ කළ ප්‍රහාරවලින් මියගිය ඊශ්‍රායල වැසියන් ගණන 1,300 කි.

එහිදී මියගොස් ඇති හමුදා සෙබළු ගණන 279ක් බව සඳහන් වේ.

ඊශ්‍රායල හමුදා සංඛ්‍යා ලේඛනවලට අනුව ගාසා හි රඳවාගෙන සිටින ප්‍රාණඇපකරුවන් ගණන 150කට ආසන්න වේ.

මේ අතර ඊශ්‍රායල හමුදාව සිරියාවේ ඇලැප්පෝ ගුවන් තොටුපොළ වෙත ගුවන් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

සතියක් තුළ ඒ වෙත දෙවැනි ඊශ්‍රායල ප්‍රහාරය ද එල්ල කර ඇත.

ඉරාන සැපයුම් මාර්ග කඩාකප්පල් කිරීම අරමුණින් යුතු මෙහෙයුම්වල කොටසක් ලෙස ඊශ්‍රායලය, වසර ගණනක සිට සිරියාවට ප්‍රහාර එල්ල කරමින සිටි.

මේ අතර අමෙරිකාවේ USS අයිසන්හවර් යුද නෞකාව ඊශ්‍රායලය ආසන්න කලාපය වෙත යොමුකර තිබේ.

ගැටුම් ආරම්භවීමෙන් පසු එම කලාපය වෙත යොමු කෙරුණු දෙවැනි අමෙරිකානු යුද නෞකාව මෙය බව සඳහන් වේ.

මේ අතර ඊශ්‍රායල හමාස් ගැටුම් පිළිබඳ මාධ්‍ය වාර්තාකිරීම්වල පරස්පරතා හෙළි වී තිබේ.

හමාස් සටන්කරුවන් ඊශ්‍රායල ළමයින්ගේ හිස ගසාදමා තිබූ බවට ඊශ්‍රායල මාධ්‍යවේදිනියක් පසුගියදා වාර්තා කර තිබුණි.

ඒ කාර්අසා ජනපදයේ සිටය.

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ද මේ පුවත තහවුරු කළේ එලෙස ඝාතනය වූ දරුවන්ගේ ඡායාරූප තමන් ද දුටු බව පවසමිනි.

නමුත් තමන්ට එවැනි තොරතුරක් වාර්තාවී නැතැයි ඊශ්‍රායල රජයම අවධාරණය කර ඇත.

ධවල මන්දිරය ද පසුව පැවසුවේ බයිඩන් පැවසූ පරිදි ඡායාරූප තමන් වෙත ලැබී නැති බවය.

එවැනි පුවතක් වාර්තාකිරීම පිළිබඳ පසුව එම මාධ්‍යවේදිනිය සමාව ඉල්ලා තිබුණි.

@sinhala.adaderana.lk

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?