Latestක්‍රීඩාදේශීය

සමස්ත ලංකා පාසල් මළල ක්‍රීඩා උළෙල ඇරඹේ

සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා උළෙල අද (23) පෙ. ව. 09.00ට කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ විය. ඒ අතරේ කාන්තා මීටර් 800 ධාවන ඉසව්වේ නව තරග වාර්තාවට හිමිකම් කියන තරුෂි කරුණාරත්න ද සිටීම විශේෂත්වයකි. පසුගිය ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 800 රන් පදක්කම ඇතුළු පදක්කම් තුනකට හිමිකම් කියූ තරුෂි කරුණාරත්න තම පාසල් ජීවිතයේ සහභාගි වන අවසන් අවස්ථාව ලෙස මෙය සටහන් වෙයි.

අද (23) සිට දින 05ක් තිස්සේ ක්‍රියාත්මක කෙරෙන මෙවර තරගාවලියේ සමාප්තිය සහිත ජය සංකේත ප්‍රදානය ලබන සිකුරාදා (27දා) සවස සිදු කෙරේ.

අවුරුදු 20න් පහළ, අවුරුදු 18න් පහළ, අවුරුදු 16න් පහළ සහ අවුරුදු 14න් පහළ යන වයස් සීමාවන් යටතේ මෙවර බාලක සහ බාලිකා මලල ක්‍රීඩා තරගාවලිය ක්‍රියාත්මක කෙරෙන අතර ඒ සඳහා පළාත් මට්ටමේ ජයග්‍රහණ වාර්තා කර ගෙන ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4,500කු සහභාගි වෙති.

ආරම්භක දිනය වන අද තරග ඉසව් 08ක අවසන් තරග පැවැත්වෙන අතර එහි ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් හට තිළිණ ප්‍රදානය කිරීම සඳහාද පියවර ගෙන තිබේ.

අවුරුදු 20න් පහළ බාලක රිටි පැනීම, අවුරුදු 16න් පහළ බාලිකා කවපෙත්ත විසිකිරීම, අවුරුදු 20න් පහළ බාලිකා යගුලිය දැමීම, අවුරුදු 18න් පහළ බාලිකා තුන්පිම්ම, අවුරුදු 14න් පහළ බාලක උස පැනීම, අවුරුදු 20න් පහළ බාලක යගුලිය දැමීම, අවුරුදු 16න් පහළ බාලිකා දුර පැනීම සහ අවුරුදු 18න් පහළ බාලක හෙල්ල විසි කිරීම අවසන් තරග අද (23) පැවැත්වේ.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?