Latestවිදේශීය

මරණයෙන් වන්දි ඉල්ලන ගාසා අර්බුදය

ගාසා තීරයට එල්ල කෙරෙන ඊශ්‍රායල ගුවන් ප්‍රහාර අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර, ගාසා තීරයේ ‘අල්-ෂාටි‘සරණාගත කඳවුර ඇතුළු ඉලක්ක වෙත ඊයේ රාත්‍රියේ එල්ල වූ ප්‍රහාරවලින් පමණක් පලස්තීනුවන් 140 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව හමාස් සංවිධානය ප්‍රකාශ කළේය. 

පසුගිය සති දෙකක කාලය තුළ ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් මිය ගිය සංඛ්‍යාව 5000 ඉක්මවා ඇති අතර, ඉන් 40%ක්, එනම් 2000ක් පමණ ළමයින් බව “සේව් ද චිල්රන්‘ ආයතනය සඳහන් කරයි. 

හමාස් සන්නද්ධ සාමාජිකයන් ඊශ්‍රායලයට ඇතුළු වී එල්ල කළ ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව 1400කි. 

ඊශ්‍රායල හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලුතිනන් ජෙනරාල් හර්සි හලෙවි නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ගාසා තීරයට එල්ල කරන සිය ප්‍රහාර සංඛ්‍යාව අඩු කිරීමට කිසිදු සැලසුමක් නොමැති බවයි.

එමෙන්ම ගොඩබිම් ප්‍රහාරක මෙහෙයුම නුදුරේදීම ආරම්භ කරන බවට ද ඔහු ඉඟි කළේ ඒ සඳහා තම හමුදා පූර්ණ සූදානමකින් සිටින බව ප්‍රකාශ කරමිනි.

හමාස් සංවිධානය මුළුමණින්ම බිඳහෙළීම තම අරමුණ බවත්, ඒ සඳහා වූ මඟ හමාස් සංවිධානයට සෑම තැනකදීම සෑම ආකාරයකින්ම අනුකම්පා විරහිත ප්‍රහාර එල්ල කිරීමේ මාර්ගය බවත් ඊශ්‍රායල හමුදා ප්‍රධානී ලුතිනන් ජෙනරාල් හර්සි හලෙවි අවධාරණය කළේය. 

ගාසා තීරයට පිවිසෙන දකුණු දිග ඊශ්‍රායලයේ ගොඩබිම් මෙහෙයුම් සඳහා හොඳින් සූදානම්වීම සිය හමුදාවල දැන් කාර්යභාරය බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණි. 

මේ අතර ඊශ්‍රායලයට ප්‍රංශයේ පූර්ණ සහයෝගය පළ කිරීම සඳහා ප්‍රංශ ජනාධිපති එමානුවේල් මැක්‍රොන්, ඊශ්‍රායලයේ ටේල් අවීව් නුවරට පැමිණියේය.

තමා ඊශ්‍රායල බලධාරීන් සමග පවත්වන සාකච්ඡාවලදී සැබෑ සාම ක්‍රියාවලියක් යළි පණගැන්වීම පිළිබඳ අවධානය යොමු කරන බව ප්‍රංශ ජනාධිපති මැක්‍රොන් සඳහන් කළේය. 

මේ අතර අමෙරිකානු විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් විරළ අන්දමේ ප්‍රකාශයක් නිකුත් කළ හිටපු ජනාධිපති බරැක් ඔබාමා, හමාස් සංවිධානය මර්දනය කිරීම සඳහා ඊශ්‍රායලය පමණක් ඉක්මවා බලය යෙදවීම පිළිබඳ අනතුරු ඇඟවීමක් කළේය. 

ලිඛිත නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ පලස්තීනුවන්ගේ මිනිස් ජීවිත නොතකා දරුණු ප්‍රහාර එල්ල කිරීමේ ඊශ්‍රායල ක්‍රමෝපාය දිගුකාලීනව ඊශ්‍රායලයට ද අහිතකර බලපෑමක් ඇති කළ හැකි බවයි.

ගාසා තීරයේ සිවිල් ජනතාවට ආහාර, ජලය හා විදුලි කපාහැරීම තුළින් එහි මානුෂීය අර්බුදය උත්සන්න වී ඇති බවත්, එය ඉදිරි පලස්තීන පරම්පරා ගණනාවක් ඊශ්‍රායලය කෙරෙහි දක්වන ආකල්පය දැඩි කිරීමට හේතුවනු ඇති බවත් හිටපු ජනපති බරැක් ඔබාමාගේ අදහස වෙයි.

එය ගෝලීය වශයෙන් ඊශ්‍රායලය කෙරෙහි අහිතකර ලෙස බලපාන බවත් කලාපයේ දිගුකාලීන සාමය සහ ස්ථාවරභාවය ළඟා කරගැනීම තවදුරටත් දුරස්ථ වෙනු ඇති බවත් හිටපු ජනපති බරැක් ඔබාමා සඳහන් කළේය. 

වර්තමාන අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්, හිටපු ජනපති බරැක් ඔබාමාගේ පාලනයේ උප ජනාධිපතිවරයා වුවත්, බරැක් ඔබාමාගේ මෙම ප්‍රකාශය, ජනපති ජෝ බයිඩන් සමග ඒකාත්මිකභාවයකින් නිකුත් කරන ලද්දක් ද යන්න පැහැදිලි නොමැති බව රොයිටර්ස් පුවත් සේවය සඳහන් කළේය. 

ඒ ගැන අදහස් දැක්වීම ධවල මන්දිරය ප්‍රතික්ෂේප කර තිබුණි.

ඊශ්‍රායලයට තම පැවැත්ම ආරක්ෂා කරගැනීම සඳහා පවතින අයිතිය පිළිබඳ අවධාරණය කරන ජෝ බයිඩන් පාලනය මේ මොහොත සටන් විරාමයක් සඳහා අවස්ථාව නොවන බව ප්‍රකාශ කර තිබේ. 

කෙසේ වෙතත් හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටින ප්‍රාණඇපකරුවන් මුදවා ගැනීම සඳහා ප්‍රමුඛත්වය හිමිවන බව බයිඩන් පරිපාලනය පවසයි. 

මේ අතර හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටින තවත් ප්‍රාණ ඇපකරුවන් දෙදෙනෙකු මුදාහැර තිබේ.

ඊශ්‍රායල කාන්තාවන් දෙදෙනෙකු මෙලෙස මුදාහැර ඇති අතර, ඔවුන් රතු අඩසඳ ව්‍යාපාරයේ වාහනයකට නංවා ගාසා තීරය සහ ඊජිප්තුව අතර පිහිටි රෆා පිවිසුම් දොරටුවෙන් මුදාහැර ඇති තිබුණි. 

ඔවුන්ගේ අනන්‍යතාව ඊශ්‍රායලය විසින් තහවුරු කළේය. 

හමාස් සංවිධානය විසින් මෙලෙස නිදහස් කළ කාන්තාවන් දෙදෙනා වයස අවුරුදු 85ක් සහ 79 ක් වන වයස්ගත කාන්තාවන් වන අතර ඉන් එක් කාන්තාවක් ගාසා තීරයේ පලස්තීනුවන්ගේ සුබසාධනය උදෙසා කටයුතු කළ තැනැත්තියක බව වාර්තා විය. 

හමාස් සංවිධානය විසින් මීට පෙර ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන සිටි අමෙරිකානු ජාතික කාන්තාවක් සහ ඇයගේ දියණියව මුදාහැරියේය. 

කෙසේ නමුත් ඊශ්‍රායලය ප්‍රකාශ කරන පරිදි හමාස් සංවිධානය තවත් ප්‍රාණ ඇපකරුවන් 220 දෙනෙකු ගාසා තීරයේ රඳවාගෙන සිටියි.

ඔවුන් භූ ගත බංකරවල ආරක්ෂිතව රඳවාසිටින බව හමාස් සංවිධානය පවසයි. 

ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ ගොඩබිම් ප්‍රහාරක මෙහෙයුම් ආරම්භ කිරීමට සැරසෙද්දී, ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා සිටින ඊශ්‍රායල ප්‍රාණඇපකරු පවුල්වල සාමාජිකයන් දෙගිඩියාවකින් පසුවෙයි

ගොඩබිම් මෙහෙයුම මගින් ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීම පහසු කටයුත්තක් නොවන බව ඔවුන් දැන සිටීම ඊට හේතුවකි. 

එමෙන්ම එය ප්‍රාණ ඇපකරුවන් දැඩි අවදානමකට ලක් කරන බව නොරහසකි.

එහෙත් මෙම ප්‍රාණ ඇපකරු පවුල්වල අනෙකුත් ඥාතීන් ඇතුළු බහුතරයක් ඊශ්‍රායල ජනතාව සාකච්ඡාමය විසඳුමක් පිළිබඳ තබා ඇත්තේ අවම බලාපොරොත්තුවකි.

හමාස් සංවිධානය සමග සාකච්ඡා කොට ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීම සඳහා වසර ගණනාවක් ගතවනු ඇති බවත්, වැඩි බලාපොරොත්තුවක් තැබිය හැක්කේ හමුදාව කෙරෙයි බවත් ඔවුන් පෙන්වා දෙයි.

ඊශ්‍රායල ගොඩබිම් හමුදා ගාසා තීරයට ඇතුළු වී හමාස් සංවිධානය විසින් රඳවාගනෙ සිටින කාන්තාවන්, ළමයින් ඇතුළු ප්‍රාණ ඇපකරුවන් කඩිනමින් මුදාගැනීමට කටයුතු කරනු ඇති බවත් ඔවුන්ගේ අදහස වී තිබේ.

ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීම සඳහා රජයේ ප්‍රමුඛත්වය යොමු කරවා ගැනීමේ අරමුණින් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ටෙල් අවීව් නුවර අගමැති නෙතන්යාහුගේ කාර්යාලය ඉදිරිපිට දිනපතාම පාහේ විරෝධතාවල නිරතවෙයි.

ඊශ්‍රායල ජනාධිපති පසුගිය ඉරිදා සිය නිල මන්දිරයේදී ප්‍රාණ ඇපකරු පවුල්වල සාමාජිකයන් ඇතුළු හමාස් ප්‍රහාරයෙන් පීඩාවට ලක්වූ පවුල්වල සාමාජිකයන් හමුවිය.

එහෙත් එම අවස්ථාවේදීම ජනපති මැදුර ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්වුණේ ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීම සඳහා තවත් බොහෝ දෑ කළ යුතු බව පවසමිනි.

හමාස් ප්‍රහාරයෙන් සිය ඥාතියෙකු මිය ගිය එක් ඊශ්‍රායල ක්‍රියාකාරීකයෙකු එහිදී ඔසවා සිටි පුවරුවක දැක්වුණේ පළිගැනීම සැලසුම නොවිය යුතු බවයි. 

හමාස් සංවිධානය සමග සාකච්ඡා කොට ඊශ්‍රායලය විසින් රඳවාගෙන සිටින ඔවුන්ගේ සාමාජිකයන් සමග සිරකරු හුවමාරුවකට හා හැකි බව ඔහුගේ අදහස වී තිබේ. 

එහෙත් එම අදහසට ප්‍රාණඇපකරුවන්ගේ සියලුම පවුල් වුවද එකඟ නොමැති බව වාර්තා විය.

ඔවුන් එහිදී විශ්වාසය තබා ඇත්තේ ගොඩබිම් හමුදා මෙහෙයුමක් මගින් ප්‍රමුඛත්වයෙහිලා සලකා ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීම පිළිබඳවය.

මේ අතර ඉරාකයේ සහ සිරියාවේ අමෙරිකානු හමුදා කඳවුරු වෙත රොකට් සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කිරීම සඳහා ඉරානය හිස්බුල්ලා සංවිධානයට ක්‍රියාකාරී සහායක් ලබාදෙන බවට අමෙරිකාව චෝදනා කරයි.

ඒ අනුව නිසි ප්‍රතිචාර දක්වන ලෙස ජනපති ජෝ බයිඩන් අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවට දැනුම්දී ඇතැ බව ධවල මන්දිරය ප්‍රකාශ කළේය.

ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භවීමෙන් පසු අමෙරිකාව සිය යුද නෞකා බලඇණි මෙන්ම මැරීන් භටයින් 2000 ක්පමණ මැදපෙරදිග කලාපයට යවා තිබේ. 

අමෙරිකා එක්සත් ජනපදය ඊශ්‍රායලය – හමාස් ගැටුම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වෙත අද ඉදිරිපත් කරන යෝජනාවේද, ඉරානය සම්බන්ධයෙන් ජේදයක් ඇතුළත් කර ඇති බව සඳහන් ය.

ඉරානය විසින් අන්තවාදී කණ්ඩායම් වෙත අවි ලබාදීම වැළැක්වීම ද ඊට ඇතුළත් වගන්තියකි. 

කෙසේ නමුත් ගාසා තීරයේ සිවිල් වැසියන්ට මානුෂීය ආධාර සැපයීමට විරාමයන් පැවතිය යුතු බවට ද අමෙරිකාව සිය යෝජනාවට වගන්තියක් ඇතුළත් කර ඇත්තේ අරාබිකරයේ මිතුරු රටවල් පිළිබඳ අවධානය යොමු කරමිනි.

කෙසේ නමුත් තම රටට අභියෝගයක් එල්ල කරන මෙම යෝජනාව පරාජය කරන්නැයි ඉරානය, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිෂේධ බලය හිමි රුසියාවෙන් සහ චීනයෙන් ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

@sinhala.adaderana.lk

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?