Latestදේශීය

ගාසා පහරදීමට අනුබල දෙන්නේ ඇමරිකාව සහ රූකඩ රාජ්‍යයන් කිහිපයක් පමණයි

ගාසා තීරයේ දරුවන් ඇතුළු සාමාන්‍ය ජනතාව දහස් ගණනක් ඝාතනය කරමින් ඊශ්‍රායලය සිදු කරන ප්‍රහාර නවත්වා වහාම සටන් විරාමයකට යා යුතු බවත්, ඇමරිකාව සහ එය ගැතිකම් කරන රූකඩ රාජ්‍ය කීපයක් හැරුණුවිට ලෝකයේ අති බහුතරයක් රටවල් නිදහස් පලස්තීනයක් සහ නිදහස් ඊශ්‍රායලයක් පිළිගන්නා බවත් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කරයි.

එම පක්ෂය අද පෙරවරුවේ පැලවත්ත බත්තරමුල්ලේ පිහිටි ප්‍රධාන කාර්යාලයේ පවත්වන ලද මාධ්‍ය හමුවකදී මෙම ප්‍රකාශය සිදු කරනු ලැබීය. ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක එම මාධ්‍ය හමුව අමතමින් වැඩි දුරටත් පළකළ අදහස් පහත දැක්වේ.

පලස්තීනය තුළ සාමාන්‍ය ජනතාව ඝාතනය කිරීම වහාම නවත්වා ස්වාධීන පලස්තීනයක් සහ ස්වාධීන ඊශ්‍රායලයක් යන දෙරට සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගෙන තිබෙන ප්‍රතිපත්තිය ක්‍රියාවට නැගිය යුතුයි කියන ස්ථාවරයේ ජනතා විමුක්ති පෙරමුණ ආරම්භයේ සිටම ඉන්නවා. 1948දී නිදහස් ඊශ්‍රායලය එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත්වීමෙන් පිහිටුවූවත් නිදහස් පලස්තීනය මේ දක්වා පිහිටුවා නැහැ. දකුණු අප්‍රිකාවේ කළු ජාතිකයන් යටත් විජිකරණයට ලක්කර පීඩාවට පත් කළා සේ පලස්තීන ජනතාව ජීවත් වෙනවා. ඒ තුළ ඇති වුණු ගැටුමෙන් පසුගිය වසර 75 කාලය පුරාම පලස්තීන ජනතාවත් ඊශ්‍රායල ජනතාවත් පීඩා විඳිනවා. විශේෂයෙන්ම පලස්තීනයේ කොටසක් වන ගාසා තීරය තුළ 21වෙනි ශත වර්ෂයේ විශාලතම ඛේදජනක යුද්ධය ඊශ්‍රායල ආණ්ඩුව සහ ඇමෙරිකානු ආණ්ඩුව මගින් දියත් කර තිබෙනවා. දස දහස් ගණන් ජනතාව අවතැන්වී දරුවන් ඇතුළු දහස් ගණනක් මියගොස් තිබෙනවා. මේ නිසා අපේ ස්ථාවරය පැහැදිලි කිරීම වැදගත් කියලා අපි හිතුවා.
මේ යුද්ධය නිසා ලෝක ආර්ථිකය 5%කින් පමණ බිඳ වැටෙයි කියා, පුරෝකථනය කර තිබෙනවා. ඒ වගේම මැදපෙරදිග කලාපයේ ඇති වන ඕනෑම ගැටලුවක් තෙල් මිල සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට බලපානවා. තව පැත්තකින් එම කලාපයේ ලක්ෂ 20කට ආසන්න ශ්‍රී ලාංකිකයන් පිරිසක් සේවය කිරීම නිසා බලපෑමක් ඇති වෙනවා. ලෝකයේ තිබෙන ඉතාම වැදගත් ගැටලු වෙනුවෙන් ස්වෛරී රාජ්‍යයක් හැටියට ශ්‍රී ලංකාවත්, ප්‍රගතිශීලී වමේ පක්ෂයක් හැටියට ජනතා විමුක්ති පෙරමුණටත් තිබෙන ස්ථාවරය පැහැදිලි කළ යුතුයි. ඔක්තෝබර් 07 වැනිදා හමාස් සංවිධානය විසින් ඊශ්‍රායල ජනතාවට එල්ල කළ ප්‍රහාරය සමග බටහිර යුධවාදී මාධ්‍යය ප්‍රචාරය කරමින් සිටින්නේ මේ ගැටලුව ඔක්තෝබර් 07 වැනිදා පටන් ගත්තා කියලයි. නමුත් 1948 සිට ඊශ්‍රායලය ස්වාධීන රාජ්‍යයක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් පිළිගත් වහාම අති විශාල පලස්තීන ජනතාවක් ඔවුන්ගේ ගම්වලින් පළවා හැරියා. එදා සිට මේ දක්වා ලෝකයේ විශාලතම අවතැන් ජනතාව හැටියට පලස්තීන ජනතාව සිටිනවා. මිලියන 14යි. එයින් මිලියන 6.9ක් පලස්තීනය තුළ සිටින අතර, බහුතරයක් වූ මිලියන 7.1ක් වෙනත් රටවල් තුළ සරණාගතයන් වී සිටිනවා. එම සරණාගතයින්ගෙන් බහුතරයක් ජෝර්දානය ඇතුළු පලස්තීනය අවට රටවල සිටිනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ලෝක බලවතුන් විසින් ඊශ්‍රායලය බිහිකර, පලස්තීන රාජ්‍ය බිහි නොකිරීමෙන් මේ ප්‍රශ්නය වසර 75ක් පුරා ඇදී එනවා.
ඇමෙරිකාවේ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත 2021 මැයි 28 වැනිදා ඡායාරූප සහිතව ඊශ්‍රායල් ගුවන් ප්‍රහාරවලින් මිය ගිය දරුවන් හැට ගණනක් පිළිබඳව වාර්තා කර තිබුණා. ඔක්තෝබර් 07වැනිදා පලස්තීන සටන්කාමී සංවිධානයකින් ප්‍රහාර එල්ල කිරීම නිසා මේ ප්‍රශ්නය ඇති නොවූ බව අපි අවධාරණය කරනවා. 2007 සිට ඔක්තෝබර් 07දා දක්වා හයදහසකට අධික පලස්තීනුවන් සංඛ්‍යාවක් ද සිය ගණනක් ඊශ්‍රායල් ජාතිකයන්ද ඝාතනය වී තිබෙනවා. ඒ කාලය තුළ පලස්තීනුවන්ට අයිති ගම්මාන 170ක් පමණ ඊශ්‍රායලයට ඈඳාගෙන තිබෙනවා. ඒ ගම්වල සිටි පලස්තීන ජනතාව පළවා හැරියා. ගාසා තීරය ඩෝසර් කරමින් 8500කට අධික දරුවන් ඇතුළු ජනතාව මිය යාම ගැන ඇමෙරිකන් ජනාධිපති, ඊශ්‍රායල් අගමැති ඇතුළු යුධවාදීන් මිය යන සියලු දෙනා ත්‍රස්තවාදීන් ලෙස නම්කර තිබෙනවා. නමුත් බටහිර රටවලින් නිර්මාණය කළ ී්ඩැ එයැ ජයසකාරුබ කියන ස්වේච්ඡා සංවිධානයෙන් හෙළිකර තිබෙන්නේ සති තුනක් තුළ ගාසා තීරයේ මිය ගිය දරුවන් ප්‍රමාණය වසර පහක් තුළ ලෝකයේ යුධ ගැටුම්වලින් මිය ගිය දරුවන් සංඛ්‍යාවට වඩා වැඩි බවයි. මේ මිය යන්නේ සටන්කාමීන් නොව දරුවන් බව මේ සංවිධානයෙන් අවධාරණ කර තිබෙනවා. ඒ වගේම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා ලේකම්වරයා සහ එම සංවිධානය විසින්ම නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ඔක්තෝබර් 29 වැනිදා එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ධජය අඩකුඹු කර ශෝක දිනයක් ප්‍රකාශයට පත්කර තිබුණා. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ගාසා තීරයේ ක්‍රියාත්මක වැඩසටහන්වල සේවය කළ 59දෙනෙකු ඊශ්‍රායල් සහ ඇමෙරිකානු බෝම්බ ප්‍රහාරවලින් ඝාතනය වී තිබෙනවා.
යුධවාදීන් මේ ප්‍රශ්නය ඉස්ලාම්, ක්‍රිස්තියානි, යුදෙව් ගැටුමක් ලෙස අර්ථකථනය කරන්න උත්සාහ කරනවා. නමුත් අවුරුදු සියයකට වඩා පැරණි ක්‍රිස්තියානි දේවස්ථාන පවා ඊශ්‍රායල් ප්‍රහාරයෙන් විනාශ කර තිබෙනවා. ඊශ්‍රායලයේ තිබෙන ආණ්ඩුව සියෝන්වාදී ජාතිවාදී කණ්ඩායමක් බව ලොව පුරා සිටින යුදෙව් ජනතාව හඬගා කියමින් යුදෙව්වන්ගේ නාමයෙන් ගෙන යන මේ ප්‍රහාර නතර කරන ලෙස බලපෑම් කරමින් සිටිනවා. යුදෙව්වන් විසින්ම සියෝන්වාදී ජාතිවාදී කණ්ඩායමට එරෙහිව පෙන්වන මානවවාදී ගුණය සම්බන්ධයෙන් අපි අගය කරනවා. නිදහස් පලස්තීනයක් ඇති කළ යුතුයි කියන ස්ථාවරයේ වතිකානුවන් සිටිනවා. මෙතැන ඉස්ලාම් ක්‍රිස්තියානි ගැටුමක් නැති බවත් ඇමෙරිකාව ප්‍රමුඛ යුදවාදීන්ගේ මැදිහත්වීමක් තිබෙන බවත් ප්‍රකාශ කර තිබෙනවා. ඊශ්‍රායලය විසින් අද ක්‍රියාත්මක කරන්නේ දකුණු අප්‍රිකාව තුළ තිබුණු වර්ණ භේදවාදයටත් වඩා ම්ලේච්ඡ සංහාරයක් බව පිළිගන්නා ලෝකයේ රටවල් අතරට වතිකානුවත් ඇතුළත් වෙනවා. ආගමික ප්‍රශ්නයක් මත යුද්ධයක් සිදුනොවන බව ලොව පුරා ප්‍රගතිශීලීන් පිළිගෙන තිබෙනවා. පාප් වහන්සේ සහ වතිකානුවත් ඒ ස්ථාවරය දරනවා.
ජනතා විමුක්ති පෙරමුණ මේ සම්බන්ධයෙන් දරන ස්ථාවරය සම්බන්ධයෙන් සමහර අය විවිධ ප්‍රශ්න මතුකර තිබෙනවා. ශ්‍රී ලංකාව මේ ප්‍රශ්නය වෙද්දී ප්‍රහාරයන්ට විරුද්ධව සාධාරණත්වය වෙනුවෙන් ක්‍රියාකිරීමෙන් ලෝකයෙන් හුදකලා නොවෙන බව පැහැදිලියි. අවස්ථාවාදී දෘෂ්ටි කෝණයෙන් නොව මානවවාදී දෘෂ්ටි කෝණයෙන් බලා ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරය ගොඩනඟාගෙන තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් කළ යෝජනාවකින් ආරක්ෂක මණ්ඩලයේ රටවල් 15න් 11ක් සටන් විරාමයකට යන යෝජනාවක් අනුමත කළා. නමුත් එක්සත් ජනපදයේ නිශේධ බලය පාවිච්චි කර සටන් විරාම යෝජනාව පරාජයට පත් කළා. ඉන්පසුව එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ මහා මණ්ඩලයේදී සටන් විරාම යෝජනාවක් සම්මත කළා. එයට රටවල් 120ක් පක්ෂ වී රටවල් 14ක් විරුද්ධ වී රටවල් හතළිස් ගණනක් ඡන්දය දීමෙන් වැළකී සිටියා. ලෝකයේ අති බහුතරයක් රටවල් යුධවාදයට විරුද්ධව මෙය නතර කළ යුතුයි කියන ස්ථාවරයේ සිටිනවා. සටන් විරාමයට පක්ෂව ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශයත් ඡන්දය පාවිච්චි කිරීම ගැනත් අපි අගය කරනවා. ඊශ්‍රායල් ආණ්ඩුවේ සහ අමෙරිකාවේ ගොඩට වැටුණොත් ලෝකයෙන් හුදකලා වෙනවා මිස ලෝකයේ රටවල් 138කට අධික ප්‍රමාණයක් නිදහස් පලස්තීනයක් පිළිගැනීම පදනම් කරගෙන අපි අපේ ස්ථාවරය සකස් කරගෙන තිබෙනවා. ඇමෙරිකාවේ රටවල් කිහිපයක් හැරුනහම අති බහුතරයක් රාජ්‍යයන් නිදහස් පලස්තීනයක් ඇති කළ යුතුයි කියන ස්ථාවරයේ අවුරුදු 50කට වැඩි කාලයක් සිටිනවා.
එක්සත් ජනපදය පවා මේ ප්‍රතිපත්තිය පිළි ගත්තත් ඔවුන් එය ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදී තමන්ට විරුද්ධව තමන්ම ක්‍රියාකිරීමේ තැනකට එක්සත් ජනපදය තල්ලු වී සිටිනවා. නිදහස් පලස්තීනයක් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු අන්තර් ජාතික සංවිධානය 150කට වැඩි සංඛ්‍යාවක් පිළිගෙන තිබෙනවා. අද ලෝකයේ ඉන්න යුධවාදී කල්ලිය දකුණු අප්‍රිකාවේ වර්ණ භේදවාදී පාලනය සමග එක්වී එරට ජනතාවට විරුද්ධව ක්‍රියා කළා. නෙල්සල් මැන්ඩෙලා ත්‍රස්තවාදියෙක් ලෙස හැඳින්වූවා. නමුත් නෙල්සන් මැන්ඩෙලා සහ මුළු මහත් ලෝකයම එක්වී දකුණු අප්‍රිකාව නිදහස් කර ගත්තාට පසු ඒ පාලනය පිළිගන්න යුධවාදීන්ට සිදුවුණා.
මේ යුද්ධය නිසා ශ්‍රී ලංකාවෙන් ඊශ්‍රායලයේ සේවයට ගොස් සිටියදී මියගිය අනුලා රත්නායක සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයන් වශයෙන් වගේම පක්ෂයක් වශයෙනුත් කණගාටුවට පත්වෙනවා. ඊශ්‍රායලය තුළ රැකියා කරන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ලංකා ආණ්ඩුව ක්‍රියාකළ යුතුයි. ගාසා තීරයේ සිට බටහිර ඉවුරේ සරණාගත කඳවුරුවලට පවා බෝම්බ හෙළමින් තිබෙන වටපිටාවක සේවය කරන ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් සොයා බැලිය යුතුයි. මේ අනාරක්ෂිත තත්වය යටතේ ඊශ්‍රායලය තුළ රැකියා ලබාදෙන්න ඇතැම් ව්‍යාපාරික ආයතන කටයුතු කරනවා. ව්‍යාපාරික උවමනාවන් වෙනුවෙන් අනාරක්ෂිත ප්‍රදේශවලට ශ්‍රී ලාංකිකයන් යැවීම වැළැක්වීමට ආණ්ඩුව කටයුතු කළ යුතුයි. මේ ගැටලුවට විසඳුම් සෙවීම සම්බන්ධයෙන් අපේ ස්ථාවරය වී තිබෙන්නේ පලස්තීනය සහ ඊශ්‍රායලය යනු දෙරටේම ජනතාව පිළිගන්නා විසඳුමක් සෙවිය යුතු බවයි. මේ ප්‍රශ්නය නිර්මාණය කළ එක්සත් ජාතීන්ගේ සංවිධානයට මෙය නිරාකරණය කිරීමේ මූලික වගකීමක් තිබෙන බවත් අවධාරණය කළ යුතුයි. අද තිබෙන නිදහස් ඊශ්‍රායලය රාජ්‍යය වගේම නිදහස් පලස්තීන රාජ්‍යයක් පැවතිය යුතුයි කියන ස්ථාවරය අපි අවධාරණය කරනවා. ආරක්ෂක මණ්ඩලයේ සභාපතිත්වය දරන බ්‍රසීලය මැදිහත් වී ප්‍රායෝගිකව සටන් විරාමයක් ඇති කිරීමට ක්‍රියා කළ යුතුයි කියන ස්ථාවරය අපි ප්‍රකාශ කරනවා. දෙපාර්ශ්වයම රඳවාගෙන තිබෙන සිරකරුවන් හුවමාරු කර ගත යුතුයි. ශ්‍රී ලංකාව කුඩා රාජ්‍යයක් වුණත්, අපේ හඬ ප්‍රබල නොවුණත්, එක උදාහරණයක් දක්වන්න කැමතියි. සූවස් ඇළ ජනසතු කිරීමේදී අද ගාසාවලට බෝම්බ හෙළනවා වගේ එදා ඊජිප්තුවටත් බලවතුන් බෝම්බ හෙළුවා. එදා 1950 දශකයේදී ශ්‍රී ලංකා රජය සූවස් ඇළ ජනසතු කිරීමට තිබෙන අයිතිය වෙනුවෙන් පෙනී සිටියා. ඒ වෙනුවෙන් පිහිටවූ රාජ්‍ය තාන්ත්‍රික කමිටුවල ශ්‍රී ලංකාව ක්‍රියා කළා. ඒ පිළිබඳව අදටත් ඇගයීමක් තිබෙනවා. එවැනි වාසියක් ශ්‍රී ලංකාවට ලබා ගැනීම වෙනුවෙන් සාධාරණ සහ යුක්තිගරුක ස්ථාවරයක සිට ක්‍රියාකිරීම අත්‍යවශ්‍ය වෙනවා.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?