Latestදේශීය

අර්බුදයට නොයා රට බේරාගැනීමට අපි හැකිවුණා – දිනේෂ් ගුණවර්ධන

“ගොවිතැනට භූමියේ අයිතිය නිරවුල් කර දිය යුතුයි.” යයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ “අලුත් ගමක් – අලුත් රටක්” ජාතික වැඩසටහනට සමගාමීව වව්නියා දිස්ත්‍රික් ආහාර සුරක්ෂිතතා වැඩසටහන වව්නියා දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේ පැවති අවස්ථාවේදීය.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා –

“වව්නියාව දිස්ත්‍රික්කයේ එක ප්‍රශ්නයක් ඉඩම් ප්‍රශ්නය. දෙවැනි ප්‍රශ්නය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ වන සංරක්ෂණ නීති රීති හා ගැටීම නිසා කාලයක් තිස්සේ ඇති වෙලා තියෙන ගැටලු. එදා මම ජල සම්පාදන අමාත්‍යවරයා ලෙස වව්නියා ජල යෝජනා ක්‍රමය පිළිබඳ ව්‍යාපෘතිය ඉදිරිපත් වුණ වෙලාවේ එක එක දෙපාර්තමේන්තු ගැටළු පෙන්වමින් ජල යෝජනා ක්‍රමය ආරම්භ කරන්න අවසර දුන්නේ නැහැ. ඒත් කොහොම හරි මුදල් වෙන් කරගෙන, කැලෑව මැද්දෙන් වතුර ගෙන ගිහින් ඒ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළා.

කාලයක් පුරා කැලෑ වශයෙන් තිබුණ සහ මෑත කාලයේ ඇතිවුණු කැලෑබද ප්‍රදේශත් මෙහෙ තිබෙනවා. නමුත් කැලෑ ලෙස ප්‍රකාශ කර ඇති තැන්වල අවුලක් තියෙනවා. විශේෂයෙන් උතුරු පළාතේ. කාලයක් මේ පළාතේ ගැටුම් තිබුණා. ඒ ගැටුම් කාලේ අතහැරලා ගියපු යම් යම් ප්‍රදේශවල රෝපණය වූ ගස් අද මහා වෘක්ෂයන් බවට පත්වෙලා. ඒ අතරතුර ප්‍රකාශයට පත්කෙරුණු සමහර සිතියම්වල ඒ ප්‍රදේශ කැලෑ හැටියට ප්‍රකාශයට පත්කරලා තියෙනවා. නමුත් ගොවි ජනතාව ඒ ඉඩම්වල තමන්ගේ හරක බාන ඇති කරනවා. මේ පාරම්පරිකව ගොවිතැන් කරමින් ජීවත් වුණු ප්‍රදේශ. විශේෂ සාකච්ඡාවක් පවත්වා මේ ගැටලුව ලිහිල් කර ගැනීමට දිසාපතිතුමාට අවශ්‍ය ශක්තිය අපි ලබා දෙනවා.

මගේ පියා කර්මාන්ත අමාත්‍යවරයා සිටිය දී තරුණ ශිෂ්‍යයෙක් විදියට මම මේ ප්‍රදේශයට කිහිපවරක් පැමිණියා. එතකොට වව්නියාව සුවිශේෂ නායකයෙකුව සිටි සී. සුන්දරලිංගම් මහතා දේශපාලනයෙන් විශ්‍රාම ගිහිල්ලා. හැමදේම පිටරටින් ගේන ඒ කාලේ ලංකාවේ මිදි වවනවා කියන එක පුදුමයක්. සුන්දරලිංගම් මහත්තයාගේ ගෙවත්තේ සැමදෙයක්ම වගා කළා.

එවැනි ඉතිහාසයක් තියෙන වව්නියාව වී ගොවිතැන වගේම විවිධ බෝග අතින් ස්වයංපෝෂිතයි. බෝග අපනයන ප්‍රදේශයක් බවට වව්නියාව පරිවර්තනය කරන්න පුළුවන්. ඒ වෙනුවෙන් වූ ක්‍රමවත් සැලසුමක් සකසා ක්‍රියාත්මක කළ යුතුයි. මේ හැම ගමකම ජීවත්වන මිනිසුන් බලාපොරොත්තු වෙන්නේ අහරින් ස්වයංපෝෂිත වී, තමන්ගේ ජීවිත දියුණු කර ගැනීමත්, දරුවන්ට හොඳ අනාගතයක් ඇති කර ගැනීමත් පමණයි.

පළාත් පාලන අමාත්‍යවරයා ලෙස වව්නියාව නගර සභාව මහ නගර සභාවක් කළා. එය වවුනියාවට ආඩම්බරයක්. වවුනියාව දිස්ත්‍රික්කයට මෙතෙක් මහනගර සභාවක් තිබුණෙ නැහැ. එමගින් අලුත් ව්‍යාපෘතිවලට යොමු විය හැකියි. නාගරික පරිසරය සහ ග්‍රාමීය පරිසරය අතර තිබෙන සේවා පද්ධතිය සාර්ථක කර ගැනීමට විශේෂ සැලකිල්ලක් දක්වනවා. පානීය ජලව්‍යාපෘති සහ ජලය ඉතුරු කිරීමේ ව්‍යාපෘති වවුනියාවට අවශ්‍යයි. වවුනියාවට විශේෂ විදේශ ආධාර ව්‍යාපෘති රාශියක් තිබෙනවා. ඒවා අඛණ්ඩව පවත්වාගෙන යාමට ජනාධිපතිවරයා සාකච්ඡා පැවැත්වුවා. විදේශ ආධාර යටතේ තිබෙන මෙවැනි තවත් ව්‍යාපෘති එක් කරගැනීම අවශ්‍යයි.

ගොවිතැනට බීජ වර්ග අවශ්‍යයි. වැඩි පලදාවක් අස්වැන්නක් ලැබෙන බීජ වර්ග වලට යොමුවීම අවශ්‍යයි. එවැනි බීජ නිපදවිම සම්බන්ධයෙන් වව්නියාව විශ්වවිද්‍යාලයේ අවධානය යොමු කරයි කියල මම හිතනවා. මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න නම් රට ආහාරයෙන් ස්වයංපෝෂිත කිරීමේ ඉලක්කයට අපි ගමන් කළ යුතුයි. මේ අවුරුද්දේ කියපු තරම් අර්බුදයකට නොයා රට බේරා ගන්න පුලුවන් වුණා. අඩු ආදායම් ලබන ජනතාවගේ ජීවිත සුරක්ෂිත කරගැනීම සඳහා වූ වැඩපිළිවෙළ වෙනස් නොකර ඉදිරියට ගෙනයාමට අපි තීරණය කළා. ඒ අනුව සමෘද්ධිය වගේම අස්වැසුම ප්‍රතිලාභ වැඩි කරන්න පුළුවන් වෙයි. මේ ආර්ථික අර්බුද කාලයේ ජීවන තත්ත්වය පවත්වාගෙන යාමට අඩු ආදායම් ලබන පිරිසට සහයෝගය දැක්වීමට රජයක් ලෙස අප බැඳී සිටිනවා.

උපාධිධාරීන් හෝ උපාධියට කිට්ටු සුදුසුකම් තිබෙන අයට තම දිස්ත්‍රික්කය තුළ, පළාත තුළ ඉල්ලුම් පත් කැඳවා පාසල්වල ගුරු පත්වීම් ලබා දෙනවා. අඩුපාඩුව තියෙන විෂයට ගුරුවරුන් පත්කළ යුතුයි. කොළඹින් පත්වීම් දෙනවා වෙනුවට අපි පළාතෙන් පළාත දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කය පාසලෙන් පාසලට අලුත් අයට පත්වීම් ලබා දෙන්නයි මේ වෙනස ඇති කරන්නේ. එමගින් වව්නියාව දිස්ත්‍රික්කයේ සෑම පාසලක්ම දියුණුවේ බලාපොරොත්තු ඇති දරුවන් ගොඩනැගන පාසල් බවට පත්වෙයි.

දෙසැම්බර් මාසේ පළවෙනි සතියේ ග්‍රාම නිලධාරී විභාගය පවත්වනවා. තුන් දහසක් පමණ ග්‍රාමසේවක පුරප්පාඩු සඳහා ඉල්ලූම්පත්‍ර කැඳවා තිබෙනවා. නීත්‍යානුකූලව ඒ සියලු ඉල්ලුම්පත්ලාභීන්ට විභාගයට සහභාගි වෙන්න අවස්ථාව ලැබෙනවා. මාස තුනක් ඇතුළත ඒ සියලු පත්වීම් ලබා දී අවසන් කිරීමට අප බලාපොරොත්තු වනවා. ග්‍රාම නිලධාරී පුරප්පාඩු ඇති දුෂ්කර ප්‍රදේශවල විශේෂ සුදුසුකමක් මත විභාගය පැවැත්වීමෙන් අනතුරුව පුරප්පාඩු පිරවීමට කටයුතු කරන්නට පුළුවන්.”

TNA පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සෙල්වන් අඩෙයිකලනාදන්, චාල්ස් නිර්මලනාදන්, නෝහ රාදලිංගම්, EPDP පාර්ලිමේන්තු මන්ත්‍රී කුලසිංහම් දිලිබරන් යන අය මෙහිදී අදහස් දැක්වීය.

උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස්, රාජ්‍ය අමාත්‍යවරුන් වන කාදර් මස්තාන්, ජානක වක්කුඹුර, අශෝක ප්‍රියන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන ඇතුළු මහජන නියෝජිතයින්, ජනාධිපති උපදේශක සුරේන් බටගොඩ, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් රංජිත් අශෝක, උතුරු පළාත් ප්‍රධාන ලේකම් එස්. එම්. සමන් බන්දුලසේන, වවුනියාව දිස්ත්‍රික් ලේකම් පී.ඒ සරච්චන්ද්‍ර ඇතුළු රාජ්‍ය ආයතන නිලධාරීන්, පොදු සංවිධාන නියෝජිතයින් මෙම අවස්ථාවට සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?