Latestදේශීය

මේක මනුෂ්‍යත්වයට ‌එරෙහි සාපරාධී ආන්ඩුවක් – මහාචාර්ය අනිල් ජයන්ත

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග අනුව මහජනතාවපිට දරාගතනොහැකි පීඩනයක් එල්ලකිරීම වර්තමාන ආණ්ඩුව දියත් කර තිබෙන මනුෂ්‍යත්වයට එරෙහි සාපරාධී කටයුතු බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික මහාචාර්ය අනිල් ජයන්ත බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (02) පැවති මාධ්‍ය මාධ්‍ය හමුවකදී පැවසීය.

එහිදී මහාචාර්ය අනිල් ජයන්ත වැඩිදුරටත් සඳහන් කළේ,

“පවතින අර්බුද විසඳීමේ මාර්ගය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බව ප්‍රකාශ කරමින් මහජනතාවට ඕනෑම පීඩනයක් ඇති කිරීමේ ක්‍රියාමාර්ගවල ආණ්ඩුව නිරත වී සිටිනවා. පාලකයන්ට වැදගත් වී තිබෙන්නේ බලහත්කාරයෙන් ලබාගත් බලය ගිලිහී යාමට නොදී, තවදුරටත් රැකගැනීමයි. වංචා දූෂණවලින් පිරුණු ප්‍රජාතන්ත්‍රී විරෝධී, ක්‍රියාමාර්ග සරලව ගතහොත් මනුෂ්‍යත්වයට එරෙහි සාපරාධී ක්‍රියාමාර්ග ලෙස හඳුන්වන්න පුළුවන්.

අයවැයේ ප්‍රාථමික ශේෂය දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.3%කට ගෙන එන ලෙස මූල්‍ය අරමුදල නියෝග කර තිබෙනවා. ඒ තුළ තව තවත් බදු ඉහළ දැමීමත් පොදු ජනතාව වෙනුවෙන් දැරිය යුතු වියදම් කපා හැරීමත් සිදුකරමින් සිටිනවා. වැට් බද්ද 18% දක්වා වැඩිකිරීමේදී තවත් විශාල පීඩනයක් මහජනතාවට එනවා. නමුත් වංචා, දූෂණ නතර කරන්න ක්‍රියාමාර්ග අනුගමනය කරන්නේ නැහැ. ජනතාව මත ඍජු සහ වක්‍ර වශයෙන් විශාල බදුබරක් පටවලත් ආණ්ඩුවේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 10%ට වඩා අඩු නම්, බදු වංචා සහ අකාර්යක්ෂමතා ගැන ඉතා පැහැදිලිව පෙනෙනවා.

මූල්‍ය අරමුදලේ ණය ලැබුණම ආර්ථිකය දියුණු කළ හැකි බව මුලදී කීවා. නමුත් මුලින්ම වංචා-දූෂණ නතර කළ යුතු බව ජාතික ජන බලවේගය හඬ නඟන විට උසුළු විසුළු කළ බව ඔබට මතක ඇති. නමුත් අද වනවිට වංචා-දූෂණ සම්බන්ධයෙන් මහජනතාව සැලකිය යුතු අවබෝධයක සිටිනවා. අනිත් පැත්තෙන් ආණ්ඩුව සාමාන්‍ය ජනතාවට භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේ හැකියාව (ක්‍රය ශක්තිය) අඩුකරනවා. ආර්ථිකය ඉදිරියේදී දියුණු කරන්න යම් හෝ උත්සාහයක් ගත්තත් ඒ නිෂ්පාදන මිලදී ගැනීමට ජනතාවට හැකිවෙන්නේ නැහැ. මේ නිසා භයානක තත්වයක් ඇතිවිය හැකියි. අසාධාරණයට එරෙහිව සමාජයේ ප්‍රතිචාර දක්වමින්, ආණ්ඩුවෙන් මනුෂ්‍යත්වයට එරෙහිව ගෙන එන ක්‍රියාමාර්ග පරාජය කරන්නත් අවශ්‍යයි. ඒ වෙනුවෙන් පාලන බල ව්‍යුහයේ වෙනසක් ඇති කළ යුතු බව අපි අවධාරණය කරනවා.” යනුවෙනි.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?