Latestනවතම ලිපිවිදේශීය

බංගලාදේශය ගිණිගනී

ලෝකයේ වැඩිම ඇඟුළුම් කර්මාන්ත ශාලා (3,500ක්) පිහිටා තිබෙන රටක් ලෙස සැලකෙන බංග්ලාදේශයේ ඊයේ පැතිරී ගිය කම්කරු උද්ඝෝෂණයක් හේතුවෙන් විරෝධතා කරුවන් කර්මාන්ත ශාලා 250කට පහර දී අලාභ හානි සිදුකර ඇති බව වාර්තා වේ. ඩොලර් 65ක පඩි වැඩි වීමක් ඉල්ලා සටන් කරන බංගලාදේශ ඇඟලුම් සේවකයින් විසින් ආරම්හ කරන ලද මෙම අරගලය හේතුවෙන් ඇතිවූ ගැටුම්වලින් කම්කරුවන් දෙදෙනෙකු මිය ගොස් ඇත. දිනෙන් දින ඉහළ යන උද්ධමනය හමුවේ තම පඩි වැඩි කර දෙන ලෙස ඉල්ලා සටන් කරන කම්කරුවන් මර්දනය කිරීමෙන් වලකින ලෙස මේ අතර ඇම්නෙස්ටි ජාත්‍යන්තර සංවිධානය හා ජාත්‍යන්තර කම්කරු සංවිධාන බංගලාදේශ රජයට බලකර සිටි. මේ අතර ලබන වසරේ ජනවාරි මස පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණ උණුසුමත් සමගින් මෙම කම්කරු සටන් පිටුපස බංගලාදේශ ජාතික පක්‍ෂය (BNP) ඇතැයි රජය මේ අතර චෝදනා කරයි.

තමන් මුහුණ දෙන අසීරු කොන්දේසි සහ ආර්ථික උද්ධමනය හේතුවෙන් බංගලාදේශ ඇඟුලුම් කේෂ්ත්‍රයේ කම්කරුවන් තමන්ගේ වැටුප තුන් ගුණයකින් වැඩි කරන ලෙස ඉල්ලා සිටි. බංග්ලාදේශයේ “ඇගලුම් කම්හල් 250කට වඩා” වැසීමට මෙම දැවැන්ත කම්කරු පෙළපාළි හේතු වූ බවත්, දහස් ගණනින් රෙදිපිළි කම්කරුවන් විසින් “කම්හල් 50ක් සම්පුර්ණයෙන්ම කඩා බිඳ දමා විනාශ කර ඇතැම් ඒවා ගිනි තබා විනාශ කර දමා ඇති බවත් වර්තා වේ. විරෝධතා ව්‍යාපාරය ආරම්භ වී සතියකට පසු සඳුදා දිග හැරෙන්නට පටන් ගත් ප්‍රචණ්ඩත්වය වර්ධනය වුයේ දහස් ගණනක් කම්කරුවන් ඩකා අවට කාර්මික දිස්ත්‍රික්කවල මාර්ග අවහිර කරමිනි. ගාසිපූර්හිදී, පොලිසිය විසින් කම්කරුවන් 1,000කට ආසන්න පිරිසකට කඳුළු ගෑස් සහ ස්ටන් ග්‍රෙනේඩ් ප්‍රහාර එල්ල කර ඇති අතර විරෝධතා ආරම්භ වූ දා සිට කම්කරුවන් දෙදෙනෙකු මිය ගොස් තවත් විශාල ප්‍රමාණයක් තුවාල ලබා ඇත. මේ වනවිට අගනුවර ඩකා අවට මාර්ග රාශියක් කම්කරුවන් විසින් වසා දමා උද්ඝෝෂණයේ යෙදෙන බව වාර්තා වේ.

මේ අතර ජාත්‍යන්තර කම්කරු සංවිධානය හා ජාත්‍යන්තර ඇම්නෙස්ටි සංවිධාන නිවේදන නිකුත් කරමින් තම සාධාරණ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් වදින බංගලාදේශ කම්කරුවන්ට එල්ලවන ප්‍රචණ්ඩ මර්දනය දැඩි ලෙස හෙළා දැක ඇත. ප්‍රධාන වශයෙන් කාන්තාවන්ගෙන් සැදුම්ලත් මෙම අංශයේ මිලියන හතරක කම්කරුවන්ට සේවා කොන්දේසි ඉතා දුෂ්කර වන අතර, බොහෝ කම්කරු කාන්තාවන් ඔවුන්ගේ සහෝදර වැඩ වර්ජිතයන්ගේ ඉල්ලීම් සඳහා ප්‍රසිද්ධියේ සහාය දැක්වීම ප්‍රතික්ෂේප කර ඇති බවටත් වාර්තා වේ. සමස්ත ඇඟලුම් කේෂ්ත්‍ර කම්කරු ප්‍රජාවට අවම වශයෙන් ටකා 8,300 (ඩොලර් 80) මාසික වැටුපක් ලැබෙන අතර, තුන් ගුණයකින් වැඩි ටකා 23,000 (ඩොලර් 200) ඉල්ලීම සාධාරණ බව එම සංවිධාන අවධාරණය කර සිටිති.

මිට වසර දහයකට පෙර එනම් 2013 දී මේ ආකාරයෙන්ම ඇඟලුම් කර්මාන්ත ශාලාවක් කඩා වැටී කම්කරුවන් 1100ක් මිය යාමෙන් පසුව ඇති වූ දැවැන්තම වර්ජනය මෙය යයි බංගලාදේශ වෘර්තිය සමිති මේ අතර කියා සිටි. ලෝකයේ සුප්‍රසිද්ධ බහු ජාතික සමාගම් වන adidas, Hugo Boss, Puma, Gap, H&M විශාල වශයෙන් බංගලාදේශයේ ආයෝජනය කරනු ලැබ ඇති අතර ඔවුන් මෙම කම්කරුවන් දැවැන්ත සූරා කෑමකට ලක් කරමින් 2017 සිට රටේ උද්ධමනයට සාපේක්‍ෂව මෙම කේෂ්ත්‍රයේ වැටුප් වැඩි කිරීමක් සිදු කර නොමැති බව ඔවුහු මෙම සමාගම්වලට චෝදනා කරනු ලබති.

මේ අතර බංගලාදේශ ඇඟළුම් කර්මාන්තශාලා හිමියන් නියෝජනය කරන බංග්ලාදේශ ඇඟලුම් නිෂ්පාදකයින්ගේ සහ අපනයනකරුවන්ගේ සංගමය (BGMEA) යෝජනා කරනුයේ 25%ක වැටුප් වැඩිවීමක් පමණි. BGMEAට අනුව, රටේ ඩොලර් බිලියන 55ක් වාර්ෂික අපනයනවලින් 85%ක් මෙම කර්මාන්තශාලා නියෝජනය කරන බැවින්, මෙම විරෝධතාවල ප්‍රතිඵලය බංග්ලාදේශයට ප්‍රධාන ගැටලුවක් වනු ඇත. බටහිර සන්නාම සපයන කර්මාන්තශාලා 3,500ක් පමණ ඇති බංග්ලාදේශය ලොව ප්‍රමුඛතම ඇඳුම් අපනයනය කරන රටක් ලෙස සැලකේ. චීනයට පසුව ලෝකයේ දෙවන ඇඟළුම් අපනයනය කරන රටක් ලෙස සැලකෙන බංගලාදේශය, ශ්‍රී ලංකාව හා සමානව යුරෝපා සංගමයට හා ඇමරිකාවට තම නිපැයුම් යවනු ලබයි.

මේ අතර ලබන වසරේ පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය හේතුවෙන් බංගලාදේශයේ දේශපාලනය මේ වනවිට දැඩි ලෙස උණුසුම් වෙමින් පවතී. අඟහරුවාදා එරට විපක්‍ෂයේ ප්‍රධාන පක්ෂයක් වන බංගලාදේශ ජාතික පෙරමුණ (BNP) බංගලාදේශ අගමැති SHEIKH HASINA ඉල්ලා අස්වෙන ලෙස හා නිදහස් හා සාමකාමී මැතිවරණයක් ඉල්ලා අගනුවරට කැඳවූ ලක්ෂයක ජනතා සහබාගිත්වයෙන් යුතු වූ පෙළපාලිය හේතුවෙන් ඇතිවූ ගැටුමෙන් ආධාරකරුවන් දෙදෙනෙකු හා පොලිස් නිලධාරියෙකු මිය ගොස් ඇත.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?