Latestදේශීය

නුවරඑළිය තැපැල් කාර්යාලය ඉන්දීය සමාගමකට

(රංජිත් රාජපක්ෂ)

නුවරඑලිය ප්‍රධාන තැපැල් කාර්යාලය සංචාරක හෝටලයක් ලෙස පවත්වාගෙන යාම සදහා ඉන්දියානු සමාගමකට ලබාදිමට විරෝධය පාමින් නුවරඑලිය නගර මධ්‍යයේ (09) දින  උද්ඝෝෂණයක් සිදු කෙරිණ.

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පසුගිය (04) දින පැවැති විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී තැපැල්පතිවරයා තනතුරෙන් ඉවත් කරනවා යනුවෙන් බිය වද්දා නුවරඑළිය තැපැල් කාර්යාලය ඉන්දියන් සමාගමකට ලබා දීමට එකඟතාවය ලබාගෙන නුවරඑළිය තැපැල් කාර්යාලය විකිණීමට දරන උත්සාහය නතර කිරීම සදහා මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබිණ.

උද්ඝෝෂණයට සහභාගී වූ පිරිස කියා සිටියේ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව  නුවරඑළිය  තැපැල් කාර්යාලය අත්තනෝමතික ලෙස ඉන්දියානු සමාගමකට හෝටලයක් පවත්වාගෙන යෑම සඳහා විකිණීමට ගෙන ඇති තිරණය හකුළා ගන්නා තුරු මෙම උද්ඝෝෂණය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.

වර්තමාන ජනාධිපතිවරයාගේ මුදල් සෙවීමේ ක්‍රියාපටිපාටිය තුළ සුලභ වශයෙන් දක්නට ලැබෙන ක්‍රියාවක් තමයි රටේ දේපළ විකුණා දැමීම, ලංකාවේ වැඩකට නැති දේපළල  ගණනාවක් තියෙනවා උදාහරණයක් හැටියට නුවරඑළිය ජනාධිපති මැදුර, වසරකට එක් වතාවක් හෝ දෙවතාවක් ජනාධිපති නුවරඑළියට ආවත් ඉන්නේ තරු පන්තියේ හෝටල් වල, ජනාධිපති මැදුර නඩත්තු කරන්නට පනහකට ආසන්න සේවක ප්‍රමාණයක් පඩි නඩි ගෙවලා තියාගෙන ඉන්නේ කිසිම වැඩකට නැති ව , එම ජනාධිපති මැදුරේදී සිටින කිසිම ආදායමක් ලැබෙන්නෙත් නැහැ , ඒ තැන හෝටලක් කරාට ජනතාවගේ කිසිම විරෝධයක් නැහැ , එසේ නොවී රටේ ආකර්ෂණය දිනාගත් සුවිශේෂී සුවිශේෂි ස්ථානයක් වන නුවරඑළිය තැපැල් කාර්යාලය විකිණීමට මුළුමනින්ම විරෝධතාව ප්‍රකාශ කරන බවයි.

තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් කරමින් ගැසට් නිවේදන නිකුත් කර තැපැල් වෘත්තීය සමිති හා සේවකයන් මැඩ පැවැත්වීමට රජය උත්සාහ දැරුවද උද්ඝෝෂණය ඔස්සේ මතුවන ඕනෑම නීතිමය ගැටලුවකට මුහුණදීමට සූදානම් බවද උද්ඝෝෂකයෝ පැවසිය.

මෙම උද්ඝෝෂණය සඳහා ශ්‍රී ලංකාව පුරාවට ක්‍රියාත්මක වන ප්‍රධාන දේශපාලන පක්ෂ නියෝජනය කරන තැපැල් හා විදුලි සංදේශ වෘත්තීය සමිති නියෝජිතයන් , තැපැල් සේවකයන්, රාජ්‍ය සේවක වෘත්තිය සමිති නියෝජිතයන් , ස්වේච්ඡා සංවිධාන නියෝජිතයන් , නුවරඑළියෙ ඒකාබද්ධ වෙළඳ සංගමයේ සමස්ත ව්‍යාපාරික ප්‍රජාව , නීතිඥ සංගම් නියෝජිතයන් හා සමාජ ක්‍රියාකාරීන් සහ ප්‍රදේශවාසින් විශාල පිරිසක් පැමිණ සිටිහ.

@Lanka C News

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?