Latestදේශීය

කෝප් සභාපතිගේ බොරු සිංහ හම ගැලවුණා. ඇත්ත හඳුන්නෙත්තිලා හදන්න පුලුවන් මාලිමාවට විතරයි – සුනිල් සෙනෙවි

“මෑත කාලයේ රනිල් වික්‍රමසිංහගේ කෝප් කාරක සභාව රාජපක්ෂලාගේ කාලයේ නඩු අහනවා ඔබ දකින්න ඇති. කෝප් කාරක සභාවේ සභාපතිලාගේ බොරු සිංහ හම් ගැලවෙලා කපටි නරියා හෙළිවෙලා ඉවරයි. මෑත කාලයේ කෝප් කාරක සභාවට කරන්න සිදුවුණේ සුනිල් හඳුන්නෙත්ති සහෝදරයා දීපු ආදර්ශය අනුගමනය කරන එක විතරයි. විශිෂ්ට දේශපාලන දැක්මක් සහිත මිනිහෙක් අනුන්ගේ ව්‍යුහයක් ඇතුලේ තාවකාලිකව හෝ වැඩක් කරන්න ලැබුණු අවස්ථාවක ඒ මුළු ව්‍යුහයටම බලපාන්න වටපිටාව වෙනස් කරනවා. ඇත්ත හඳුන්නෙත්ති කෙනෙක් හදන්න මේ ආණ්ඩුවලට කිසිම කලෙක බැහැ. එසේ කළ හැක්කේ මේ වගේ ව්‍යාපාරයකට පමණයි. දූෂිතයෝ කිසිම කලෙක දූෂිතයන්ට දඬුවම් දෙන්නේ නැහැ. රාජපක්ෂලාගේ නඩු රනිල් තාවකාලිකව අහපුවාවේ. ඔය දෙගොල්ලන්ගේම නඩු ජාතික ජන බලවේගයේ රජයක් යටතේ නුදුරු අනාගතයෙ අපි අහනවා. ඒ සුබ සිහිනය වෙනුවෙන් ශක්තිය, ප්‍රඥාව ඔබ සැමට ලැබේවා! විද්වතුනි, ජනතාවනි, ජාතික ජන බලවේගයේ විශිෂ්ට වැඩපිළිවෙළ සමග එකතු වෙන්න. මේ රටේ ඉතිහාසය අලුතින් ලියමු.” යැයි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි අවධාරණය කරයි.

ඔහු මේ බව අවධාරණය කළේ බදු බර, බඩු මිල, විදුලි ගාස්තු අසීමිතව ඉහළ දමන, ජාතික සම්පත් විකුණන, මර්දන අණපනත් සම්මත කරන ජන පීඩක ආණ්ඩුවට එරෙහිව නුගේගොඩදී ජාතික ජන බලවේගය විසින් පැවැත්වූ විරෝධතා රැලිය අමතමිණි.

එහිදී වැඩිදුරටත් ඔහු දැක්වූ අදහස්,

“මේ සමුළුවේ සාරාර්ථය නැතිනම්, ලබාදෙන කෙටිම පණිවිඩය වෙන්නේ ‘රනිල් ඉවරයි.’ එහෙත් ලංකාව ඉවර නැහැ කියන එක. ජාතික ජන බලවේගය අපි පටන් ගත්තා විතරයි. සියලු දෙනාවම නරා වලකට ඇදලා දමපු තිරශ්චීන ආර්ථික ඝාතකයන්ගේ ලැයිස්තුව රටේ උපරිම අධිකරණයකින් හෙළිකර තිබෙන්නේ. එසේ නම්, අපේ ජීවිත මේ ව්‍යසනයට පත්කරපු එකේ වගකිවයුතු අය පිළිබඳ අපට කිසිදු සැකයක් තිබෙන්න බැහැ. පොඩි අඩුපාඩුවකට තිබෙන්නේ ලිස්ට් එක අසම්පූර්ණයි. රනිල් වික්‍රමසිංහලා, අර්ජුන් මහේන්ද්‍රන්ලාගේ නම් එකතු කරලා ඒ ලිස්ට් එක සම්පූර්ණ කිරීමට නිසැකවම ජාතික ජන බලවේගය සූදානම්.

මේ විනාශ කොට තිබෙන්නේ කෝටි දෙකහමාරක්, මුළු මහත් ශ්‍රී ලාංකික ජනතාවගේ සිහින; ජීවිත. ඒ අයගේ මානව හිමිකම් උල්ලංඝනයවී තිබෙන බව අධිකරණය කිව්වා. හරිනම් මේ වෙලාවේ කෝටි දෙකහමාරක් ජනතාව පෙත්සම් ගොනුකරන්න ඕනෑ. අපි සෑම කෙනෙකුගේම ජීවිත මහත් විනාශයකට තල්ලුකොට ඉවරයි. අපි නිසැකවම, කෝටි දෙකහමාර ජන බලයක් ලෙස කළමනාකරණය කරනවා. ඒකට තමයි දුර දැක්මක් සහිත, ජාතික නායකත්වයක් සහිත, ජාතික ප්‍රතිපත්ති සම්භාරයක් සහිතව ජාතික ජන බලවේගය සූදානම්ව ඉන්නේ.

කලා, සංස්කෘතික, අධ්‍යාපන ක්ෂේත්‍රය ඇතුළු අපේ රටේ සියලුම ජන තීරුවල ඉන්න විද්වතුන්, මහාචාර්යවරුන්, වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, ගුරුවරුන්, විශ්වවිද්‍යාල සිසුවන් ඇතුළු සියලුම දෙනා මේ මොහොත තේරුම් ගත යුතුව තිබෙනවා. ඔබට මිනිසුන් ලෙස ගත හැකි උදාර හා නිවැරදිම තීරණය ගන්න ඕන බැරෑරුම් දේශපාලන නිමේෂය මේ උදාවී තිබෙන්නේ. මෙතෙක් මේ රටේ දේශපාලන මහ පොළොව, මේ ජනතා පිරමීඩයේ මුදුන සහ පතුළ මේ ආකාරයට සකස් වුණේ නැහැ. පීඩනය අපේ ජීවතවල එළිපත්තටම ඇවිල්ලා. මේ පීඩනය උදාකරපු දේශපාලන බල හවුල් දස අතේ විසිරිලා. ජාතික ජන බලවේගය ජනතාව සංවිධානය කරනවා. මීට වඩා හොඳ මොහොතක් උදාවෙන්නේ නැහැ. සිසේරියන් සැත්කමක් සඳහා රෝහලට තම බිරිඳ ඇතුළත් කළ සැමියාට, ඒ බිරිඳගේ සැත්කමට අවශ්‍ය නූල අරගෙන රෝහලට යාමට සිදුවී තිබෙනවා. අපේ විශ්වවිද්‍යාල බිඳ වැටිලා. මගේ විශ්වවිද්‍යාලයේ 650ක් සිටිය යුතු අනධ්‍යයන කාර්ය මණ්ඩලයට දැන් ඉන්නේ 300ක් පමණයි. රනිල් වික්‍රමසිංහ ටෙම්පරියක් ඇද්දාට, විශ්වවිද්‍යාල එහෙම දුවන්න බැහැ. අපේ ප්‍රභවයට එකතු නොවුණු විද්වතුන්, කලාකරුවන්ගෙන් ඕනෑකමින් ඉල්ලන්නේ මේ මොහොතේ අපත් සමග එකතු වෙන්න, සංවේදී වෙන්න කියා.

විදුලිය නැති ගමක ලාම්පු එළියෙන් උසස් පෙළ කළ කෙනෙක් මම. අද ලංකාවේ විශ්වවිද්‍යාලයක මහාචාර්යවරයෙක්. 2023 වසරේ මාස දහයක ලබපු මගේ වැටුපෙන් මාසයකට හැත්තෑදාහ ගානේ ටැක්ස්වලට විතරක් ලක්ෂ 07 කප්පාදු කරගෙන තිබෙනවා. ඒ ලක්ෂ 07 මට තිබුණා නම් මගේ කැමැත්තෙන් දරුවන්ට ශිෂ්‍යත්වයක් දෙන්න, අසරණ පිළිකා රෝගීන්ට උදව් කරන්න තිබුණා. නමුත් මම කැමති වෙන්නේ නැහැ එයින් එක රුපියලක්වත් මේ හොරු රැළක්, මංකොල්ල කාපු රටක්, ආර්ථික ඝාතකයන් අධිකරණයෙන් නම් කරපු රටක් පාලනය කරන ආණ්ඩුවකට දෙන්න.

ජාතික සමගිය වෙනුවෙන්, කාන්තාවන්, දරුවන් වෙනුවෙන් මුළු ජීවිතයම කැප කරපු මම දන්නා විශිෂ්ට කලාකාරිනියක්, ජනමාධ්‍යවෙදිනියක් අද පිළිකා රෝගය සමග සටන් වදිමින් ඉන්නවා. පසුගිය මාස දෙක තුනේ ඇයට අවශ්‍ය ඉන්ජෙක්ෂන් එක සොයා ගත්තේ මිය ගිය රෝගීන් ළඟ ඉතිරිවී තිබූ බෙහෙත් අතරින්. එක මාසයකට ඇයට විදින්න සිදුවුණේ කල්ඉකුත්වූ ඖෂධයක්. අවුරුදු 75ක් තිස්සේ හැදුව මේ රට, ඔබ කැමතිද මේ තත්වයට පත්වෙනවට. සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට මහාචාර්ය ඒකකයක් ඉල්ලන්න කොළඹ පැමිණි ජීව විද්‍යාව කරලා, ‘ඒ’ තුනක් ගත් දරුවන්ට, මේ ආණ්ඩුව පහර දුන්නා. ඔවුන් අත්අඩංගුවට ගත්තා. දරුවන් 35ක් විතර, පසුවදා ඇප අරගෙන, මට කතා කළා. ඒ අය යන්න ඕනෙ බෙලිහුල්ඔයට. ඒ අයගේ බෙලිහුල්ඔයට බස් ගාස්තුව රුපියල් 30000/-යි. මහාචාරය ඒකකයක් ඉල්ලන්න ආ, කිසිදු වරදක් නොකළ දරුවෝ. මේ ඉතිහාසය අපි වෙනස් කළ යුතුයි.

මෑත කාලයේ රනිල් වික්‍රමසිංහගේ කෝප් කාරක සභාව රාජපක්ෂලාගේ කාලයේ නඩු අහනවා ඔබ දකින්න ඇති. කෝප් කාරක සභාවේ සභාපතිලාගේ බොරු සිංහ හම් ගැලවෙලා කපටි නරියා හෙළිවෙලා ඉවරයි. මෑත කාලයේ කෝප් කාරක සභාවට කරන්න සිදුවුණේ සුනිල් හඳුන්නෙත්ති සහෝදරයා දීපු ආදර්ශය අනුගමනය කරන එක විතරයි. විශිෂ්ට දේශපාලන දැක්මක් සහිත මිනිහෙක් අනුන්ගේ ව්‍යුහයක් ඇතුලේ තාවකාලිකව හෝ වැඩක් කරන්න ලැබුණු අවස්ථාවක ඒ මුළු ව්‍යුහයටම බලපාන්න වටපිටාව වෙනස් කරනවා. ඇත්ත හඳුන්නෙත්ති කෙනෙක් හදන්න මේ ආණ්ඩුවලට කිසිම කලෙක බැහැ. එසේ කළ හැක්කේ මේ වගේ ව්‍යාපාරයකට පමණයි. දූෂිතයෝ කිසිම කලෙක දූෂිතයන්ට දඬුවම් දෙන්නේ නැහැ. රාජපක්ෂලාගේ නඩු රනිල් තාවකාලිකව අහපුවාවේ. ඔය දෙගොල්ලන්ගේම නඩු ජාතික ජන බලවේගයේ රජයක් යටතේ නුදුරු අනාගතයෙ අපි අහනවා. ඒ සුබ සිහිනය වෙනුවෙන් ශක්තිය, ප්‍රඥාව ඔබ සැමට ලැබේවා! විද්වතුනි, ජනතාවනි, ජාතික ජන බලවේගයේ විශිෂ්ට වැඩපිළිවෙළ සමග එකතු වෙන්න. මේ රටේ ඉතිහාසය අලුතින් ලියමු.”

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?