Latestදේශීය

ජුලම්පිටිය අමරේ, වම්බොට්ටා සමග කළ දේශපාලනයේ අවසානය මහින්ද ක්‍රියාත්මක කරමින් සිටිනවා – චම්පික රණවක

මහින්ද රාජපක්ෂ මහතා, විතාරන්දෙණියේ උක්කුවා, ජූලම්පිටියේ අමරේලා, චණ්ඩි මල්ලිලා, වම්බොට්ටලත් සමඟ සිදුකළ දේශපාලනයේ අවසාන භාගය මේ වනවිට පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක කරමින් සිටින බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඒ මහතා මේ බව පවසා සිටියේ (21) දින පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදුකරමින් සිටි කතාවට බදා කරමින් ඒ මහතාගේ ලිපිගොනු උදුරාගනිමින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීන් පිරිසක් ඉතා අශීලාචාර ලෙස හැසිරුණු සිදුවීම පිළිබඳව එක්සත් ජනරජ පෙරමුණ පක්ෂයේ මතය ප්‍රකාශ කිරීම සඳහා (22) පවත්වනු ලැබූ මාධ්‍ය හමුවක් අමතමිනි.

මෙම මාධ්‍ය හමුව සඳහා එක්සත් ජනරජ පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ සභාපති කරු පරණවිතාන මහතාද සම්බන්ධ විය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා;

“පාර්ලිමේන්තුවේ මේ හැසිරීම අපි දැක්කා එදා 2018 දින 52 සිද්ධිය වෙලාවෙදීත්. පසුකාලීනව ඒ අයට පුළුවන් වුණා කූට නාටකයක් මගින් මේ රටේ සිංහල බෞද්ධ ජනතාව තුළ අස්ථිරතාවය, අනියත බිය ඇති කරලා පාස්කු ප්‍රහාරය පසුබිම් කරගෙන, නැවත බලයට එන්න. ඒගොල්ලන්ගේ අවස්ථාවේදී අශෝභන හැසිරීමට ජන අනුමැති ලැබුණාය කියලා කල්පනා කළා. ඒ අනුව තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා බලයට පත් උනහම ගෝඨා දශකය ඇරඹුණා කියලා, නැවත වතාවක් මර්ධනය, ප්‍රහාරය, අවමානය, අසීලාචාරත්වය පෙන්නුම් කරමින් කටයුතු කළේ.

සමහරු බැසිල් රාජපක්ෂට බනිනවා. සමහරු ගෝඨාභය රාජපක්ෂට බනිනවා. සමහරු ජයසුන්දරට බනිනවා. ඇත්තටම පී. බී. ජයසුන්දරත් අර එදා 1917 රුසියාවේ සාර් පාලනයේදී සාර් රජ පවුලට වැහිලා හිටිය රස්පුටින් කියලා එක්තරා ආකාරයක දේවගැති වරයෙක්, උපදේශකයෙක්. ඒ රස්පුටින් චරිතේ තමයි ආචාර්ය ජයසුන්දර ඒ වගේම කබ්රාල් රඟ දැක්වුවේ. රාජපක්ෂලාට ආර්ථිකය ගැන උගත්කමක්වත්, දැනුමක්වත්, ඒක ගොඩනැගීම සඳහා වුවමනාවක්වත් තිබුණේ නැහැ. නමුත් අදටත් අපිට ඇහෙනවා, යහපාලනය කාලේ ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ණය, රනිල් වික්‍රමසිංහ, මංගල සමරවීර ණය ගත්තා. ඒකෙන් තමයි රටට මෙහෙම කියලා.

ආසන්නම හේතුව මොකක්ද රට බංකොලොත් වෙන්න. ආසන්නම හේතුව තමයි 2022 ජූලි මාසෙදි ඩොලර් බිලියනයක් ගෙවීමට නොහැකි වීම. කවුරු ගත්ත ණයක්ද ඒක? මහින්ද රාජපක්ෂ 2012 ගත්ත ණයක්. එම ණය ගත්තා විතරක් නෙවෙයි අධික පොලියට ඒ ණය ආපසු ගෙවීම පිළිබඳවත් වංචනික එකඟතාවයක් හැමිල්ටන් කියන බැංකුවත් එක්ක තිබිච්ච බව ඒ හැමිල්ටන් බැංකුව අද පවරලා තියෙන නඩුවෙන් ඇමරිකා එක්සත් ජනපදය පෙන්නලා තියෙනවා. ණය ගන්න කොටත්, ණය වියදම් කරන කොටත්, ආපහු දෙනකොටත් ගසා කෑවා. ඒ වගේම බිලියන 12 ක් ඉන්ද්‍රජිත් කුමාරස්වාමි රැස්කරපු එකෙන් මොකද වුනේ? ඒකෙන් බිලියන 7.5 ඉතුරු කරලා ගියා. ඉතුරු සල්ලි වලින් 78% වැය වුණේ මහින්ද රාජපක්ෂගේ ණය ගෙවන්න.

ඊළඟට අර මුදල් මණ්ඩලයේ රාණි ජයමහව ඇයි නිදහස් කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන්. ඇය කියනවා අර බිලියන 7.5 ඉතුරු කරපුවා ගෙන් 5.5ක් වැය කළේ මේ රුපියල ආරක්ෂා කරන්න කියලා. රුපියල 203 තියාගෙනත් අත යට උණ්ඩියල් වෙළඳපොළක් හදලා තමන්ගේ හිතවත් අයට රුපියල් 300ට, 350ට ඩොලර් විකුණන කළු වෙළඳපොළක් හදලා එතන ගනුදෙනුවකුත් කළා.

දැන් රට බංකොලොත් භාවයට 225 ම සම්බන්ධයි කියලා නාමල් රාජපක්ෂ මහත්තයා කියනවා. එතුමාට කියන්න ඕනේ, එතුමාගේ පියාට, මම 2012, 2013 දී මේ පිළිබඳව අනතුරු ඇඟෙව්වා. ඒ අනුව තමයි ජනතාව 2015දී ඔහුව පැරැද්දුවේ. ඒ පරාජය කරපු ජනාධිපති තමයි මහින්ද රාජපක්ෂ මහත්තයා. පලවා හැරපු ජනාධිපති තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා. පන්නා දාපු මුදල් ඇමති තමයි බැසිල් රාජපක්ෂ මහත්තයා. මේක ගැන තවත් වාද විවාද අවශ්‍ය නෑ. ඔය කියන සියලු කරුණු ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒ විනිසුරුවන් හතර දෙනාගේ පිටු 120 යි. අනික් විනිසුරුතුමාගේ පිටු 145 තීන්දුව විධිමත්ව කියෙව්වහම පේනවා. ඒ නිසා මේ තීන්දුව වැරදි, මේ තීන්දුව අපි පිළිගන්නේ නෑ කියන්න බෑ. ශ්‍රේෂ්ඨාධිකරණය කියලා තියෙනවා 12 (1) වගන්තිය කඩ කළාය කියලා.

අපි අවධාරණයෙන් කියනවා එතුමාට ඔය නිල නිවාස, නිල වාහන මේවා පවත්වාගෙන යන්නත් බෑ. ඒ පිළිබඳව අනාගත එක්සත් ජනරජ පෙරමුණේ ආණ්ඩුවකින්, මේ ආර්ථික යුක්තිය සඳහා, ආර්ථික අපරාධකරුවන්ට එරෙහිව වෙනම විනිශ්චය සභාවක් පිහිටුවලා ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරනවා. මං මහින්ද රාජපක්ෂ මහත්තයාට කියනවා ඔබතුමා ඒ 70 දශකයේ විතාරන්දෙණියේ උක්කුවා. ඒ වගේම 90 දශකයේ ජූලම්පිටියේ අමරේලා, චණ්ඩි මල්ලිලා, වම්බොට්ටලත් එක්ක කළ දේශපාලනේ අවසාන භාගේ ඔය පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකතුමාට එරෙහිව ඔය කරන්න ගිය සිදුවීමෙන් වුණේ.

ඒ වගේම කාල කළමනාකරණය පිළිබඳ වගකීම තියෙන්නේ කාටද? කතානායකතුමාට, සභානායකතුමාට, අගමැතිතුමාට, විපක්ෂ නායකට, ආණ්ඩු පක්ෂයේ සංවිධායකට, විපක්ෂයේ සංවිධායකට, ඒ සියලු දෙනාම ඉන්නවා මේ බිස්නස් කොමිටි එකේ. ඒ කොමිටි එකේ තමයි ඒවා තීරණය කරන්න ඕනේ. ඇත්තටම අද කණගාටුයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විනාඩි 7යි සතියකට හම්බවෙන්නේ කතා කරන්න. ඒ තත්වයට පත්වෙලා තියෙන මේ කාල කළමනාකරණයත් පාර්ලිමේන්තුවේ නැති නිසා. තුන්, හතර දෙනෙක්ගේ දේපලක් බවට මේක පත්වෙලා තියෙන නිසා. මේ තුන්, හතර දෙනෙක්ගේ කටේ සද්දෙට, බලහත්කාරෙට, ඇඟේ හයියට පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග කඩ කරමින් කටයුතු කරන්න බැහැ. මේ අයට නිසි දඬුවම් ලබා දිය යුතුයි. මම ඉල්ලා හිටිනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හෘද සාක්ෂියක් තියෙන පිරිසට ඔය දෙසැම්බර් මාසයේ හෝ මේ ළඟදි පවත්වන්නට නියමිත පක්ෂ සම්මේලනයෙන් පස්සේ කරුණාකරලා රාජපක්ෂ සාටක සාපෙන් ඈත් වෙලා, මේ රටේ නව දේශපාලනයක් අරඹන්න, චිත්ත ධෛර්යය හදාගන්න.

ඒ වගේම අයවැය පළවෙනි වර කියවීම ඊයේ සම්මත වුණා.දැන් අපිට තියෙන්නේ කොමිටි මට්ටමේ තත්වය, එක එක අමාත්‍යංශ විමසගෙන ගිහිල්ලා දෙසැම්බර් මාසේ 13 වෙනිදා අවසාන ඡන්දය පැවැත්වීම. ඊයෙත් සමහරු ඡන්දය මග ඇරියා. මේ අයවැය රැඳී පැවතෙනවා කරුණු දෙකක් මත. එකක් ලබන දෙසැම්බර් 06 වෙනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ කමිටුව රැස් වෙන්න නියමිතයි. ඒ කාලය ඇතුළත ලංකාවට දෙවෙනි වාරිකය ලැබෙනවාද නැද්ද කියන කාරණය ඉතා වැදගත් වෙනවා. දෙවෙනි වාරිකයත් එක්ක ලෝක බැංකුවේ ආධාර, ඒ වගේම ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර නියමිතයි. ඒ ආධාර නොලැබුණොත් මේ අයවැයේ එක කොටසක් පියවා ගැනීම ලොකු ගැටළුවක් බවට පත්වෙනවා.

ඒ වගේම මේ සම්මත වෙච්ච අයවැය, අපි නැවතත් කියනවා යථාර්ථවාදී නැහැ. ආදායම් ලැබෙන්නේ නැහැ. මේ අයවැයේ ඇත්තටම අපි සතුටු වෙනවා කිසියම් දුරකට අධික දුප්පත්කමට පෙලිලා ඉන්න අයට දීපු අස්වැසුම සහනය. ඒ වගේම රජයේ සේවකයින්ට දීපු යම්කිසි හරි පුංචි සහනය ගැන.”

Q&A

ප්‍රශ්නය: ඔබතුමා කිව්වනේ ආර්ථික බංකොලොත්භාවය සම්බන්ධයෙන් දඬුවම් දියයුතුයි කියලා. ඒකෙදි එතුමන්ලාගේ රැකියා අයිතිය තහනම් කරනවා කියන කතාව එනවා. ඒක පිටින් අපිට ඇහුවහම කියන්නේ ඒක හරි අසාධාරණයි. ඔහු කරපු සේවයත් එක්ක ඒ වගේ දේවල් කරන එක හොඳ නෑ වගේ කතා. ඒක කොයි වගේද? එහෙම එකක් කරන එක හොඳයිද?

පිළිතුර: “අපේ ව්‍යවස්ථාවේ කියලා තියෙනවා ප්‍රජා අයිතිය අහිමි කිරීමේ ක්‍රියාදාමයක්. ඒකට ඇත්තටම විශේෂ ජනාධිපති කොමිසමක් අවශ්‍යයි. මං හිතන්නෑ මේ ජනාධිපතිතුමා එහෙම දෙයක් කරයි කියලා. ඒකට තමයි අපි ඉල්ලා හිටින්නේ අපිට අවශ්‍යයි මේ රටේ ස්වාධීන ආර්ථික යුක්තිය ඉටුකරන කොමිෂන් සභාවක්. අපරාධ යුක්ති කොමිෂන් සභාව කියලා 71 කැරැල්ලෙන් පස්සේ මැතිණි පත් කළා. පිරිසකට දඬුවම් දුන්නා. අන්න එවැනි මේ ආර්ථික අපරාධකරුවන්ට එරෙහිව කොමිෂන් සභාවක් අවශ්‍යයි. ඒ කොමිෂන් සභාව මගින් වැඩ දෙකක් වෙන්න ඕනේ. එකක් ඒකට වගකිවයුත්තන්ට දඬුවම් දීම. ඒ වගේම මේ රටෙන් කොල්ල කන ලද ධනය නැවත මේ රටේ ජනතාවට ලබාදීම. ඒ දෙකම අවශ්‍යයි. ඒ නිසා ඒකට ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනයක් තියෙනවා. ඉන් පිට නිකන් සටන් පාඨ කියලා වැඩක් නැහැ.”

ලෙෂාන් විදානගමාච්චි
මාධ්‍ය ලේකම්

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?