Latestවිදේශීය

පලස්තීනය ස්වාධීන රාජ්‍යයක් බව පිළිගත යුතුයි – ස්පාඤ්ඤ අගමැති යුරෝපා සංගමයට අභියෝග කරයි

තමන් පලස්තීන රාජ්‍ය ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිගන්නා බව යුරෝපා සංගමයේ සාමාජික රටක් ලෙස කටයුතු කරන ස්පාඤ්ඤය අගමැති පේද්‍රෝ සැන්චෙස් (Pedro Sánchez) පසුගිය සිකුරාදා (24) බෙල්ජියම් අගමැති ඇලෙක්සැන්ඩර් ඩි කෘ (Alexander De Croo) සමග ඊජිප්තුව සහ ගාසා තීරය අතර සංචාරයක් අතරතුර රෆා දේශසීමා හරස් මාර්ගයේදී මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.

අනිකුත් කටයුතුවලදී යුරෝපා සංගමය සමග කටයුතු කිරීමට තමන් කැමති වුවද පලස්තීනය ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිගැනීම සම්බන්ධ කාරණයේදී පලස්තීන ස්වාධීනත්වය පිළිගනිමින් ස්පාඤ්ඤය කටයුතු කරන බවද අගමැති පේද්‍රෝ එහිදී පවසා ඇත.

කටාර් රාජ්‍ය විසින් මානුෂීය විරාමයක් ඇති කරමින් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 13 දෙනෙකු මුදා හැරීමට මොහොතකට ඔවුන් මෙම ප්‍රකාශය කර තිබීමද විශේෂත්වයකි.

‍ස්පාඤ්ඤය දැනට යුරෝපා සංගමයේ කවුන්සිලයේ සභාපති ලෙස කටයුතු කරන අතර එය ලබන ජනවාරි මාසයේදී බෙල්ජියම භාර ගැනීමට නියමිතය.

යුරෝපා සංගමයේ කවුන්සිලයේ සභාපතිත්වය යුරෝපා සංගමයේ කවුන්සිලයේ ක්‍රියාකාරිත්වය සඳහා වගකිය යුතු අතර එය යුරෝපීය පාර්ලිමේන්තුව සමඟ යුරෝපා සංගම් ව්‍යවස්ථාදායකයේ සමනීති සම්පාදකයා වේ. එය සෑම මාස 04කට වරක් යුරෝපා සංගමයේ සාමාජික රටවල් අතර හුවමාරු වේ.

ස්වාධීන පලස්තීන රාජ්‍යය පිළිගැනීමට සහාය දෙන්නේ දැයි මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට ස්පාඤ්ඤය අගමැති පේද්‍රෝ සැන්චෙස් ප්‍රකාශ කර තිබෙන්නේ යුරෝපා සංගමයට සහ සෙසු ජාත්‍යන්තර ප්‍රජාවට ස්වාධීන පලස්තීන රාජ්‍යය පිළිගැනීමේ මොහොතට පැමිණ ඇති බවය. එමෙන්ම යුරෝපා සංගමයේ සාමාජික රටවල් සියල්ල එකට පලස්තීනය පිලිගන්නේනම් එය වැදගත් වන්නේයැයිද එසේ නොවේ නම් ස්පාඤ්ඤය ඔවුන්ගේම තීරණ ගනු ඇතැයිද ස්පාඤ්ඤ අගමැති වැඩිදුරටත් එහිදී පවසා ඇත.

ගාසා තීරයේ ගැටුම නැවැත්වීමේ කලාපීය මෙහෙයුමේ කොටසක් ලෙස පසුගිය බ්‍රහස්පතින්දා (23) ස්පාඤ්ඤය අගමැති පේද්‍රෝ සැන්චෙස් සහ බෙල්ජියම් අගමැති ඇලෙක්සැන්ඩර් ඩි කෘ, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ පලස්තීන අධිකාරියේ ජනාධිපති මහමුද් අබ්බාස් හමු වී තිබේ.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු හමුවීමෙන් පසු ස්පාඤ්ඤය අගමැති පේද්‍රෝ සැන්චෙස් මාධ්‍යවේදීන් හමුවේ පවසා ඇත්තේ එක්සත් ජාතීන්ගේ යෝජනාවලට අනුව බටහිර ඉවුර, ගාසා තීරය සහ නැගෙනහිර ජෙරුසෙලම ඇතුළත් සැබෑ පලස්තීන රාජ්‍යයක් පිහිටුවීම සාමය සඳහා ඇති විසඳුම බවයි. එහිදී අගමැති පේද්‍රෝ තව දුරටත් සඳහන් කර ඇත්තේ ද්වීරාජ්‍ය විසඳුමක් ක්‍රියාත්මක කිරීම සඳහා සාම සමුළුවක් ලබාදියයුතු බවත් ඒ සඳහා ඊශ්‍රායලය සහ පලස්තීනය නියෝජනය කරනු ඇති බවත්ය.

ප්‍රචණ්ඩත්වය වෙනුවට සාමයේ බලාපොරොත්තුවක් ඇති කළ යුතු බවත් පලස්තීන ජනතාවට බලාපොරොත්තුවේ අනාගතයක් ලබා දිය යුතු බවත් ස්පාඤ්ඤය අගමැති පේද්‍රෝ සැන්චෙස් මාධ්‍ය හමුවේ අවධාරණය කර තිබේ. එමෙන්ම ඊශ්‍රායලයට තමන්ව ආරක්ෂා කර ගැනීමට අයිතියක් ඇති බවත් එය ජාත්‍යන්තර මානුෂීය නීතියේ සීමාවන් තුළ රැඳී සිටීම අවශ්‍ය බවත් ඔහු පෙන්වා දී ඇත. දැන් එසේ සිදු නොවන බවත් ඊශ්‍රායල ආරක්ෂක හමුදා අහිංසක සිවිල් වැසියන් අසීමිත ලෙස ඝාතනය කිරීම සම්පූර්ණයෙන්ම පිළිගත නොහැකි බවත් ඔහු දැඩිව අවධාරණය කර ඇත.

ගාසා තීරය පදනම් කරගත් පලස්තීන හමාස් සංවිධානය විසින් ඔක්තෝබර් 07දා එල්ල කළ ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු හමාස්ට එරෙහිව යුද්ධ ප්‍රකාශ කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස ඊශ්‍රායල ජාතිකයින් 1,200ක් මිය ගිය අතර 200කට අධික පිරිසක් ප්‍රාණ ඇපකරුවන් කරගන්නා ලදී. එතැන් සිට ළමුන් 6,000ක් ඇතුළුව පලස්තීන ජාතිකයන් 15,000කට ආසන්න සංඛ්‍යාවක් එම භූමියේදී අසීමිත ලෙස මරා දමා තිබේ.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?