Latestදේශීය

ණය ගෙවීමටත් ණය ගන්න වෙනවා, අසීරු කාලයක් ගෙවන්න වෙනවා – රනිල් වික්‍රමසිංහ

රටක් ලෙස වැටුණු තැනින් අප ඉදිරියට පැමිණ තිබුණද, තවම ගමන අවසන් නැති බව අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපේක්ෂිත අරමුණ ඉටුකර ගැනීමට නම් සියලුදෙනා එක්ව ඉතා ඉවසීමෙන් යුතුව ඉදිරියට යා යුතු බව පැවසීය.

දේශපාලන ප්‍රතිපත්ති මාලා වෙනුවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 06 වන පරිච්ඡේදයේ “රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්මය හා මූලික යුතුකම්” අනුව ක්‍රියා කිරීමට වත්මන් රජය සෑමවිටම කටයුතු කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ (28) කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී පැවති 2023 සණස ජාතික සම්මේලනය අමතමිනි.

සණස නිර්මාතෘ ආචාර්ය පී . ඒ. කිරිවන්දෙණිය මහතාගේ සංකල්පයක් මත ”වැය අඩු කරමු – අය වැඩි කරමු” යන තේමාව යටතේ ක්‍රියාත්මක සණස සමිති 1250ක් සංවර්ධනය කිරීම තුළින් ගම්මාන 5,000ක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහනට අදාල තුන් අවුරුදු ඉදිරි සැලසුම එළි දැක්වීම ද මෙහි දී සිදු කෙරිණි.

ආචාර්ය පී . ඒ. කිරිවන්දෙණිය මහතා විසින් එම තුන් අවුරුදු සැලැස්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගන්වනු ලැබීය.

ජනාධිපතිවරයා වෙනුවෙන් විශේෂ සමරු තිළණයක් ද මෙහිදී පිළිගැන්විණි.

එසේම දිස්ත්‍රික්ක 25 ක් ආවරණය කරමින් සණස නායකයින් 5,000ක් වෙත සැලසුම් ලබාදීම මෙහිදී සිදු කෙරුණු අතර මෙම සැලසුම තුළින් ගම්මාන 5,000ක සංවර්ධන ව්‍යාපෘති 10,000ක් ආරම්භ කිරීමටත් ඒ හරහා දිවයින පුරා සෘජු හෝ වක්‍ර රැකියා අවස්ථා 50,000ක් නිර්මාණය කිරීමත් සැලසුම් කර තිබේ.

මෙම වැඩසටහන යටතේ පවුල් 300,000 වැඩි පිරිසකගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට අපේක්ෂා කෙරේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ මෙරට ආර්ථිකය ගොඩනැගීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළේදී සණස වැනි ව්‍යාපාරවල දායකත්වය මනා රුකුලක් වනු ඇති බවයි.

ජන ජීවිතය නගා සිටුවිමන් සමෘද්ධිමත් රටක් ගොඩනැගීමට රජය ගෙන යන වැඩපිළිවෙළට එක්වන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී සියලු රාජ්‍ය සහ පෞද්ගලික අංශවලින් ඉල්ලා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

සණස ව්‍යාපාරය ආරම්භ කිරීම පිළිබඳ අප කිරිවන්දෙණිය මහත්මයාට ස්තූතිවන්ත විය යුතුයි. එතුමා එය ආරම්භ කර ඉදිරියට ගෙන ගියා. අද එය ඉතා සාර්ථක ව්‍යාපාරයක් බවට පත්ව තිබෙනවා. ඒ වගේම මෙම ව්‍යාපාරය තවත් දියුණු කළ යුතුයි.

විශේෂයෙන්ම මෙරට ආර්ථිකය ගොඩනැගීමේ වැඩපිළිවෙළේදී සණස වැනි ව්‍යාපාර එක් කර ගනිමින් අප ඉදිරියට යා යුතුයි.

මෙම දෙසැම්බර් මාසය අවසන් වීමට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අපේ රට නැවත ණය පාලනය කළ හැකි ස්ථාවරත්වයට පැමිණ තිබෙන බව ප්‍රකාශ කරන තුරු අප බලා සිටිනවා. අප එම සහතිකය ලැබු පමණින් සියලු ගැටළු විසඳෙන්නේ නැහැ. අපි බලාපොරොත්තු වෙන්නේ අපේ ණය ගෙවීමට සහන පොළියක් ඉල්ලා සිටීමටයි. ඉන් පසුව එම ණය ගෙවිය යුතුයි. විශේෂයෙන් අපට අලුතින් ණය ගැනීමටත් සිදු වෙනවා.

මෙම කටුයුතු කරගෙන යාමට අප රට තුළ ශක්තිමත් ආර්ථිකයක් ඇති කළ යුතුයි. එහිදී අපනයන ආර්ථිකය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළයුතුයි. මෙම වැඩකටයුතු සඳහා සණස ව්‍යාපාරය සම්බන්ධවීම විශාල රැකුලක් ලෙස සලකනවා.

අපි ආණ්ඩුව භාර ගැනීමෙන් පසු දේශපාලන ප්‍රතිපත්ති මාලා වෙනුවට සෑම විටම ක්‍රියා කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 06 වන පරිච්ඡේදයේ රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්මය, මූලික කරගෙනයි.

රාජ්‍ය අංශයේ සහ පුද්ගලික අංශයේ ආර්ථික ක්‍රියාවලිය තුළින් සීග්‍ර ලෙස මුළු රටම සංවර්ධනය කිරීම සණස ව්‍යාපාරයේ වගේම රජයේ ද අරමුණ වෙනවා. මොකද අපට මෙම ණය උගුලෙන් බේරීමට නම් අප සීග්‍ර සංවර්ධනයකට යා යුතුයි.

ඒ වගේම අපි බලාපොරොත්තු වෙන්නේ සෑම කෙනෙකුටම ප්‍රමාණවත් ජීවන මට්ටමක් ලබාදීමටයි. විශේෂයෙන්ම මේ රටේ සිදුවූ ආර්ථික කඩා වැටීමෙන් පසු බොහෝ දෙනෙක්ගේ ජීවන මාර්ග අහිමි වුණා. ඇතැම් ව්‍යාපාර වසා දැමීමට සිදු වුණා. එදා සියළු දෙනා අසීරුවෙන් ජීවත් වුණේ.

දැන් අප යළිත් ආර්ථික දියුණුව ලබමින් සිටිනවා. කෘෂිකාර්මික කටුයුත ආරම්භ කර තිබෙනවා. සංචාරක කර්මාන්තය දියුණු වෙමින් පවතිනවා. සංචාරක ව්‍යාපාරය තුළින් වැඩි රැකියා අවස්ථාවන් ලබා ගත හැකියි. එම නිසා අප සියළුදෙනා එකතු වෙලා මෙම ක්ෂේත්‍ර දියුණු කළ යුතුයි.

ඒ වගේම රටේ සෑම පුරවැසියෙකුටම සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ප්‍රමාණවත් ජීවන මට්ටමක් ලබාදීමට අප කටයුතු කළ යුතුව තිබෙනවා. අපි සියළු දෙනා එකට එක්ව ඉතා ඉවසීමෙන් එම ගමන යා යුතුයි. අපි වැටුණ තැනින් ඉදිරියට පැමිණ තිබෙනවා. තවම ගමන අවසන් කර නැහැ. ලබන ජනවාරි මාසයේ සිට ඉදිරි වසර කිහිපය පිළිබඳ අවධානය යොමු කරමින් අප ක්‍රියාත්මක විය යුතුයි.

අපේ රට එදා මධ්‍යම පන්තියේ ආදායම් ලබන රටක් ලෙස පැවතුණා. නමුත් අප නැවත අඩු ආදායම්ලාභී රටක් බවට පත්ව තිබෙනවා. දැන් අපේ උත්සාහය නැවත පහළ මධ්‍යම පන්තියේ ආදායම් තිබෙන රටක් බවට පත්වීම. ඊළඟ අදියරේදී ඉහළ මධ්‍යම පන්තියේ ආදායම් තිබෙන රටක් බවට පත්විය යුතුයි. ඉන් අනතුරුව ඉහළ ආදායම් ඇති රටක් බවට පත්වීමට හැකියාව තිබෙනවා. ඒ සඳහා තමයි 2048 වන තෙක් සැලසුම් සකස් කර තිබෙන්නේ.

ඒ වගේම අපේ රටේ අධ්‍යාපන අවස්ථා සීමා සහිතයි. ඒ නිසා බොහෝ දෙනෙක් උසස් අධ්‍යාපන සඳහා විදේශගත වෙනවා. වෘත්තීය අධ්‍යාපනය සදහා විශාල ඉල්ලුමක් තිබුණට ඒ සියල්ල ලබාදීමට අපට අවස්ථාවක් නැහැ. ඒ නිසා අධ්‍යාපන ක්ෂේත්‍රය ප්‍රතිසංවිධානය කිරීමට අප සැලසුම් කර තිබෙනවා.

ඒ වගේම 2030 වන විට ඉංග්‍රීසි භාෂාව පාසල් අධ්‍යාපනයට සහ උසස් අධ්‍යාපනයට එක් කිරීමට වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒවගේම වෘත්තීය අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කිරීම මෙම වසරේදී ආරම්භ කරනවා.

එසේම කෘෂිකර්ම නවීකරණ වැඩසටහන අපි ආරම්භ කරනවා. ඊට දායකවීමට සණස වැනි ආයතනවලට පුළුල් ඉඩ ප්‍රස්ථාවක් පවතිනවා. එම නිසා මෙම කටයුතු සමග එක්ව වැඩකරමු කියලා මම සියළු දෙනාට ආරාධනා කරනවා.

– ජනාධිපති මාධ්‍ය ඒකකය

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?