Latestදේශීයනවතම ලිපිවිශේෂාංගසංස්කෘතික

සම්මාන කියන්නෙම දේශපාලනික උප්පරවැට්ටියක් – ප්‍රසාද් වීරසේකර

දිල්රුක්ෂි – ප්‍රසාද් ලොකු වැඩකට අත තියලා කියලා ආරංචියි අපි එතනින් කතාව පටන් ගමුද?

ප්‍රසාද් – ලොකු වැඩක්ද කියලා නං දන්නෙ නෑ. ඒක ප්‍රමාද වෙච්ච වැඩක් හැටියටයි මට පුද්ගලිකව දැනෙන්නෙ. ඇත්තටම ලොකු වැඩක්ද කියලත් වෙලාවකට හිතෙනවා. මොකද මේ කාලයේ මුද්‍රණ වියදම් කියන්නෙ ටිකක් දරන්න අමාරු වැඩක් තමයි. අනික පොත් දෙකක් එකට එළිදකින කොට ටිකක් ලොකුයි නං තමයි වැඩේ.

දිල්රුක්ෂි – අපි දකිනවා, ප්‍රසාද් වීරසේකර, දශක දෙකක් පොත් දෙකක් කියලා ප්‍රචාරණ ක්‍රියාවලියක්. මොකක්ද මේ දශක දෙකක් පොත් දෙකක් කියන්නේ?

ප්‍රසාද් – ඇත්තටම දශක දෙකක් පොත් දෙකක් කියන්නේ, දශක දෙකක් තිස්සේ යම් යම් කාලවල මා ලියූ කවි පොත් දෙකක් විදියට ජනගත කරන්න හිතුවා. ඒකෙ එක පොතක් නිදහස් කවි. අනිත් පොත නිසඳැස් කවි. නිදහස් කවි පොත රසිකයන්ට අලුත් අත්දැකීමක් වෙයි කියලා හිතනවා. මොකද ඒක මෙතෙක් පැවති කාව්‍ය ආකෘතීන්ගෙන් මිදුණු අත්‍යන්තයෙන්ම නිදහස් වූ කවියක්.

දිල්රුක්ෂි – මේ පොත් දෙකේ නම්?

ප්‍රසාද් – එක මලවි හී සර මොටයි (නිදහස් කවි) දෙක අපි විතරක් ඉතිං සතුටින්ද?

දිල්රුක්ෂි – ප්‍රසාද්ට වඩා දැනෙන්නේ එහෙම නැත්නම් ප්‍රසාද්ගේ ආත්මීය ප්‍රකාශනයට වඩා සමීප මලවි හී සර මොටයි නම් නිදහස් කවි පොතද? තැත්නම් අපි විතරක් ඉතිං සතුටින්ද? නම් නිසඳැස් කවි පොතද?

ප්‍රසාද් – මෙහෙමයි ඒ දෙක දෙවිධියක්. මට පොදුවේ කවිය ආත්මීයව දැනෙනවා. ආකෘතික වශයෙන් මං කවි⁣ය තුළ නිදහස සොයන කෙනෙක්. එතනදි මට මලවි හී සර මොටයි පොත මට එක්තරා විදියකින් ළඟයි. මම මේ දෙවිධියටම ලියන කෙනෙක්. මට අවශ්‍ය ප්‍රකාශනය කරන්න භාෂාව සමත් නොවන තැනදි මං නිදහස් කවිය තෝරගන්නවා. නිදහස් කවියට ආකෘතියක් නෑ. ඒක දැමූ භාජනයේ හැඩය ගන්නවා. අනික නිදහස් කවිය අපි ලියනවාට වඩා අපෙන් ලියව ගන්නවා කිව්වොත් හරි. එතනදි කවියා ඒ කවියේ ශිල්පියෙක් විතරයි.

දිල්රුක්ෂි – එතකොට ප්‍රසාද්ගේ මාධ්‍යය කවිය ද? එහෙම නැත්නම් කවිය පමණක් ද?

ප්‍රසාද් – නෑ කවිය පමණක්ම නෙමෙයි. එහෙම කිව්වොත් නිවැරදි නෑ.

දිල්රුක්ෂි – කවියට අමතරව ප්‍රසාද් සමාජය හා සංවාද කරන අනෙකුත් මාධ්‍ය මොනවා ද?

ප්‍රසාද් – විකල්ප සමාජ දේශපාලනික ක්‍රියාකාරකම්වල දැන් අවුරුදු ගාණක් තිස්සේ වඩාත් යහපත් සමාජයක් උදෙසා වැඩකරමින් ඉන්නවා. ඒ ජාතිවාදයට විරුද්ධව වෙන්න පුළුවන්, ආගම්වාදයට විරුද්ධව වෙන්න පුළුවන්, වර්ගවාදයට විරුද්ධව වෙන්න පුළුවන්, පවතින ආණ්ඩු ක්‍රමයට විරුද්ධව වෙන්න පුළුවන්, පවතින ආණ්ඩුව ගෙන එන අණපනත්වලට විරුද්ධව වෙන්න පුළුවන්. ඒවා සමග නිරන්තර අරගලයක ඉන්නවා. මේ පොත් දෙකේ කවිවලත් තියෙන්නෙ ඒකම තමයි. මං අකුරු ලියන්නෙ ⁣ඒ හේතූන්වලට. නිකං සඳ නගියි කුරුල්ලො පියාඹයි හරි ලස්සනයි වගේ කවි මගේ අතින් ජීවිතේට ලියවෙන එකක් නෑ. මේ පවතින ක්‍රමය වෙනස් කරන්න එක අකුරකින් හරි දායක වෙන්න දරණ පුද්ගලික උත්සහයක මං ඉන්නවා. එක්තරා අවධියක බූන්දි වෙබ් අඩවිය හරහා අපි දැරුවෙත් ඒ උත්සහය යි.

දිල්රුක්ෂි – ඒ කියන්නේ ඔබේ කවි දේශපාලනිකයි?

ප්‍රසාද් – මට අනුව එහෙමයි. නමුත් එය පාඨකයින් තීරණය කළ යුතු දෙයක්.

දිල්රුක්ෂි – වසරකට කවි පොත් විශාල සංඛ්‍යාවක් ජනගත වෙනවා. බොහෝ අය තම කවියට සමාජය තුළ විශේෂ ඇගයීමක් නැතිනම් තම කවි සම්මානයට පාත්‍ර වීමක් අපේක්ෂා කරනවා. කවි සහ සම්මාන අතර ඇති සම්මුතිය ප්‍රසාද් කියවගන්නේ කොහොමද?

ප්‍රසාද් – මට අනුව නම් සම්මාන කියන්නෙම දේශපාලනික උප්පරවැට්ටියක්. මොකද මං එහෙම කියන්නෙ, හොඳටම මේ ක්‍රමය ප්‍රශ්න කරන ඔහුට හෝ ඇයට සම්මානයක් දීලා මුදල් විදියට අල්ලසකුත් දීලා ඔයා හොඳයි මරු කියලා එතනිංම කතිකාව වහලා දානවා. මං 2009 යෞවන සම්මාන උළෙලේ හොඳම ගීත රචනය කරපු රචකයා විදියට සම්මාන ලැබුවා. හැබැයි පහුවදාම මම ෆේස්බුක් සමාජ ජාලය හරහා සටහනක් ලියනවා තවත් සම්මානයකට පසු කියලා. ඒ සම්මානය ලැබූ ගීතය පාර අතුගාන ගැහැනු ළමයෙක් ගැන ලියපු එකක්. නමුත් මම සම්මානයි මුදලුයි අරගෙන ගෙදර යනවා. අර ළමයා තාමත් පාර අතුගානවා ඇති. මේවා අපි දේශපාලනිකව කියවගන්න ඕනේ. අපි විවේචනය කරන මේ ක්‍රමයම නඩත්තු කරන දේශපාලකයින්ගෙන් අපේ සමහරු අදත් සම්මාන ගන්නවා. මේක මට හිතාගන්න බැරි ක්‍රමයක් සහ විදියක්. යෞවන සම්මාන උළෙල සහ රාජ්‍ය නාට්‍ය උළෙලේ වැඩිමනත්ම නිර්මාණ මේ ක්‍රමය විවේචනය කරන නිර්මාණ. හැබැයි මේ ක්‍රමයම නඩත්තු කරමින් යන පාදඩ දේශපාලකයන් අතින් නිර්මාණකරුවන් සම්මාන ගන්නවා. ඒකම රටම හිනස්සන වැඩක්. අන්තිමට නිර්මාණකරුවා මේ ක්‍රමයේ ගොදුරක් වෙනවා. මේකට විරුද්ධව හිටගන්න අය ඉන්නෙ අතලොස්සයි. මං මේකට විරුද්ධයි. සම්මාන කියන්නෙම අල්ලස්. ඒවයින් කරන්නෙම කතිකාව යට ගහන එක. ඒකෙ මෙවලම මුදල් සහ යකඩ කෑලි. ඒ අනුව මම 2009 පසුව කිසිම සාහිත්‍ය තරගයකට මගේ නිර්මාණ යවලත් නෑ ආයෙ යවන්නෙත් නෑ. අපේ ගොඩක් ලේඛකයින් මේ සම්මාන ගැන පුදුම ලෝභයකින් වැඩ කරනව දකින කොටත් මට එන්නෙ අපුල දනවන හැඟීමක්.

දිල්රුක්ෂි – නමුත් ඔබේ සමකාලීන‌ නිර්මාණකරුවෝ බොහොමයක් කිසිදු අපුලක් නැතිව මෙම සම්මාන ක්‍රියාවලියත් එක්ක අනුගත වන සහ සම්මාන අනුමත කරන ආකාරය දක්නට ලැබෙනවා. ඇතැම් අය සමාජ මාධ්‍ය හරහා හැකි තරම් ප්‍රචාරණය කරමින් එම සම්මාන වැළදගන්නා ආකාරය සාමාන්‍ය තත්ත්වයක් වී තිබෙනවා. ඒ අය අතරින් බහුතරයක් ඔබේ මිතුරු මිතුරියන්. මේ සම්බන්ධයෙන් ඔබලා අතර යම් සංවාදයක් ‌සහ ප්‍රතිපත්තිමය එකගතාවයක් ඇති කරගන්න උත්සාහ කරලා නැද්ද?

ප්‍රසාද් – ඒ සංවාදය තියෙනවා. නැතුව නෙමෙයි. ව්විධ අයට විවිධ හේතු ඒ සඳහා තියෙනවා. ඒවා හරිම පුද්ගලික හේතු. කොටින්ම සමහරු සම්මාන ගන්න ආසයි. ඒ වෙනුවෙන්ම වැඩ කරන පිරිසක් ඉන්නවා. මගේ අදහසේ හැමෝම නෑ. මං මතුකරන දේශපාලනික කාරණාවේ හැමෝම නෑ. මගේ අදහසේ ඉන්න අයත් ඉන්නවා. හැබැයි ඒ පිරිස ඉතාම අල්පයි. කෙසේ වෙතත් සම්මාන කියන්නෙ ද්විතීයික කාරණාවක්. නිර්මාණ බිහි කිරීමයි මට වැදගත්.

දිල්රුක්ෂි – ඔබ ඇතුළු නිර්මාණකරණයේ යෙදෙන විවිධ නිර්මාපකයින් එකතුවී ක යන්න වි යන්න වැනි සාමූහික සංකථනයන් හරහා කවියේ විවිධ මානයන් පිළිබදව අධ්‍යයනය කරන්න සහ කවිය පිළිබද පුළුල් අරුතකින් සමාජය හා සංවාද කරන්න උත්සාහ කළා නේද? එම උත්සාහයන් හී වත්මන් තත්ත්වය කොහොමද?

ප්‍රසාද් – ඔව් ඒක සංවිධානය වුණේ කැළුම් නවරත්න ප්‍රමුඛ පිරිසකගෙන්. එක්තරා දුරක් ඒ වැඩේ ගමන් කළා කියලා මං විශ්වාස කරනවා. වර්තමානය වන විට ක යන්න වි යන්න වැඩසටහන නැවතී තියෙන්නෙ. ජවිපෙ දෙකඩ වීම හරහා පිරිස් කොට්ඨාස දෙකකට බෙදුණා. ඒකත් බලපාන්න ඇති ක යන්න වි යන්න ඉන් එහා දුරකට නොයන්න. නමුත් ඒකම නෙමෙයි එකම හේතුව මං හිතන්නේ. සාමාන්‍යයෙන් ඕනම සාහිත්‍ය වැඩක් එක දිගට ඇදන් යාමේ අපහසුව මේකටත් බලපාන්න ඇති. ක යන්ක වි යන්න සඟරාවක් පවා කරා. නමුත් ඒවයෙ මුද්‍රණ වියදම් සහභාගි වන්නන්ගෙන්ම නිතරම එකතු නොවෙන්නත් ඇති. කොහොමත් පොදුවේ වැඩක් කිරීමේ අපහසුවත් සහභාගි වන්නන් එක දිගට අඛණ්ඩව නොපැමිණීමත් වගේ හේතු රාශියක් තියෙනවා ක යන්න වි යන්න නවතින්න කියලා මං හිතන්නෙ.

දිල්රුක්ෂි – හොදයි. ප්‍රසාද් වීරසේකර කියන නිර්මාණකරුවා බිහිවීමට බලපෑ ‌‌මේ කොදෙව්වේ නිර්මාණකරුවා හෝ නිර්මාණකරුවන් ගැන යමක් සදහන් කළොත්?

ප්‍රසාද් – මහගම සේකර, රත්න ශ්‍රී විජේසිංහ යන අයගෙන් විශාල උකහා ගැනීමක් කරගන්න පුළුවන් වුණා කියලා මං හිතනවා. මූලිකවම මොවුන් දෙදෙනා මට බලපෑ කවීන්. ඊට අමතරව මං කුමාර හෙට්ටිආරච්චි වත් සඳහන් කරන්න කැමතියි.

දිල්රුක්ෂි – විශ්ව සාහිත්‍යයේ ඔබ වඩාත් ප්‍රිය කරන නිර්මාණකරුවන් ?

ප්‍රසාද් – මායා ආන්ජලෝ, පැබ්ලෝ නෙරූදා කවීන් විදියට මං පුද්ගලිකව කැමති අය. වෙනත් ලේඛකයින් විදියට පියදෝර් දොස්තොවුස්කි, ගර්ෂියා මාකේස්,චිංගීස් අයිත්මාතව්, කාලීඩ් හුසේනි, අර්නස්ට් හෙමිංවේ, පාවුලෝ කොයියෝ, අරුන්දතී රෝයි ආදී නම් පෙළක්ම තියෙනවා.

දිල්රුක්ෂි – හොදයි, ඔබ ජනගත කරන්න අපේක්ෂා කරන කවි පොත් දෙකට අදාල වැඩය පිළිබඳව කෙටියෙන් සදහන් කළොත්

ප්‍රසාද් – ඒක මං දශක දෙකක් තිස්සේ ලියූ කවි පොත් දෙකකට ගැනීමක්. මුලින්ම කිව්වා වගේ එකක් නිදහස් කවි, අනික නිසඳැස් කවි. වැඩේ තියෙන්නේ දෙසැම්බර් 15 සවස 2.30ට මහවැලි කේන්ද්‍රයේදී. මේක කියවන සියල්ලන්ටම විවෘත ආරාධනාවක් කරනවා එදාට එන්න කියලා. උපුල් සන්නස්ගල, විදර්ශන කන්නංගර සහ චූලානන්ද සමරනායක දේශන පවත්වන්න නියමිතයි. සියලු සහෘදයින්ට එදාට එන්න කියලා ආරාධනා කරනවා.

දිල්රුක්ෂි – හොදයි. අපි 15වෙනිදා මහවැලි කේන්ද්‍රයේදී මුණගැහෙමු. ප්‍රසාද්, අපි ඔබට සුබ පතනවා ඔබේ ඒ කාර්‍යය සාර්ථකව සිදුකර ගැනීමට හැකිවේවා කියලා, ඒ වගේම ඔබ කියූ සමාජ අරමුණු වෙනුවෙන් හෙටත් අරුත් පිර නිර්මාණ ඔබෙන් අපි බලාපොරොත්තු වන ගමන් මෙම කතාබහ අවසන් කරනවා. සුබ පැතුම් ප්‍රසාද්.

ප්‍රසාද් – ස්තූතියි දිල්රුක්ෂි මෙවැනි සම්මුඛ සාකච්ඡාවක් නිර්මාණය කළාට. අපි 15 ‌වෙනිදා නොවරදවාම මහවැලි කේන්ද්‍රයේදී හමුවෙමු. ස්තූතියි නැවතත් ඔබටත් CMN මාධ්‍ය ආයතනයටත්.

සාකච්ඡා කළේ –

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?