Latestදේශීය

මහවැස්සෙන් උතුර සහ උතුරුමැද දහස් ගණනක් අවතැන්වෙයි

අධික වැසි හේතුවෙන් ජලාශ රැසක් වාන් දැමීම නිසා ප්‍රදේශ ගණනාවක් මේ වන විට ජලයෙන් යටවී තිබේ.

මේ අතර අයහපත් කාලගුණයෙන් මුලතිව්, කිලිනොච්චිය, වව්නියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවල පවුල් 2142ක 6719 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව මේ දිනවල පතිත වන අධික වැස්සෙන් දැනට වැඩිම බලපෑමක් උතුරු පළාතට එල්ල වී තිබේ.

කිලිනොච්චිය ඉරණමඩු ජලාශය වාන් දැමීමෙන් වැඩි බලපෑමක් එල්ල වී ඇත්තේ කණ්ඩාවලෙයි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයටය.

මුලතිව් මාන්තෙයි නැගෙනහිර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයටද ජල ගැලීම්වලින් එල්ල වී ඇත්තේ දැඩි බලපෑමකි.

මුලතිව්හි මුත්තියාන්කට්ටු ජලාශය ඇතුළු උතුරු පළාතේ වැව් රැසක්ද වාන් දමමින් ඇති බවට වාර්තාවෙයි.

කිලිනොච්චි, පුදුමුරිප්පු ජලාශයේ ධාරිතාවය ඉහළ යාම නිසා ජලාශයේ බැම්මට හානි සිදුවීමේ අවදානම හේතුවෙන් යුද හමුදාව සහ ප්‍රදේශවාසීන් එහි වැලිකොට්ට අතුරා තිබේ.

උතුරුමැද පළාතටත් අධික වැස්සෙන් එල්ලවී ඇත්තේ දැඩි බලපෑමකි.

ධාරාණිපාත වැසි සමග අනුරාධපුර මල්වතු ඔය පිටාර ගලා පූජා නගරයේ මල්වතු ඔය දෙපස පහත් බිම් ජලයෙන් යටවී තිබේ.

අනුරාධපුර – යාපනය හන්දිය ප්‍රදේශයෙන් පූජා නගරයට ඇතුළුවන මාර්ගය ජලයෙන් යටවීම නිසා එහි ගමනාගමනයට බාධා එල්ල වී ඇත.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවන්නේ මල්වතු ඔය ද්‍රෝණියේ පහළ ප්‍රදේශවල පිහිටි වෙන්ගලචෙඩ්ඩිකුලම්, මඩු, මූසාලෛ, නැනඩ්ඩාන් යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් ගංවතුර නිම්නයේ සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවටය.

@sinhala.adaderana.lk

මේ අතර රාජාංගණය ජලාශයේ වාන් දොරටු 14ක් මේ වන විට විවෘතව පවතින අතර, ඉන් තත්පරයට ඝන අඩි 15,500ක ජල ප්‍රමාණයක් නිකුත් කෙරෙයි.

අංගමුව ජලාශයේ වාන් දොරටු 2ක්ද අඩි 3 බැගින් විවෘත කර ඇත.

අධික වැසි සමග කලාඔය පිටාර ගැලීමට පටන්ගෙන තිබේ.

ගල්නෑව සිට හිරිපිටියාගම හරහා  කැකිරාව දක්වා දිවෙන මාර්ගය හඳුන්ගම පාලම අසලින් මේ නිසා සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වී ඇත.

අනුරාධපුර, නාච්චාදූව වැවේ වාන් දොරටු හයම මේ වන විට විවෘත කර තිබේ.

තත්පරයට ඝන අඩි 2200ක් ලෙස ඉන් ජලය නිකුත් කෙරෙයි.

මේ අතර සෝමාවතිය පුද බිමට පිවිසෙන මාර්ගය 53 කණුව සහ දිග්ගල අතර ප්‍රදේශයෙන් ඊයේ පස්වරුවේ අඩි එකහමාරක් පමණ ජලයෙන් යටවී තිබුණේ මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යාමෙනි.

මහනුවර සිට පුදබිම වෙත ඊයේ පැමිණ සිටි වන්දනා නඩයක් සහ තවත් වන්දනාකරුවන් පිරිසක් මාර්ග අවහිර වීම නිසා යළි නිවෙස් බලා යෑමට නොහැකිව ඊයේ රාත්‍රියේ විහාරස්ථානයේ රැඳී සිටියේය.

එම වන්දනාකරුවන් 75 දෙනා සෝමාවතිය – සුංගාවිල මාර්ගයේ 35 කණුව ප්‍රදේශයවෙත නිරුපද්‍රිතව අද පස්වරුවේ රැගෙන ආවේ සෝමාවතිය පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායමේ මැදිහත්වීමෙනි.

මේ අතර මහවැලි ගඟ පිටාර ගලා පොලොන්නරුව, මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නැගෙනහිර මායිමේ කුඹුරු අක්කර 600ක් පමණ සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී ඇත.

කණ්ඩලම ජලාශය වාන් දැමීම නිසා එහි වාන මතින් බස් හා ලොරි රථ හැර වෙනත් කිසිඳු වාහනයක් ධාවනය නොකරන්නැයි වාරිමාර්ග බලධාරීන් රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?