Latestදේශීය

මම කළේ කෙහෙළිය කියපු දේ – චන්ද්‍රගුප්ත කියයි

රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි මිලදී ගැනීමේ සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ලබන 27 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම ඊයේ (18 වැනිදා) රාත්‍රියේදී නියෝග කළාය.

මෙම සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීමට පැමිණි හිටපු ලේකම්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් ඊයේ (18 වැනිදා) අත්අඩංගුවට ගෙන පස්වරු 6.00ට පමණ මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබේ.

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි මිලදී ගැනීමේ සිද්ධියේ 6 වැනි සැකකරු ලෙස නම් කළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා මහෙස්ත්‍රාත්වරිය විසින් රිමාන්ඩ් භාරයට පත් කරනු ලැබුවේ ඊයේ රාත්‍රි 8.30ට පමණය.

හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල විසින් ලබාදෙන උපදෙස් පරිදි තමා කටයුතු කළ බව සැකකාර හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් කර ඇතැයි අධිකරණයට දන්වා සිටි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙම සිද්ධියට හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා කොතරම් දුරට වගකිව යුතුද? යන්න මෙතෙක් විමර්ශනය කර නොමැති බවද දන්වා සිටියේය.

නමුත් හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල සම්බන්ධයෙන්ද ඉදිරියේදී විමර්ශනයක් සිදුකරන බව නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය අධිකරණයට දන්වා සිටියාය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ නියාමන, නිෂ්පාදන හා සැපයුම් අංශයේ අතිරේක ලේකම් සමන් රත්නායකගේ කාර්යාලයට සහ ඊට අනුබද්ධ සියලු කාර්යාලවලට වහාම ඉබි යතුරු දමා වසා දමන ලෙස මහෙස්ත්‍රාත්වරිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කළාය.

එලෙස වසා දැමීමට නියෝග කරන ලද අතිරේක ලේකම්වරයාගේ කාර්යාලය සහ ඊට අනුබද්ධ සියලු කාර්යාල අද (19 වැනිදා) පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට පරීක්ෂා කර බැලීමට අවසර දුන් මහෙස්ත්‍රාත්වරිය, ඊට අදාළ පහසුකම් සපයන ලෙසද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කළාය.

එම කාර්යාලවල පවතින ලේඛන සහ පරිගණක දත්ත සියල්ල සුරක්ෂිතව තබන ලෙසටද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට වැඩිදුරටත් නියෝග කළ මහෙස්ත්‍රාත්වරිය එම කාර්යාලවල තිබෙන විමර්ශනයට අදාළ ලේඛන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගේ භාරයට ගැනීමටද අවසර දුන්නාය.

පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් සමග පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙසේ පැවැසුවාය.

මෙම නඩුවේ 6 වැනි සැකකරු ලෙස නම් කරන ලද සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයාට එනම් ප්‍රසම්පාදන කමිටුවේ සාමාජිකයකුට අදාළ ඖෂධය සැපයූ සැපයුම්කරු සමග තිබෙන ගනුදෙනුව කුමක්ද? එක වෙලාවක මෙම සැකකරු මේවාට ඉක්මනින් මුදල් ගෙවන්න කියනවා. තවත් අවස්ථාවක රුධිර පට්ටිකා ලබාදෙන්න කියනවා. එක් අවස්ථාවකදී සැපයුම්කරුට ඖෂධ එන්නත් හැදීමට අවසර දෙන්න කියලා ජාතික ඖෂධ නියාමන අධිකාරියට ලිපියක් යොමු කරනවා. ඒකෙන්ම පේනවා නේද මෙම සැකකරු හා සැපයුම්කරු අතර තිබෙන සබඳතාව මොන වගේ එකක්ද කියලා.

මෙම ඖෂධවලට මුදල් ගෙවීමට සැකකරුට කැබිනට් මණ්ඩලයෙන් කිසිදු අවසරයක් ලැබී නැහැ. මෙම සැකකරුගේ සාවද්‍ය මනස අපරාධ ක්‍රියාවන් සඳහා යොමුකර තිබෙනවා.

සැකකරු වෙනුවෙන් නීතිඥ ඉසුරු ජයවර්ධන සමග පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මෙසේ පැවැසීය.

2022 මැයි මාසය වන විට රටේ බෙහෙත් ගැනීමට හැකියාවක් තිබුණේ නැහැ. එම කාලයේදී රට බංකොලොත් වී තිබුණා. රටේ බෙහෙත් නැති කාලයක් තිබුණා. දැන් ඒක මිනිස්සුන්ට අමතකයි. ඒක නිසා දැන් රජයේ නිලධාරින් සිරගත කරනවා.

භාණ්ඩාගාර ලේකම්වරයා මෙම හදිසි මිලදී ගැනීම්වලට අදාළව උපදෙස් මාලාවක් නිකුත් කළා. ඒ අනුව ප්‍රසම්පාදන කමිටුවක් පත් කළා.

මෙම නඩුවේ පළමු වන සැකකරු වන සැපයුම්කරු යම්කිසි වැරැදි බේතක් දීලා ඇති. ඒක අපි හරි කියන්නේ නැහැ. ඒකට අපිට වගකියන්න බෑ. අපි නීතිය අනුව කටයුතු කරමු. ලේකම්වරයා විතරක් නෙවෙයි. ඇමැතිවරයාත් අල්ලා ගන්න යනවා කිව්වා. එහෙම කරන්න එපා. සිද්ධිමය කරුණු අනුව නඩුව අරගෙන යමු. මාගේ සේවාදායකයා සාපරාධි චේතනාවෙන් කටයුතු කළා කියා කියනවා නම් ඒක අසාධාරණයි.

මෙම සිද්ධියේදී වෛද්‍ය සැපයුම් අංශය බැලිය යුතු දේ, එහි නිලධාරින් හරියට බැලුවේ නැහැ. මෙම සැපයුම්කරු වතුර දෙනවා කියලා අපි දන්නේ නෑ. එම බෙහෙතේ ක්ෂුද්‍ර ජීවින් ඉන්නවා කියලා අපි දන්නේ නෑ. ඒවා බැලීමට ආයතන තිබෙනවා. තමන්ගේ වැඩේට අමතරව බූරුවාගේ වැඩෙත් කරන්න කියනවා නම් ඒක කරන්න බෑ. ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ මුදල් ගෙවීම 2022 දෙසැම්බර් 31 වැනිදා අවසන් වෙනවා. නමුත් අපිට අදාළ ලිපිය එන්නේ දෙසැම්බර් 29 වැනිදායි.

මහෙස්ත්‍රාත්වරිය – කැබිනට් මණ්ඩලයේ අනුමැතියට වෙනත් ආකාරයෙන් ගොස් ඔහු තනි තීරණයක් ගත්තේ කොහොමද?

සැකකරුගේ නීතිඥ – ඇමැතිවරයා කැබිනට් රැස්වීම්වලදී කියනවා කොහොම හරි මේ බෙහෙත් ටික ගෙන්වන්න කියලා. ඒ අනුව බෙහෙත් ඕඩර් කරලා තියෙනවා. අපි මේ බෙහෙත් නොගෙන්වා හිටියා නම් බෙහෙත් ගෙනාවේ නැති නිසා මිනිස්සු මැරුණා කියලා කියයි. මේක හොරෙන් කළ කටයුත්තක් නෙවෙයි. මූල්‍ය ලෙගුලාසි කඩවීමක් සමහර විට වෙන්න ඇති. එම අවස්ථාවේදී සැපයුම්කරුට මුදල් ගෙවීමට හැකි දෙයකින් අපි මුදල් ගෙව්වා. මේ හියුමන් ​ඉමිනොග්ලොබියුලින් හොර ඒවාද කියා අපි දන්නේ නෑ. එලෙස මුදල් ගෙව්වා කියලා මෙම සැකකරුට සාපරාධී වගකීමක් එන්න හැකියාවක් නැහැ.

රටට බෙහෙත් ගෙන්වීමට උත්සාහ කළ නිසයි අපිට මේ වගේ තත්ත්වයක් උදා වුණේ. ගොනෙක් වගේ අහක බලන් හිටියා නම් අපි අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්වෙන්නේ නෑ.

මහෙස්ත්‍රාත්වරිය – රුධිර පට්ටිකා ගෙන්වීමට කැබිනට් මණ්ඩලය අවසර දී ඇත්තේ කවදා ද?

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් – 2023 අප්‍රේල් 28 වැනිදා. මෙම සැකකරු විසින් නියෝග ලබාදී එම කටයුතු කර තිබෙනවා.

සැකකරුගේ නීතිඥ – පත්තරවල හැමතැනම ගියා රටේ ​බෙහෙත් නැහැ කියලා. එහෙම තියෙනකොට අපි බෙහෙත් නොගෙන්වා ඉන්නද? මාගේ සේවාදායකයා තමයි ලොකුම වරද කළේ කියා කීම වැරදියි. බෙහෙත් ගේනවිට ඕනකමින් කරපු දේවල් නෙවෙයි. සමහර විට අතපසු වීම් වෙන්න ඇති. මාගේ සේවාදායකයා පළමු වැනි සැකකරු වන සැපයුම්කරු සමග ජාවාරම් කළ බවට කිසිදු සාක්ෂියක් නැහැ. මාගේ සේවාදායකයා රිමාන්ඩ් භාරයට පත් කළ යුතු පුද්ගලයකු නොවේ. එම නිසා ඔහුට ඇප ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් – අපරාධකරුවන් හිතනවා ඒක යටපත් කරන්න පුළුවන් කියලා. ස්වභාවධර්මය අනුව ඒවා කවදා හෝ හෙළි වී අපරාධකරුවන්ට යන එන මං නැති වෙනවා. මෙම සැකකරු සාපරාධි මනසකින් යුක්තව පළමු සැකකරුගේ ගිණුමට රජයේ මුදල් රුපියල් ලක්ෂ 1400ක් බැර කර තිබෙනවා. ඇල්වතුර වුණත් ජනතාවට දීලා සල්ලි ගන්න පුළුවන් කියලා මෙම සැකකරු මුල ඉඳන් දැනගෙන ඉඳලා තිබෙනවා.

මෙම සැකකරු විසින් ​පොදු දේපළ පනත යටතේ වරදවල් සිදුකර ඇති බවට කරුණු ඉදිරිපත් වී ඇතැයි සඳහන් කළ මහෙස්ත්‍රාත්වරිය සැකකරු ලබන 27 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියම කළාය.

@Aruna

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?