Latestදේශීය

ලබන ඔක්තොම්බර් වෙන්න කලින් මේ විනාශය අපි අවසන් කරමු – අනුර කුමාර දිසානායක

මේ දක්වා බලයේ සිටි ආණ්ඩු සහ ඒ ආණ්ඩුවල ඇමති තනතුරු දැරූ රවුෆ් හකීම් ඇතුළු මුස්ලිම් නායකයින් මෙන්ම සිංහල නායකයින් ද ඇති කළ ජාතිවාදී ව්‍යවසන තුරන් කර ජාතික සමගිය රකින සහ ලෝකය ඉදිරියේ ලැජ්ජාවට පත්කර තිබෙන බංකොලොත් රට ගොඩ නැගීමට අපි සියලු දෙනා එක්වී ක්‍රියා කරමු යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක හෘදයාංගම ආයචනයක් කරනු ලැබීය.

ඔහු මෙම ආයාචනය කරනු ලැබූවේ පසුගිය 15 වෙනි දින පවත්වන ලද ජාතික ජන බලවේගයේ කල්මුණ ආසන සමුළුවේදී ය. වැඩි දුරටත් අදහස් පළ කරමින් කරුණු දැක්වීම් පහතින් පළ කෙරේ.

එළඹෙන වසරේ අනිවාර්යයෙන් ඡන්දයක් පැවැත්වෙනවා. 2024 ඔක්තෝබර් මාසයේ 17 දිනට කලින් ජනාධිපතිවරණය පැවැත්වෙනවා. ජුලි අග වන විට මැතිවරණ කටයුතු පටන් ගන්නවා. අපි මේ දක්වා පාලකයෝ වෙනස් කළා. ආණ්ඩු වෙනස් කළා. අපි පරණ විදිහට නැතිව අලුත් විදිහට හිතලා දේශපාලනයේ වෙනසක් කරමු. දකුණේ කරන ලද සමීක්ෂණ කිහිපයකින්ම පෙන්නුම් කරනවා ජාතික ජන බලවේගය උඩින්ම ඉන්න බව. දකුණේ අය අහනවා දකුණ නම් හරි, උතුර නැගෙනහිර කොහොමද කියලා. කල්මුණ වේදිකාවේ සිට දකුණේ ජනතාවට කියනවා, දකුණේ ජනතාව ගන්න ගන්න තීන්දුවට විශාල දායකත්වයක් නැගෙනහිර මුස්ලිම් ජනතාව දෙන්න සූදානම් කියලා.

අපේ රට විශාල ප්‍රපාතයකට කඩා වැටුණා. ණය ගෙවාගන්න බැරි, ජනතාවට කන්න බොන්න නැති, ධීවර බෝට්ටුව මුහුදට යවා ගන්න බැරි, ඉස්පිරිතාලේ බෙහෙත් නැති, දරුවන්ට හරි අධ්‍යාපනයක් නැති, දරුවන්ට රස්සාවක් නැති, පරිසර පද්ධතිය විනාශ වුණු, අලි-මිනිස් ගැටුමෙන් අලි සිය ගණනක් මැරුණු, ලෝකය ඉදිරියේ ලැජ්ජාවට පත්කළ, ලෝකය පිළිගන්නේ නැති, රටක් බවට අද අපේ රට පත්කර තිබෙනවා. තෙල් ටැංකි ටික, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ටෙලිකොම් එක විකුණන්න හදන, නැවත ජාතිවාදී ගැටුම් හදන රටක් බවට පත්කර තිබෙනවා. මේක වෙනස් කළ යුතු නැද්ද? අපි ඔබ හමුවට ආවේ, මේක වෙනස් කරමු කියන යෝජනාව කරන්නයි. උතුරේ දමිළ ජනතාවත්, නැගෙනහිර මුස්ලිම් ජනතාවත්, දකුණේ සිංහල ජනතාවත් සියලු දෙනාම එකතුවෙලා මේ රට හදමු. ජාතිවාදය නැති, ජාතික සමගිය රකින, ආර්ථිකය ගොඩනගන ආණ්ඩුවක් අපි හදමු.

ගිය අවුරුද්දේ ජුනි මාසයේ, මේ රටේ ජනතාව විසින් පලවා හැරපු නායකයෝ, මේ රට විපතට පත් කළ නායකයෝ ආයිමත් බලයට එන්න දඟලනවා. මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ ඉස්සර අපිට පෙනුණේ එකිනෙකාට එරෙහිව සටන් වදින ආකාරයක්. මහින්ද හොඳ නැහැයි කියල හිතෙන කොට රනිල්ව පත්කළා. රනිල් හොඳ නැහැයි කියල හිතෙන කොට මහින්දව පත් කළා. හැබැයි අද දෙගොල්ලෝම එකට ඉන්නේ. එදත් හිටියේ එහෙමයි. ඒගොල්ලෝ කවදාවත් රණ්ඩු වුණේ නැහැ. හැබැයි ඒගොල්ලෝ අපිව බෙදුවා. සිංහල, මුස්ලිම් ජනතාව අතර ගැටුම් හැදුවා. රවුෆ් හකිම්ලා බෙදුණේ නැහැ. ගූගල් එකේ එයාලගේ හිස්ටි්‍ර එක සොයනකොට චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ කාරක සභාවේ සභාපති, තැපැල් ඇමති, රනිල්ගේ ආණ්ඩුවෙත් තැපැල් ඇමති. ආයෙමත් මහින්දගේ ආණ්ඩුවේ වරාය ඇමති. 2000 ජනාධිපති ඡන්දයේදි ෆොන්සේකාගේ වේදිකාවේ. ඡන්දෙ ඉවරවෙලා මහින්දගේ ආණ්ඩුවේ. 2015 මෛත්‍රීගේ ආණ්ඩුවේ. මේ අවුරුදු තුනේ විතරයි මොකවත් නැත්තේ.
19 වැනි සංශෝධනයෙන් ජනාධිපතිගේ තටු කපලා තිබුණේ. ගෝඨාභයගේ බලය වැඩිකර ගැනීමට, තටු හයිකර ගන්න, 2020 විසිවෙනි සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙනවා. නමුත් ෆයිසර් කාසිම්, හාරිස්, ෆවුසික්, මොකද කළේ? ඔබලා ළඟට ඇවිත් ඡන්දෙ ඉල්ලුවේ ගෝඨාභය ජාතිවාදයා, එයා ආවොත් අපේ ආරක්ෂාව නැතිවෙනවා. ගෝඨාභයගෙන් බේරෙන්න, ගෝඨාභය පරද්දන්න හාරිස්ට, ෆයසිර් කාසිම්ට, ෆවුසික්ට ඡන්දෙ දෙන්න කිවුවා. තමුන්නාන්සේලා ගෝඨාභයට විරුද්ධව ඡන්දෙ දුන්නා. එයාලා පාර්ලිමේන්තුවට ගිහින් ගෝඨාභයගෙ බලය වැඩිකරන්න ඡන්දය දුන්නා. මේක කැත දේශපාලනයක් නෙමෙයිද? මේ දේශපාලනය නතර කළ යුතු නැද්ද? මුස්ලිම් ජනතාව වෙනුවෙන් ඇමතිකමක් දරන කෙනෙක් ආණ්ඩුවේ ඉන්න ඕන කියලා සමහරු කියනවා. 1994 සිට සෑම ආණ්ඩුවකම මුස්ලිම කොන්ග්‍රසය හිටියා. ආණ්ඩුවක ඉන්න එක වැදගත් දෙයක් නම්, මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්නය විසඳෙන්න ඕනෑ. නමුත් විසඳුවේ නැහැ. මහින්ද රාජපක්ෂ වංචා, දූෂණ සිදුකරන විටත්, රනිල් වික්‍රමසිංහ මහ බැංකු වංචා සිදුකරන විටත් මුස්ලිම් කොංග්‍රසය ආණ්ඩුවේ හිටියා. මේ රට වැට්ටීමට එයාලත් හවුල්. කල්මුණේ නගරාධිපති මිලියන 25ක තමුන්නාන්සේලාගේ මුදල් සාක්කුවේ දාගත්තා. එහෙම පාලකයෝ මේ. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවට එනවා අඩු, පාර්ලිමේන්තුවේ ඡන්දයක් තිබුණොත් අනිවාර්යයෙන් එන අතාවුල්ලා, විරුද්ධ පක්ෂයේ මා පිටුපස වාඩි වී ආණ්ඩුවට පක්ෂව ඡන්දය දෙනවා. මේ මොන දේශපාලනයක්ද? මේක වෙනස් කළ යුතු නැතිද? අපි තීන්දුවක් ගනිමු. මේ අසාර්ථක පාලනය නිමා කරන්න අපි ඔක්කෝම එකතු වෙමු. අලුත් ආණ්ඩුවක් හදල විතරක් මදි, අපි එකතු වෙලා මේ රට හදන්නත් ඕනෑ. අපි විඳින දුක අපේ දරුවන්ට අත්නොකරන, ලෝකය ඉදිරියේ කීර්තියට භාජනය වන, සියලුම ජාතීන් සමගියෙන් ජීවත් වන රටක් අපි හදමු.

පසුගියදා රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී කිවුවා, 2002 සිට පාලනයන් වැරදි කර තිබෙන බව. අපි අතීතය අමතක කර, අලුත් පාරකට එමු කියලා නිමල් සිරිපාල කිවුවා. ඒගොල්ලෝ නිතරම කියනවා අතීතය අමතක කරන්න කියලා. එයාලා බරපතළ වැරදි කර තිබෙනවා. මහජන දේපොළ සොරකම් කර තිබෙනවා. කවුරු අමතක කළත් ජාතික ජන බලවේගයේ අපි ඒක අමතක කරන්නේ නැහැ. මහජන දේපොළ සොරකම් කළ අයට සහතික වශයෙන් දඬුවම් දෙනවා. කල්මුණේදි විතරක් නොවෙයි පාර්ලිමේන්තුවේදිත් මම කිවුවා හරි බලයක් අපට තිබෙනවා නම්, පාර්ලිමේන්තුවේ ඉන්න ගොඩක් අය ඉන්නේ ඇතුලේ බව. එය කළ යුතුයි. එය කරන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් විතරයි. පාර්ලිමේන්තුවේ මේ පැත්තෙන් කට්ටිය කියනවා, මහින්ද මහත්තයා හොරා, ක්‍රිකට් බෝඞ් එකේ හොරා, නාමල් හොරකම් කර තිබෙනවා කියලා. අනෙක් පැත්තෙන් කියනවා, සජිත් ප්‍රේමදාස සංස්කෘතික අරමුදලට ගැහුවා, නිවාස අධිකාරිය විනාශ කළා, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයෝ නෝනගේ සැලුන් ඒකේ වැඩට දැම්මා, ආණ්ඩුවෙන් පඩි ගෙවනවා. වැඩ සැලුන් එකේ, කියලා. අපි හදන්න ඕනෑ, මේ දෙපැත්තේම වැරදිකරුවන් වුණු සෑම දෙනාම නීතිය හමුවට ගෙනඑන ආණ්ඩුවක්. ඒ ආණ්ඩුව අපි හදනවා. නීතියේ ආධිපත්‍ය නිසි පරිදි සැමකෙනාටම ක්‍රියාත්මක වෙන ආණ්ඩුවක් අපිට ඕනෙ. ආණ්ඩුවේ නීතිය පිළිබඳව ජනතාවට විශ්වාසයක් නැහැ. පොලීසියට ගිය විට සාධාරණය ඉටුවෙයි කියා විශ්වාසයක් තිබෙනවාද? පොලීසියට දේශපාලන මැදිහත්වීම් තිබෙනවා. සාමාන්‍ය කෙනෙකුට ක්‍රියාත්මක වෙන නීතිය ඇමතිගේ ගෝලයාට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ලෝකයේ දියුණු සෑම රටකම නීතිය සාධාරණව ක්‍රියාත්මක වෙනවා.

වැඩබලන පොලිස්පතිතුමාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලක්ෂ පහක දඩයක් ගැසුවා. හිටපු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේනට අධිකරණයෙන් දඩගහලා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ, ආර්ථිකය කඩා වැට්ටුවා කියලා අධිකරණයෙන් වරදකරුවෙක් වෙලා තිබෙනවා. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, ප්‍රසන්න රණතුංග අධිකරණයෙන් වරදකරුවෙක් වෙලා. මහ බැංකුවේ හිටපු අධිපති, අජිත් නිවාඞ් කබ්රාල් අධිකරණයෙන් වරදකරුවන් වෙලා. හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට රතු නිවේදන නිකුත් කර තිබෙනවා. පුත්තලමේ මන්ත්‍රී රහීම් රත්තරං ගෙනත් රේගුවේදි අහුවෙනවා. නීතියක් වල්වැදුණු රටක් බවට අපේ රට පත්වෙලා. මේ රට අපරාධකරුවෝ පාලනය කරන රටක්. රනිල් වික්‍රමසිංහට ප්‍රධාන චෝදනාවක් තිබෙනවා, මහ බැංකුවට ගහන්න හවුල් වූ බවට. අර්ජුන් මහේන්ද්‍රන් කටඋත්තර දෙනකොට “මුදල් ඇමති කිවුව විදිහට වැඬේ කළ” බව කිවුවා, ඒක ජනාධිපති කොමිසමේ සටහන් වී තිබෙනවා. බුද්ධි අංශයේ ප්‍රධානියාට පාස්කු ප්‍රහාරය පිළිබඳ චෝදනා එල්ලවෙනවා. රටේ ඉහළම තලවල ඉන්න අයට චෝදනා එල්ල වෙලා තිබෙන්නේ. මෙවැනි පාලකයන් යටතේ පාලනය වෙන එකට ජනතාව ලැජ්ජා වෙන්න ඕනෑ. තමුන්නාන්සේලාට ලෝකයේ රටකට ගොස් කියන්න පුළුවන්ද අපේ රටේ නායකයන් ගැන. ගූගල් සර්ච් කළාම අධිකරණයෙන් වැරදිකරුවන් වූ ජනාධිපතිලා, මුදල් ඇමතිලා, මහ බැංකු අධිපතිලා, අපේ රට පාලනය කරනවා. අපේ රට පාලනය කර තිබෙන්නේ කම්බා හොරු. පාලකයන් එහෙම නම් තමුන්නාන්සේලා කොහොම වේවිද කියා එයාලා හිතනවා. කල්මුණේ නගරාධිපති ගූගල් කර බැලුවොත්, එයත් එහෙමයි. සල්ලිවලට, ඇමතිකම්වලට මන්ත්‍රීවරු එහාට මෙහාට පනිනවා. නසීර් අහමඞ්ට නම් අධිකරණයෙන් නිවැරදි තීන්දුවක් දුන්නා. ඒ තීන්දුවට අපි ගරු කළ යුතුයි. ඒ තීන්දුව මීට කලින් දී තිබුණා නම්, බන්දුල, විජේදාස, හරීන්, මනුෂ, පාර්ලිමේන්තුවේ නැහැ. නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා නම් අදත් පාර්ලිමේන්තුවේ භාගයකට වැඩිය එළියේ. නීතියක් නැති රටක් කවදාවත් දියුණු කරන්න බැහැ.

ජාතිය මොකක්ද, බලය තිබෙනවාද, දුප්පත්ද-පොහොසත්ද, බේදයකින් තොරව සෑම කෙනෙකුටම සාධාරණය ඉටුවෙන රටක් අපි හදන්න ඕනෑ. අපි ඔබතුමන්ලා එකතු වෙලා ජාතික ජන බලවේගය හදන රට එහෙම එකක්. මේ පළාතේ ධීවර ජනතාව ඉන්නවා, බහුදින යාත්‍රා පන්සියයක් පමණ තිබෙනවා, කුඩා බෝට්ටු 800ක් 900ක් තිබෙනවා. මේ අයගේ ප්‍රධාන ජීවිකාව මුහුදු රස්සාව. මුහුද ඛාදනය වෙනවා, බෝට්ටු නතර කරන්න ධීවර වරායක් නැහැ. හැබැයි මත්තල ගුවන් තොටුපොළක් තිබෙනවා. මිනිසුන්ගේ අවශ්‍යතාවයන් නොවෙයි ඉටුකරන්නේ. එයාට කොමිස් එන විදිහට තමයි වැඩ කරන්නේ. ආර්ථිකය හදන්න මහ මුහුදේ තිබෙන මාළු අස්වැන්න නෙළන්න ඕනෑ. ඒකට ධීවර ජනතාවට පහසුකම් දෙන්න ඕනෑ. අද බහුදින යාත්‍රාවලින් භාගයකට වැඩි ප්‍රමාණයක් මුහුදු යන්නේ නැහැ. තෙල් ගහගෙන, සති දෙක තුනකට බඩු අරගෙන, මුහුදු ගිහින් මාළු අල්ලගෙන ආවාම පාඩුයි. ණයයි. ඒ නිසා බෝට්ටු මුහුදු යන්නේ නැහැ. බෝට්ටු මුහුදු යවන්න නම්, ඩීසල් සහනාධාරයක්, හොඳ තොටුපොළක්, අයිස් ගබඩාවක් හදා දෙන්න ඕනෙ. දැල් ආම්පන්න සාධාරණ මිලකට දෙන්න ඕනෑ. එතකොට ජනතාව මුහුදු ගොස් මාළු අස්වැන්න ගොඩබිමට ගේනවා. රටේ අස්වැන්න වැඩිවෙනවා. රට හදනවා. මේ පාලකයෝ ජනවාරි මාසෙ පළවෙනිදා ඉඳන් නැවතත් ඩීසල්වලට වැට් එක ගහලා. ගියපු යාත්‍රා ටිකත් ගොඩබිමට ගේන්න වෙනවා. රටක් හදන්න නිෂ්පාදනය උඩට ගේන්න ඕනෑ. ඒකට අපි මැදිහත් වෙන්න සූදානම්.

අම්පාර දිස්ත්‍රික්කයේ තමයි වැඩිම වී වගා කරන දිස්ත්‍රික්කය. සාරවත් කුඹුරු යායවල් තිබෙනවා. පහසුකම් ටික නැහැ. හොඳ බීජ, හොඳ පොහොර, වල් නාශක නැහැ. වී මිලදී ගන්නෙ අඩු මිලට. ගොවියා අනාථයි. රටත් අනාථයි. අක්කර දහස් ගණනක කුඹුරු යායවල් තිබෙනවා. නව බීජ ප්‍රභේද දාලා, අලුත් තාක්ෂණය ගෙනත්, හොඳ පොහොර යොදවලා, අස්වැන්න වැඩිකරලා, දියුණු තාක්ෂණය සහිත මෝල් හදලා පිටරටට සහල් යවන්න පුළුවන්. කුඹුරු පාළු වුණොත් රටත් පාළුයි. කුඹුරු අස්වැන්න වැඩිකරන තැනට අපේ රට වෙනස් කරන්න ඕනෑ. අපේ තරුණ පරම්පරාවට නව රැකියා අවස්ථා හදන්න ඕනෑ. අද ලෝකයේ ප්‍රධාන කර්මාන්තය බවට පත්වෙලා තිබෙන්නේ අයි.ටී. කර්මාන්තය. අපේ දැනුම තිබෙන තරුණ පරම්පරාවට ලෝකයේ දියුණුම ශ්‍රමය අත්පත් කර ගන්න හැකි සැලසුම හදන්න ඕනෑ. අයි.ටී. තාක්ෂණය දියුණු කරන්න අවශ්‍යයි. අද අපේ තරුණ තරුණියන්ට තමන්ගේ ජීවිතය අහිමි කර තිබෙනවා. විවාහ වන තරුණ තරුණියන්ට එකට ජීවත්වීමේ අවස්ථාව අහිමි කර තිබෙනවා. නමුත් එයාලත්, එයාලගේ විවාහක දරුවන් දවසක් වෙන්වී ඉන්නේ නැහැ. නමුත් අපේ දරුවන්ට විවාහ වෙලා, මාසයක් එකට ජීවත් වෙන්න විදිහක් නැහැ. මහත්තයා රට, නෝනා ලංකාවේ. එහෙම ජීවිත අපට ඕනැද? ඇමතිවරුන්ගේ දරුවෝ රැකියා කරනවා දැක තිබෙනවාද? පාසලක උගන්වනවා, ෆැක්ටරියක වැඩකරනවා, එවැනි රැකියාවක් එයාලා කරන්නේ නැහැ. එයාලගෙ දරුවෝ ආණ්ඩුවත් එක්ක බිස්නස්. ආණ්ඩුවෙ කොන්ත්‍රාත් එයාලා කරනවා. අපේ දරුවො, දරුවො නොවෙයිද? අපේ දරුවන්ට හොඳ අනාගතයක් අවශ්‍ය නැද්ද? අපේ දරුවන්ටත් හොඳ අනාගතයක් ලබාදෙන්න ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් අපි හදමු.

මේ පාලකයෝ හැමදාම බලය ගන්න ජාතිවාදය වපුරනවා. කණ්ඩායම් දෙකම බලය ගන්නේ ජාතිවාදය වපුරලා. මෑත කාලයේ ජාතිවාදය වපුරන්න උත්සාහ කළා. හැබැයි දැන් ජාතිවාදයේ ගිනිදැල්ල පත්තු වෙන්නේ නැහැ. කුරුන්දි විහාරය කේන්ද්‍ර කරගෙන ජාතිවාදය අවුස්සන්න හැදුවා. ත්‍රීකුණාමලයේ ජාතිවාදය අවුස්සන්න හැදුවා. පොන්නම්බලම්ගේ ගෙදර වටලා ජාතිවාදය අවුස්සන්න හැදුවා. තවදුරටත් මේ රටේ ජනතාව ජාතිවාදයට ගොදුරු වෙන්නේ නැහැ. අපේ රට ගිනිතියපු, ගැටුම් හදපු, පාස්කු ප්‍රහාරය ඇති කරපු, මේ පාලකයන්ගේ ජාතිවාදී දේශපාලනය පරාජය කරන්න ඕනෑ.

මේ රට එක ජන කොටසකගේ රටක් විතරක් නොවෙයි. අපි ඉපදෙන්නෙ, මියැදෙන්නේ, පොහොර වෙන්නේ මේ රටේ. මේක අපේ රට. අපි හැමෝම සමගියෙන් පිරුණු රටක් අපි හදමු. නැගෙනහිර ජනතාවත්, දකුණේ ජනතාවත් මේ රට හදන්න නැගිටින්න ඕනෑ. මේ පාලකයෝ පලවා හරින්න උතුරේ, දකුණේ, නැගෙනහිර ජනතාව ඔක්කෝම එකා වගේ අත්වැල් බැඳ ගන්න ඕනෑ. මේ රට ගොඩනගන්න නව ජාතික පිබිදීමක් අපට ඕනෑ. අපි නැගිටින්න ඕනෑ එකිනෙකාට විරුද්ධව නොවෙයි. කුල භේද, ජාති භේද, ආගම් භේද නැති, මේ රට ගොඩනැගීම අරමුණුකොට ගත් පිබිදීමක් අවශ්‍යයි. අපි එකතුවෙනකොට එයාලා කියනවා ජාතික ජන බලවේගය ආවොත් ආගම් අදහන්න දෙන්නේ නැහැ කියා. ආගම යනු කුමක්ද? ආගම යනු එය අදහන ජනතාවගේ විශ්වාසය. මුස්ලිම් ජනතාව අල්කුරානයත්, නබිනායකතුමාගේ දේශනයත්, සිංහල බෞද්ධ ජනතාව, ත්‍රිපිටකය හා බුදුරජාණන් වහන්සේත්, කතෝලික ජනතාව. බයිබලය හා ක්‍රිස්තුස් වහන්සේත්, දෙමළ ජනතාව ගීතාවලිය හා ශිව දෙවියනුත් විශ්වාස කරනවා. අපි සෑම ජන ප්‍රජාවකටම තමන්ගේ විශ්වාසය අනුව ආගම ඇදහීමේ නිදහස උපරිම ලෙස තහවුරු කරනවා. එවැනි ආණ්ඩුවක් තමයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුව. අපි අපේ දේශපාලනයට ආගම සම්බන්ධ කර ගන්නේ නැහැ. ආගම ජනතාවගේ විශ්වාසය. දේශපාලනය කියන්නෙ ජනතාව පාලනය වන්නේ කොහොමද කියන එක.

එයාලා තවත් මතයක් හදනවා, එන්පීපී ආණ්ඩුවක් ආවොත් ව්‍යාපාර ආණ්ඩුව පවරා ගන්නවාලු. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට්විටර් පණිවිඩයක් දාලා කිව්වා, එන්පීපී ආණ්ඩුවකදී දේපළ පවරා ගන්නවා කියලා. සජිත් කිවුව නිසා එය කවුරුත් පිළිගත්තේ නැහැ. මේ වසරේ ජනවාරි සිට නොවැම්බර් දක්වා අපේ රටේ ව්‍යාපාර 1183ක් බැංකු පවරාගෙන, වෙන්දේසි කර තිබෙනවා. ඉතා අමාරුවෙන් ගොඩනගාගත් බිස්නස්. පාස්කු ප්‍රහාරය ආවා, කොවිඞ් ආවා, මහජනයාගේ දේපොළ සොරකම් කළා, ආර්ථිකය කඩා වැටුණා, ව්‍යාපාර කඩා වැටුණා. හොඳට තිබුණු බිස්නස් වැට්ටුවේ කවුද? මේ පාලකයෝ. දැන් මොකද සිදුවී තිබෙන්නේ. අපි ආණ්ඩුවක් හදන්නේ පුරවැසියාගේ ව්‍යාපර පවරා ගන්න නොවෙයි. එයාලාගේ ව්‍යාපාර දියුණු කරන්න. ඔබ සපත්තු කර්මාන්තයක් කරනවා නම්, ඒකට තාක්ෂණය දීලා, බැංකු ණයක් දීලා, ඒ කර්මාන්තයට ලෝකයේ වෙළඳපොළක් සොයා දීලා, දියුණු කර්මාන්තයක් බවට පත්කරන එක අපේ සැලැස්මක්. ඔබලා වගා කරන කුඹුර, කල්මුණේ ජනතාවට බත සැපයීමට පමණක් නොවෙයි, ලෝකෙ ජනතාවටත් බත් සපයන තැනට මේක වෙනස් කරන්න ඕනෑ. අපි හදන ආර්ථිකය ඒකයි. නව ව්‍යාපාර ඇති කරන, ඒවා දියුණු කිරීමට සහාය දෙන එක තමයි අපේ ආර්ථික ප්‍රතිපත්තිය. කස්ටම් එකට යට වෙන්න හෝ ආදායම් බදු ෆයිල් සැඟවීමට හෝ අවශ්‍ය නොවෙන සාධාරණ බද්දක්, සාධාරණ නීතියක්, යහපත් ව්‍යාපාරයක් අපි ඇති කරනවා. වැටුණු කර්මාන්ත ගොඩනගන, ව්‍යාපර දියුණු කරන ආණ්ඩුවක් අපි හදනවා. ව්‍යාපාරවලට ලෝක වෙළඳපොළේ තැනක් අත්පත් කරගන්න කටයුතු කරනවා.

ඒ වගේම ලෝකයට සාමයක් අවශ්‍යයි. අද පලස්තීනයේ අහිංසක ජනතාව, දුවා දරුවන්, විඳින වේදනාව පිළිබඳ හඬක් අවශ්‍ය නැද්ද? අන්න ඒ හඬක් නගන ව්‍යාපාරය තමයි ජාතික ජන බලවේගය කියන්නේ. ලෝකයේ අයුක්තිය, අසාධාරණය කොතනද, ඒකට විරුද්ධව හඬක් නඟන්න ලැහැස්තියි. ඒ වගේ ආණ්ඩුවක් අපි හදමු. මේ රට වෙනස් කරන පාරක් අපට ඕනෑ. ආදම්බාවා සහෝදරයා දීර්ඝ කාලයක් මේ කල්මුණ ප්‍රදේශයේ අපිත් සමග වැඩ කරනවා. රමේෂ්, නලින් සහෝදරවරු ඉතා ශක්තිමත්ව අපිත් සමග ඉන්නවා. මේ අය මෙතෙනට පැමිණියේ තමනට පුද්ගලිකව දෙයක් ලබාගැනීමට නොවෙයි. ආණ්ඩුවට එන සෑම සතයක්ම පෙරළා ජනතාවට යන ආණ්ඩුවක් හදන්න ඕනෑ. මම තරුණ පරම්පරාවට ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න කියලා. ඉදිරියට එන්න තිබෙන ව්‍යාපාරය ජාතික ජන බලවේගයයි. අගෝස්තු මාසේ ජනාධිපති ඡන්දය ප්‍රකාශයට පත්වෙනවා. අපට මාස අටයි තිබෙන්නේ. සෑම ගෙදරකටම අපි යමු. හැම කෙනෙක්ම හමුවෙමු. රට වෙලාගෙන තිබෙන විනාශය කතා කරමු. මේක වෙනස් කරන්න එන්පීපී එක සමග එකතු වෙන්න කියා ආරාධනා කරමු. කලින් කුමන අයෙකුට ඡන්දය පාවිච්චි කළ කෙනෙක් වුණත් ඒ හැම දෙනාටම ආරාධනා කරමු. මේ රට වෙනස් කරන අලුත් ගමනක් අපි යමු. රට ගොඩනගන අලුත් ගමනක් යමු. උතුර, දකුණ, නැගෙනහිර අපි ඔක්කෝම එක මවකගේ දරුවන් වගේ සහෝදරත්වයෙන් ඉන්න රටක් අපි හදමු. ලෝකයේ රටකදී මම ශ්‍රී ලාංකිකයෙක් කියන්න හැකි රටක් අපි හදමු. අපේ දරු පරම්පරාවට එහෙම රටක හදා දෙමු. ඒ වෙනුවෙන් සියලු දෙනාම එකතු වෙමු කියා හැමෝටම ආරාධනා කරනවා. මේ රටට කර තිබෙන විනාශය ඔක්තෝබර් අවසන් වෙන්න කලින් අවසන් කරමු.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?