Latestදේශීය

රත්මලාන දුම්රිය කර්මාන්ත ශාලාව විශාල ගසාකෑමක් – එස් පී විතානගේ

කළ යුතු නිෂ්පාදන කටයුතු පවා පහළ මට්ටමක තිබියදී එය යථාවත් කරනවා වෙනුවට කෝටි ගණන් ණය ලබාගෙන දුම්රිය ඩීසල් බලවේග කට්ටල කර්මාන්ත ශාලාවක් ඉදිකිරීම කොන්ත්‍රාත්කරුවන්ට පැවරීම තවත් විශාල ගසා කෑමක් බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය පවසයි.

එහි සමකැඳවුම්කරු එස්.පී විතානගේ අත්සන් කරමින් නිකුත් කර ඇති එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ,

ආසියානු සංවර්ධන බැංකු අරමුදල් යොදාගෙන දුම්රිය කාර්යක්‍ෂමව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියක් ලෙස රත්මලාන දුම්රිය ඩීසල් බලවේග කට්ටල කර්මාන්ත ශාලාවක් ඉඳිකිරීමට කොන්ත්‍රාත්තුව, චයින සිවිල් ඉංජිනියරිං කන්ස්ට්‍රක්ෂන් සමාගමට ප්‍රදානය කිරීමට ප්‍රවාහන හා මහාමාර්ග ඇමති වරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව බන්දුල ගුණවර්ධන මහතා පසුගියදා ප්‍රකාශ කළේය.

දකුණු ආසියාවේ විශාලම කර්මාන්ත ශාලාව ලෙස හැඳින්වූ රත්මලාන දුම්රිය කර්මාන්ත ශාලාව බන්දුල ගුණවර්ධන මහතා අමාත්‍ය ධූර දැරූ ආණ්ඩු විසින් නැතිබංගස්ථානකර විනාශ මුඛයට පත්කර ඇති බව දුම්රිය සේවකයෝ දනිති. රට දැවැන්ත ආර්ථික අර්බුදයකට ලක්කර තිබියදීත්, ණය අරගෙන ඉඳිකිරීම් කිරීමට ඇමතිවරු මෙන්ම ඇතැම් දුම්රිය නිලධාරීන් ඉතා කැමැත්තෙන් පසු වන බවත්, ඉදිකිරීම් මගින් සිදු කරන වංචා සහ හොරකම් නිසා දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රපාතයට ඇද දමා ඇති බවත් පෙන්වා දෙමු.

රත්මලාන දුම්රිය කර්මාන්ත ශාලාව මගින් කළ හැකි නිෂ්පාදන කටයුතු අද වන විට පහළ මට්ටමකට ඇදවැටී තිබියදී, එය යථාවත් කිරීමට කටයුතු කරනවා වෙනුවට, කෝටි ගණන් ණය අරගෙන එම මුදල් ගසාකෑමට හැකි ව්‍යාපෘති ගෙනවිත් දුම්රිය විනාශ කරන බවත් ඉතා පැහැදිලියි. රත්මලාන කර්මාන්ත ශාලාව මගින් සිදු කරන අලුත්වැඩියා කටයුතු මේ වනවිට අඩපණ වී ඇති බව පෙන්වා දෙන අතර, අලුත්වැඩියාව සඳහා අවශ්‍ය අමතර කොටස් හා උපාංග උපකරණ, නවීන තාක්‍ෂණය, එන්ජින් වලට ලිහිසි තෙල් (දසක) වර්ග හා පුහුණු ශ්‍රමය අත්‍යාවශ්‍යව ඇතත්, එවා ලබාදීමට කිසිදු මැදිහත් වීමක් අමාත්‍යවරයාගේ පැත්තෙන් ඉටු නොවේ. කාර්යක්‍ෂම දුම්රිය සේවයක් පවත්වාගෙන යෑම කෙසේ වෙතත් මගී ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතාව සැලකිල්ලට ගෙන යම් මට්ටමකින් හෝ දුම්රිය ධාවනය පවත්වාගෙන යාමට නම් ධාවනය කිරීමට හැකි එන්ජින් ඇණිය 65% – 75 % ක මට්ටමකින්වත් පවත්වාගෙන යායුතුව ඇතත්, මේ වන විට එන්ජින් ඇණිය 55% කට ආසන්න මට්ටමකට ඇද වැටී ඇත.

ධාවනයේ යෙදෙන සෑම දුම්රිය ගමන් වාරයක් ම අසීමිත ලෙස ප්‍රමාදවී ධාවනය කරන අතර, දිනකට දුම්රිය ගමන් වාර 70ක 80ක ප්‍රමාණයක් අවලංගු කිරීමට සිදු වී ඇත්තේ, දෙපාර්තමේන්තුවේ පවතින අඩුපාඩු සහ අකාර්යක්‍ෂම කළමනාකරණය නිසාය. මේ තත්වය යටතේ දුම්රිය මගී ජනතාවට විඳීමට සිදු වී ඇති අසීමිත පීඩාව පිළිබඳ අවබෝධයක් ඇමතිවරයාට නැති වීම ගැන කනගාටු වන අතර, මේ මොහොතේ ප්‍රවාහන ඇමතිවරයාගේ කාර්යභාරය විය යුත්තේ, ණය අරගෙන රටේ ජනතාව මත තවත් ණය බර හා බදු බර පටවා දුම්රිය මගී ජනතාව අසීමිත ලෙස පීඩාවට පත් කිරීම හෝ අත්‍යාවශ්‍ය නොවන දේශපාලන ව්‍යාපෘති ක්‍රියාත්මක කර දුම්රිය සේවය විනාශ කිරීම නොවන බව පෙන්වා දෙමු. මේ ආණ්ඩුව සහ මෙතෙක් පැවති ආණ්ඩු සිදුකර ඇත්තේ විදේශීය ණය අරගෙන වංචා කිරීම මිස අළුත් ආයෝජන අවස්ථා ඇති කිරීම නොවේ. ණය අරගෙන දුම්රිය දෙපාර්තමේන්තුව තුල සිදුකර ඇති දේශපාලන ව්‍යාපෘති සියල්ල අසාර්ථක වී ඇත. එවැනි ව්‍යාපෘති වල බර දැරීමට සිදු වී ඇත්තේ දුම්රිය දෙපාර්තමේන්තුවටයි.

එනිසා තව දුරටත් ණය අරගෙන ක්‍රියාත්මක කරන දේශපාලන ව්‍යාපෘති නවතා ජනතාවට අවශ්‍ය කාර්යක්‍ෂම දුම්රිය සේවයක් ලබා දීමට කටයුතු කරන ලෙස ඇමතිවරයාගේ හා දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ අවධානය යොමු කරවමු.
ස්තුතියි,

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?