Latestදේශීය

බදු සංශෝධනයෙන් දරුවෙකුගේ පාසැල් උපකරණ වියදම රුපියල් 20000ක් වෙනවා – නාගස්තැන්‌නේ අරුණ හිමි

VAT බදු සංශෝධනයත් සමඟ එක් දරුවෙකුට අවශ්‍ය පාසල් උපකරණ සඳහා රුපියල් 20,000ක මුදලක් වැය වන බව පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරයේ ලේකම් පූජ්‍ය නාගස්තැන්නේ අරුණ හිමියෝ පවසති

ඒ හිමියෝ මේ බවැසූවේ පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරයේ විසින් අද පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිණි,

මහිදී පිටු 200 පොතක් රුපියල් 350ක් කවකටු පෙට්ටියක් රුපියල් 1,121ක්, A4 බන්ඩලයක් රුපියල් 2,124ක්, පාසල් බෑග් එකක් රුපියල් 7,670ක්, සපත්තු ජෝඩුවක් රුපියල් 3,717ක් ආදී ලෙස මිලක් වන බවත් පාසලක 10 ශ්‍රේණිය පමණ අධ්‍යාපනය ලබන දරුවෙකුට තමන්ට අවශ්‍ය පාසල් උපකරණ මිලදී ගැනීමට ඉහත මුදල අවශ්‍ය වන බවත් දෛනික ආහාර අවශ්‍ය තාවයවත් පිරිමසා ගැනීමට නොහැකි නිවසක දෙමාපියන්ට මෙම තත්වය දරාගත නොහැකි බවත් උන්වහන්සේ ප්‍රකාශ කර සිටියහ.

එහෙන්ම ආහාර මිල ඉහළ යාමත් සමග තම දරුවන්ගේ ආහාර අවශ්‍යතාවය වෙනුවෙන් දෙමාපියන්ගෙන් 14%කට කුසගින්නේ සිටීමට සිදුව ඇතැයි ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රකාශ කර ඇති බවත් උන්වහන්සේ පෙන්වා දෙති.

ඉන්ධන හා වාහන අමතර කොටස්වල මිල ඉහළ යාමත් සමග පාසල් වෑන් රථ හා බස් රථ ගාස්තූ ඉහළ යෑම වැලැක්විය නොහැකි බවත් ඒ වෙනුවෙන් විශාල මුදලක් දෙමාපියන්ට දැරීමට සිදුවන බවත් උන්වහන්සේ අවධාරණය කර සිටිති.

මෙම තත්වය නිසා අද වනවිට පාසල් යන දරුවන්ගෙන් 55%කට දැඩි බලපෑම් එල්ල වී ඇත බවත් ඉන් අවුරුදු 05ත් 21ත් අතර වයස්වල දරුවන් 54.9%ක් සෘජු බලපෑමකට ලක්ව ඇති බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ ප්‍රකාශ කළහ.

සුබ අවුරුද්දක් වෙනුවට මෙය බදු අවුරුද්දක් වීම වැලැක්විය නොහැකි බවත් සියලු දෙනාට පටි තදකරගන්න යැයි ඉල්ලා සිටින ආණ්ඩුව, ඔවුන්ගේ කිසිදු වරප්‍රසාදයක් කප්පාදූ කර ගැනීමට ක්‍රියාකර නොමැති තත්වයක් තුළ අවුරුදු 18ට වැඩි අයට බදු ෆයිල් එකක් විවෘත් කරන ලෙස ඉල්ලා සිටීම සදාචාරමය නොවන බවත් නාගස්තැන්නේ අරුණ හිමියෝ අවධාරණය කළහ.

මෙම මාධ්‍ය හමුව සඳහා පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරයේ සභාපති යසරත්න දිසානායක, දෙමාපියන් නියෝජනය කරමින් අසංක ප්‍රනාන්දු හා රත්නාවලී කරුණාජීව යන අය සම්බන්ධ වී සිටියහ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?