Latestදේශීය

ඉන්දියාවට එරෙහිව සටන්කර ජීවිත විනාශ වූ අයගේ පවුල්වල අයට දැන් මොනවා හිතෙනවා ඇත්ද? – රාජිත සේනාරත්න

වත්මන් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන භාවිතය සහ අතීත ක්‍රියාමාර්ග පිළිබදව රාජිත සේනාරත්න මන්ත්‍රිවරයා තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා ඇත. එම සටහන පහතින්,

ලෝකයේ කිසිම රටක් සමඟ, බද්ධ වෛරයකින් පෙළෙමින් දේශපාලනය කිරීමට හෝ රාජ්‍ය පාලනය කිරීමට නොහැකි බව, මීට වසර 35 කට පෙර ඔවුන් තේරුම් ගත්තා නම්, හැටදාහකට ආසන්න පිරිසකගේ ජීවිත අපේ රටට අහිමි වන්නේ නැත.

ඔවුන් එදා සන්නද්ධව අවි මානාගෙන එන විට රජයකට, නවගුණවැල ගණන් කරමින් සිටීමට හැකියාවක් නැත.

ඉන්දියානු විරෝධයක් පෙරට දමාගෙන ඉන්දු ලංකා ගිවිසුම පෙන්වමින් පළාත් සභා ක්‍රමයට විරෝධය දක්වමින් සිදුකළ ඝාතන නිසා, අහිමි වූ ජීවිත ගැන අද ඔවුන්ට කීමට ඇත්තේ කුමක්ද?

88/89දී, පළාත් සභාවට තරග කළ අපේක්ෂකයන්ව ඝාතනය කළ ඔවුන්,98/99දි පළාත් සභාවට තරග කර මන්ත්‍රීවරුන් ලෙස තේරී පත්විය. එතැන් සිට ඉදිරියට ඔවුන් පළාත් සභාව නියෝජනය කරමින් පැමිණෙයි.

ඉතා ඉහළ මානව ගුණාංගයන්ගෙන් පිරුණු, මාක්ස් ලෙනින්වාදය වැරදියට කියවාගෙන අසල්වැසි ඉන්දියාව රකුසකු සේ පෙන්වමින්, ජාතිකවාදය දඩමීමා කරගෙන සිදුකිරීමට ගිය සන්නද්ධ අරගලය නිසා සිදුවූයේ, රටපුරා භීෂණයක් ඇතිවී වටිනා තරුණ ජීවිත දහස් ගණනක් අහිමිවී අනාගත දේශපාලන නායකයන් බවට පත්වීමට සිටි වටිනා පරපුරක් රටට අහිමිවී අවසානයේ, ඔවුන්ගේ නායකයාද ඔවුන්ට අහිමිවීමයි.

රට පිළිබඳ අනාගත වැඩපිළිවෙලක් නොමැති දියුණු දේශපාලන දැක්මක් නොමැති වර්ගවාදී දේශපාලන නායකයන් සහ දේශපාලන පක්ෂ විටින් විට බොරු ඇමරිකානු විරෝධයක් බොරු චීන විරෝධයක් බොරු අධිරාජ්‍යවාදී විරෝධයක් බොරු ඉන්දියානු විරෝධයක් සමාජයට මවා පෙන්වයි.

ජාත්‍යන්තර දේශපාලනය පිළිබඳ දැනුමක් අවබෝධයක් නොමැති, අපේ රට සහ අපේ ජාතිය පමණක් ලෝකයේ උතුම්ම ඒවා යැයි සිතා සිටින ජනතාව, ඊට හසුවෙයි.

තමන් වැටුණු මුලාවේ තරම තේරෙන විට ජනතාවට සිදුවිය යුතු හානිය සිදුවී අවසන්ය.

කිසිත් නොවුනා සේ සියල්ල අමතක කර ඉන්දියාවේ යෑමට, එවැනි පක්ෂවල දේශපාලන නායකයන්ට හැකි වුවද, ඉන්දියාවට එරෙහිව සටන් කිරීමට ගොස්, ජීවිත අහිමි වූ එම පක්ෂයේ සහෝදරයන්ගේ ඥාතීන්ට දැන් කුමක් සිතෙනවා ඇත්ද?

මින් මතු අනාගතයේදීවත්, විදේශ රටවල් පිළිබඳව ජාතිවාදී දේශපාලන නායකයන් මතු කරන බොරු විරෝධයන්ට හසුනොවීමට තරම්, ජනතාව විචාරශීලි වියයුතුය!

පාර්ලිමේන්තු මන්ත්‍රී
වෛද්‍ය රාජිත සේනාරත්න

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?