Latestදේශීය

ලෝක ළමා පිළිකා දිනය අදයි

ප්‍රශස්ථ ප්‍රතිකාර ලබාදීම තුළින් ළමා පිළිකා තත්ත්ව 80%ක් පමණ සුවකළ හැකි බව ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දේවනී රණවීර මහත්මිය පවසයි.

 ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂවරිය මේ බව පැවසුවේ අදට (15) යෙදෙන ජාත්‍යන්තර ළමා පිළිකා රෝගී දිනය වෙනුවෙන් ඊයේ (14) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

මෙම ජාත්‍යන්තර ළමා පිළිකා රෝගී දිනය 2024 සිට 2026 දක්වා විශේෂයෙන් සැමරමට ලෝක සෞඛ්‍ය සංවිධානය අදහස් කර ඇතැයිද, එහිදී මෙම වසරේදී ළමා පිළිකා රෝගීන් සම්බන්ධයෙන් අදාල පාර්ශවයන්ට ඇති අභියෝග හඳුනාගැනීමට බලාපොරොත්තු වන බවද, දෙවන වසර තුළදී එම අභියෝගයන්ට ගතයුතු ක්‍රියාමාර්ග හඳුනාගැනීමත්, තෙවන වසරේදී එම විසඳුම් ක්‍රියාත්මක කිරීමටත් බලාපොරොත්තු වන බව අවධාරණය කළාය.

යම්කිසි දරුවෙකුට පිළිකාවක් වැළඳුණහොත් එම පිළිකා රෝගයට ලබාගත යුතු ප්‍රශස්ථ ඖෂධ ලබාගැනීමේ අයිතියක් එම දරුවාට පවතින බවද විශේෂඥ වෛද්‍ය දේවනී රණවීර මහත්මිය සඳහන් කළාය. ළමා පිළිකා රෝග සම්බන්ධයෙන් සමාජයේ මිථ්‍යා විශ්වාස පවතින බවද, ළමා පිළිකා අතර ලියුකේමියාව ප්‍රධාන තැනක් ගන්නා බවද කියාසිටි ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂවරිය මෙම රෝගීන් සුව වුවද විවිධ සංකූලතා ඇතිවී ආබාධ සහිත තත්ත්වයන්ට පත්වෙතැයි මිථ්‍යා මතයක් පවතින බවද පැවසුවාය.

නිසි ප්‍රතිකාර තුළින් මෙම දරුවන් බොහෝ දෙනෙකු සංකූලතා වලින් තොරව නිරෝගී වැඩිහිටියන් ලෙස ඉදිරියට යන බවද කියාසිටි විශේෂඥ වෛද්‍ය දේවනී රණවීර මහත්මිය පිළිකා වැළඳීමට වයස් භේදයක් නැතැයිද අලුත උපන් ළදරුවෙකුට වුවද පිළිකා සෑදිය හැකි බවද සඳහන් කළාය. පිළිකා කල්තියා හඳුනාගෙන නිසි ප්‍රතිකාර සඳහා යොමුවීම වැදගත් බවද පැවසුවාය.

ලෝක සෞඛ්‍ය සංවිධානය ළමා පිළිකාව මර්දනයට වැඩසටහනක් හඳුනාගෙන එය රටවල් අතර ප්‍රචලිත කර ඇතැයිද, ආසියාතික රටවල් වලින් දෙවන රට ලෙස අප රට මෙම වැඩසටහනේ ක්‍රියාකාරීව කටයුතු කරන බවද වැඩිදුරටත් සඳහන් කළාය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?