Latestදේශීය

කාන්තාවන්ගේ නායකත්වය සහ එඩිතරභාවය රට වෙනුවෙන් කැප කරමු – හරිනි අමරසූරිය

“අපට අවශ්‍යයි අපේ දරුවන් වෙනුවෙන් සිහින දකින්න සහ ඒ සිහින සැබෑ කරගන්න පුළුවන් සමාජයක් හදන්න. ඒ සමාජය ගොඩනැගීමේ ඓතිහාසික වෙනස වෙනුවෙන් අපි හැම එකතුවී සිටිනවා. කාන්තාවන් තුළ තිබෙන නායකත්වය, දක්ෂතාවය, එඩිතරභාවය රට වෙනුවෙන් කැප කරන්නයි මේ කාන්තාවන් සංවිධානය වෙන්නේ. ගැහැනුන්ගේ අදහස්වලට ඇහුම්කන් දෙන වේදිකාවක් අපේ සමාජයට අවශ්‍යයි. ඒවාට ඇහුම්කන් දෙන සමාජයක්, දේශපාලන නායකත්වයක් අපට අවශ්‍යයි. ඒ වෙනුවෙන් ගොඩනඟා තිබෙන වේදිකාව මාලිමාව.” යැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කරයි.

ඇය මේ බව අවධාරණය කළේ “ගැහැනු අපි එක මිටට මාලිමාවට” යන තේමාවෙන් (17) පැවති මාතලේදි දිස්ත්‍රික් කාන්තා සමුළුව අමතමිණි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය,

“රට පුරාම ගැහැනුන් අවදි වීමත් සංවිධානය වීමත් අපි දකිනවා. එය විශිෂ්ටයි. සති ගණන් මාස ගණන් ගෙයින් ගෙට ගොස් ඔබ සියලු දෙනා සමග සංවාද කර ඇතිවුණු පිබිදීමත් සංවිධානය වීමක් මුළු රට පුරාම තිබෙනවා. ගැහැනු අපි එක මිටට කියන තේමාවෙන් ජාතික ජන බලවේගය වටා එකතු වීමයි තිබෙන විශිෂ්ටත්වය. මේ රටට අවශ්‍ය පරිවර්තනයේ නායකත්වය ඔබ සියලු දෙනා ගන්නා බවයි මේ පෙන්නුම් කරන්නේ. වේදිකාවේ ඉන්න අතරේ ලැබුණු පණිවිඩ කිහිපයක් කෙරෙහි අවධානය යොමු කරමින් කතා කරන්න මම කල්පනා කළා. හඳුනා නොගත් මත්පෙති වර්ගයක් පානය කළ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාසලක පහ වසර සිසුන් සිවු දෙනෙක් ඇද වැටී රෝහල්ගත කර තිබෙනවා. අපේ ගුරුවරුන්ගෙන් විදුහල්පතිවරුන්ගෙන් පාසල ගැන අභිමානවත් විශ්වාසයක් අපි කාටත් තිබුණා. දරුවාගේ ආරක්ෂිතභාවය ගැන තිබූ ඒ විශ්වාසය විනාශ කරමින් යනවා. පාසල් තාප්ප කඩා වැටී දරුවන් මිය යනවා. පාසල තුළ දරුවන් සුරක්ෂිතයි කියන විශ්වාසය ගොඩනඟන්න නොහැකි වී තිබෙනවා. ගෙදර සාමදානයක් නැති මට්ටමට පවුල් සංස්ථාවත් කඩා වැටී තිබෙනවා. ආහාර සුරක්ෂිතතාව, සෞඛ්‍යය, අධ්‍යාපනය, යන සියල්ල අපට අහිමි වී තිබෙනවා. රෝහලකදී නිසි ලෙස ඖෂධ ලැබී නිරෝගී වීම ආශ්චර්යයක් බවට තිබෙන තැනට ඇවිල්ලා. මේ සමාජ ආර්ථික ක්‍රමය තුළ අපේ මනුෂ්‍යත්වය සහ ආදරණීය බැඳීම් ඛේදවාචකයක් වී තිබෙනවා.

මේ සමාජ ආර්ථික ක්‍රමය තුළ ගැහැනු පිරිමි අපි ඔක්කොම හිරවෙලා. උදේ සිට රෑවෙන තුරු අරගල කරන්නේ එදිනෙදා බිල් ටික ගෙවා, දරුවා පාසලට යවා, යන්තම් බෙහෙත් ටිකක් අරගෙන, හුස්ම අරගෙන ජීවත් වෙන්නයි. ඒ වෙනුවෙන් ගෙවල් ඇතුලේ මොන තරම් යුද්ධයක් කරනවාද? අවම වශයෙන් යහපත් නින්දක්වත් නැහැ. තමන්ගේ දරුවන්ට කන්න දෙන්න බෙහෙත් ටික ගන්න අතිශයින්ම අමාරු තීරණ ගන්න වෙනවා. ඇය ගැන තිබෙන වටිනාකම, අභිමානය නැති වෙන තීරණ ගන්න සිදුවී තිබෙනවා. රට අත්හැර රැකියා සොයාගෙන අම්මලාට තාත්තලාට යන්න සිදුවී තිබෙනවා. දරුවන් එක්ක කතා කරන්න අපිට වෙලාවක් නැහැ. දරුවෙක් පොඩි වරදක් කළත් දෙමාපියන්ට තරහා යනවා. බඩගින්නට කන්න, බෙහෙත් ටික ගන්න, යන්තම් දරුවන්ගේ අධ්‍යාපනය ලබාදෙන්න සහ බිල් ගෙවන්න ලොකු සටනක් කරන්න සිදුවී තිබෙනවා. ඊට එහා ජීවිතයක් ගැන කිසිසේත් හිතන්න බැහැ. මේ සමාජ ආර්ථික ක්‍රමය තුළින් විනාශ කර තිබෙන්නේ අපේ ආර්ථිකය විතරක් නොවෙයි, අපේ මනුෂ්‍යත්වයයි. අපේ බැඳීම්, ජීවිතවලට අර්ථයක් දෙන සම්බන්ධතාවල ගුණාත්මකභාවය නැතිකරලා, දෙමාපියන්ට දරුවන් එපා වෙලා. දරුවන්ට දෙමාපියන් එපා වෙලා. එකිනෙකාට, එකිනෙකා එපා වෙලා.

මානුෂීය සම්බන්ධතා මෙතරම් විනාශ කළ සමාජයක් දියුණුයි කියන්න පුළුවන්ද? මේ සමාජයේ රැකගන්න දේවල් ඉතිරි වී තිබෙනවා කියා කියන්න පුළුවන්ද? අපි ඉන්නේ ආර්ථිකය කඩා වැටීමක විතරක් නොවෙයි, සමස්ත ඛේදවාචකයකට මුහුණ දෙන්නේ, ඒ බව තේරුම්ගත් ගැහැනුන් ඉවසුවා ඇති, දැන් වෙනස් වෙන්න ඕනෑ. කියලා තීරණය කර අවසන්. මෙවැනි සමාජයක් අපි තවදුරටත් ඉවසිය යුතු නැහැ කියන අධිෂ්ඨානය අපි සියලු දෙනා තුළ තිබෙනවා. මේ තත්වය වෙනස් කරන්නයි, අපි සියලු දෙනා එක්වී සිටින්නේ. තවත් ආණ්ඩු වෙනස් කිරීමකට නොව බරපතළ සමාජ පරිවර්තනයකින් අපේ මනුෂ්‍යත්වය නැවත සොයා ගන්නයි සියලු දෙනා පෙළගැසී සිටින්නේ. අපේ මානව සම්බන්ධතාවලට නව ගුණාත්මක අර්ථයක් දෙන්න, මනුෂ්‍ය ගතිගුණවලට ප්‍රමුඛතාව දෙන්නයි අපි පෙළගැසෙන්නේ. ගැහැනු අපි තුළ පත්තිනි දේවිලා විතරක් නොවෙයි, කාලිත් ඉන්නවා. අපේ ඉවසීමේ සීමාව පැන්නාම කාලිත් එළියට පනිනවා. මේ ක්‍රමය තුළ තවදුරටත් අනාගතය ගැන බලාපොරොත්තුවක් නැහැ. දරුවන්ගේ අනාගතය ගැන බලාපොරොත්තුවක් නැහැ.

අපට අවශ්‍යයි අපේ දරුවන් වෙනුවෙන් සිහින දකින්න සහ ඒ සිහින සැබෑ කරගන්න පුළුවන් සමාජයක් හදන්න. ඒ සමාජය ගොඩනැගීමේ ඓතිහාසික වෙනස වෙනුවෙන් අපි හැම එකතුවී සිටිනවා. කාන්තාවන් තුළ තිබෙන නායකත්වය, දක්ෂතාවය, එඩිතරභාවය රට වෙනුවෙන් කැප කරන්නයි මේ කාන්තාවන් සංවිධානය වෙන්නේ. ගැහැනුන්ගේ අදහස්වලට ඇහුම්කන් දෙන වේදිකාවක් අපේ සමාජයට අවශ්‍යයි. ඒවාට ඇහුම්කන් දෙන සමාජයක්, දේශපාලන නායකත්වයක් අපට අවශ්‍යයි. ඒ වෙනුවෙන් ගොඩනඟා තිබෙන වේදිකාව මාලිමාවයි. අපේ වටිනාකම, අපේ සතුටට ඉඩක් තිබෙන සමාජයක් බිහිකරන්න නම් බලය අවශ්‍යයි. මීළඟට ජනාධිපති වෙන්නේ අනුර දිසානායක සහෝදරයා බව සමාජය පිළිඅරගෙන අවසන්. මීළඟ ආණ්ඩුව ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් බව සමාජය පිළිගෙන අවසන්. එතැනින් එහා නිදහස් සමාජයක්, ගැහැනුන්ට නිදහසේ ඉන්න පුළුවන් රටක් බිහිකිරීමේ වගකීම අපි සියලු දෙනාටම තිබෙනවා. සතුටින්, සාමදානයෙන්, ආදරයෙන් පිරුණු සමාජයක් ගොඩනඟන්න අපි සියලු දෙනාම එකතු වෙමු.”

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?