Latestදේශීය

තැඹිලි ගෙඩියක් රුපියල් 2000යි

අපනයනය ඉලක්ක කර ගනිමින් තැඹිලි වගාකිරීමේ දෙවන ගම්මානය මුරුතවෙල රළුව ගම්මානය ආශ්‍රිතව ස්ථාපිත කර තිබේ.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් එම වැඩසටහන ඊයේ (25) සිදුකෙරිණි.

තැඹිලි අපනයනය සඳහා වගා කිරීමේ පළමු ගම්මානය පහළ මුරුතවෙලින් පසුගිය වසරේ දී ආරම්භ වූ අතර මෙම ගම්මාන දෙක තුළ තැඹිලි පැළ 10,000ක් රෝපණය කිරීමට නියමිතය.

මේ වනවිට ශ්‍රී ලංකාවේ තැඹිලි සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විශාල ඉල්ලුමක් පවතින බවත්, ඊට අමතරව තවත් රටවල් ගණනාවකින් අපේ රටේ නිෂ්පාදනය කෙරෙන තැඹිලි සඳහා ඉහළ ඉල්ලුමක් ඇති බවත් කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කරයි.  

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට මෙරටින් සතියකට තැඹිලි ගෙඩි 252,000ක් පමණ අපනයනය කෙරේ.

තැඹිලි අපනයනය කිරීමෙන් 2022 දී රුපියල් බිලියන දෙකක ආදායමක් උපයා ඇති අතර, පසුගිය වසරේ දී වසරේදී (2023) අපේක්ෂිත ආදායම රුපියල් බිලියන හයක් විය.

තැඹිලි ශ්‍රී ලංකාවට ආවේණික බෝගයක් වන අතර රටවල් ගණනාවක් තැඹිලි වගාකිරීමට උත්සාහ කළ ද ශ්‍රී ලංකාවේ තැඹිලි තරම් උසස් රසයක් නොමැතිවීම නිසා එම උත්සාහයන් අසාර්ථක වී තිබේ. 

මේ නිසා තවමත් මෙරට තැඹිලි සඳහා ලෝක වෙළෙඳපොළ තුළ පවතින ඒකාධිකාරය ශ්‍රී ලංකාව සතුව පවතී. 

මෙම තත්ත්වයෙන් උපරිම ඵල නෙළා ගැනීම සඳහා තැඹිලි වැවිලි බෝගයක් ලෙස මින් ඉදිරියට වගා කිරීමටත් විශේෂයෙන් මුරුතවෙල ප්‍රදේශයේ ගම්මාන කිහිපයක් ඒ සඳහා යොදා ගෙන තිබේ.

ඒ අනුව දෙවන තැඹිලි වගා ආදර්ශ ගම්මානය වශයෙන් රළුව ගම්මානයේ වගා කටයුතු සඳහා තැඹිලි පැළ 1,600ක් ඊයේ අමාත්‍යවරයා අතින් ගොවි ජනතාව වෙත බෙදා දුන්නේය. 

එම අවස්ථාවට පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති මාධවී හේරත් මහත්මිය ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

“ලෝකයේ රසවත්ම තැඹිලි ශ්‍රී ලංකාවේ තැඹිලි වේ. එම නිසා Sri Lanka Sweet Coconut සන්නාමය සහිතව ඉදිරියේ දී මෙරට තැඹිලි ලොව තුළ ජනප්‍රිය කරවීම සඳහා පියවර ගන්නවා. ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙල සකසන ලෙස පොල් සංවර්ධන මණ්ඩලයට හා පොල් සංවර්ධන අධිකාරියට ලබා දීලා තියෙන්නේ. එමෙන්ම දැනට එක්සත් අරාබි එමීර් රාජ්‍ය ඇතුළු රටවල් ගණනාවක අප රටේ තැඹිලි අලෙවි වන්නේ ගෙඩියක් රුපියල් 1,500 සිට 2,000 දක්වා වැනි මුදලකටය. අපේ රටේ තැඹිලි සඳහා ලොව කිසිදු රටකින් මෙතෙක් තරඟයක් එල්ල වී නැත. දැන් තරගය පවතින්නේ අප රටේ ව්‍යාපාරිකයින් අතරය. වසරකට තැඹිලි කන්ටේනර් 200ක් ඩුබායි වෙළෙඳපොළට අපනයනය කරනවා. දැනට අප රටට තැඹිලි අපනයනයෙන් එක් ගෙඩියකට ලැබෙන්නේ රුපියල් 1,000ක් වැනි අඩු මුදලකි. මෙම ප්‍රමාණය රුපියල් 2,000ක මට්ටමෙන් පවත්වාගෙන යාමට අපනයනකරුවන් එකඟතාවය පළ කළා. ඉදිරියේ දී අප රටේ ප්‍රධාන අපනයන බෝගය තැඹිලි බවට පත්වීම ඒකාන්තයි. දැනටත් ලෝකයේ ඇති ඉහළ ඉල්ලුමෙන් සියයට 02ක්වත් අපිට දෙන්න බැහැ. ඒ නිසා තැඹිලි වගාව රටපුරා ව්‍යාප්ත කිරීමට පියවර ගන්නා ලෙස තමන් පොල්  වගා කිරීමේ මණ්ඩලයට උපදෙස් දුන්නා…”

@sinhala.adaderana.lk

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?