Latestදේශීය

වසර 10 – 12 දක්වා ඇදෙන සිවිල් නඩු පිළිබඳ නීතිය හා යුක්තිය පසිඳලීම ගමට ගෙන යා යුතු බවට සංකල්පයක් තිබෙනවා – හේමක සේනානායක

මේ වනවිට වසර 10 – 12ක් පමණ දක්වා ඉදිරියට ඇදී යමින් පවතින සිවිල් නඩු පිළිබඳව නීතිය පසිඳලීමේ ක්‍රියාවලිය ගම් මට්ටම දක්වා විමධ්‍යගත කළ යුතු බවට නූතන ලෝකයේ සංකල්පයක් ඇති බවත් එවැනි විමධ්‍යගත කිරීම්වලට විරුද්ධ වන්නේ නම් මුලින් ම විරුද්ධ විය යුතු වන්නේ පළාත්බද මහාධිකරණ පිහිටුවීම සම්බන්ධයෙන් බවත් අවධාරණය කරනු ලැබීය.

ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානය පවත්වන ලද මාධ්‍ය හමුවකදී නීතිඥ හේමක සේනානායක මෙම අදහස් ප්‍රකාශ කළ අතර එහිදී දැක්වූ සම්පූර්ණ අදහස් පහත පළ වේ.

ලාල් කාන්ත සහෝදරයා පැහැදිලි කිරීමට උත්සාහ කළේ, බලය බෙදීමේ සංකල්පයේ ගැඹුරු තත්වයක්. ලංකාවේ බලය බෙදීම පිළිබඳව අධිකරණය ගැන පමණක් නොවෙයි, අපි දශක ගණනාවක සිට සාකච්ඡා කරමින් යනවා. විජේවීර සහෝදරයා උතුරු නැගෙනහිර තිබෙන ගැටුම් සම්බන්ධයෙන් තිබෙන විසඳුම් මොනවාද යන්න “ඊළාම් අරගලයට විසඳුම්” පොතේ කරුණු දක්වා තිබෙනවා. බලය බෙදීම පිළිබඳව 1988 සිට සාකච්ඡා කරමින් යනවා. ඒකට විසඳුමක් ලෙස තමයි පළාත් සභා හඳුන්වා දුන්නේ. රටක ජනතාවගේ පරමාධිපත්‍ය බලය ඔවුන් සතු වෙනවා. එය අන්සතු කිරීමක් කරන්නට බැහැ. පරමාධිපත්‍ය බලය විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණ බලය හරහා ක්‍රියාත්මක වෙනවා.

අධිකරණවල යුක්තිය පසිඳලීම සඳහා ගතවන කාලය සහ ඒ සඳහා වන මූල්‍යමය වියදම් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ නීතිඥවරු හැටියට අපි අවධානය යොමුකොට තිබෙනවා. අපේ රටේ බෙදුම් නඩුවක්, ඉඩම් නඩුවක් දැම්මොත් පරම්පරාවකටම නඩු කියන්න සිදුවෙනවා. මෙතරම් කාලයක් ගත වෙන්නේ ඇයි? මේ සම්බන්ධයෙන් අපි ළඟදීම බලාපොරොත්තු වෙනවා නඩු කීමේ කාර්යයන් වඩා කාර්යක්ෂම කිරීමේ යෝජනාවන් එළිදැක්වීමට. අධිකරණවල කාර්යාල පහසුකම් නැහැ, සේවක පහසුකම් පිළිබඳ ගැටලු තිබෙනවා. ස්ටැනෝ ග්‍රැෆර්ස්ලගේ, පිස්කල්ලාගේ විශාල අඩුපාඩුවක් තිබෙනවා. දශක ගණනාවක් පැරණි 1977 හදන ලද බෙදුම් නඩු නීතිත් එක්ක 2024දීත් වැඩකරනවා. බෙදුම් නඩුවල අඬබෙර ගැසීම් සිදුවෙනවා. මැෂින් මාස ගණනාවක් තිස්සේ කැඩී තිබෙනවා. මේ හේතු නිසා මුදල් වියදම් වීමක් සහ කාලය වැයවීමක් සිදුවී තිබෙනවා. සමහර නඩු සහ සමහර නීති තත්වයන් කොළඹම පමණක් අසනවාය කියන තත්වයක් හේතුකොටගෙන පුද්ගලයන්ට සිදුවන අලාභය සහ කාලය ගතවීම දැඩිලෙස උග්‍රවී තිබෙනවා. පළාත්බද මහාධිකරණ පිහිටුවීමට පෙර බලය තිබුණේ දිසා අධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණවලට. අභියාචනා කිරීමේ බලය අධිකරණයටත් ඉන් ඉහළට ශ්‍රේෂ්ඨාධිකරණයටත් බලය තිබුණා. නඩුවල ප්‍රමාදය සමහර අවස්ථාවලදී අවුරුදු දහය, දොළහ දක්වා ඉදිරියට යන්න පටන් ගත්තා. මේක දැකපු නීති ක්ෂේත්‍රයේ අය තීරණය කළා නීතිය හා යුක්තිය පසිඳලීමේ ක්‍රමවේදය ගමට ගෙනයා යුතුයි කියලා.

ලාල් කාන්ත සහෝදරයා වේදිකාවේ ඉදිරිපත් කළේ දීර්ඝ කාලයක් මේ රටේ සිදුවූ දෙයක්. ප්‍රාදේශිකව නීතිය අහන එක වැරදියි නම්, මුලින්ම මේ අය විරුද්ධ වෙන්න තිබුණේ පළාත් බද මහාධිකරණය පිහිටුවන අවස්ථාවේ. අධිකරණයක නීතිය ක්‍රියාත්මක වීම ප්‍රමාද වෙන තරමට, යුක්තිය ඉෂ්ට වීමත් ප්‍රමාද වෙනවා. මේ නිසා පළාත් බද මහාධිකරණ පිහිටුවීම සිදුවුණා. පළාත්බද මහාධිකරණ පිහිටුවීම නිසා නඩු ඇසීමේදී සිදුවන ප්‍රමාදය විශාල ලෙස අඩු වුණා. ඒ වගේම පළාත් බද මහාධිකරණවල සිවිල් අභියාචනා මහාධිකරණ පිහිටුවබමින් බලය ලබාදීමක් සිදුකරනු ලැබුවා. කොළඹට ඒකාග්‍රවී තිබුණු බලය ගමට යන්න පටන් ගත්තා. ඒ නිසාම අභියාචනය ඇසීම සඳහා අනුරාධපුර සිට පැමිණි පුද්ගලයා හෝටලයක නතරවෙලා දවස් ගණන් ගතකරමින් සිට යන එක නතර වුණා. සමථ මණ්ඩලය හරහාත් සිදුවන්නේ මේ ආකාරයේම ක්‍රියාවලියක්.
ඉන්දියාවේ පංචායත් ක්‍රමවේදය ඉතාමත්ම සාර්ථකය කරගෙන යනවා. මේ නිසා අපි විශ්වාසය තබනවා ප්‍රාදේශීකව යුක්තිය පසිඳලීමේ වඩාත් වැදගත් පැහැදිලි ක්‍රමවේදයකට යන්න. මූලික අයිතිවාසිකම් නඩුවක් ඇසීමේ බලය තිබෙන්නේ කොළඹට පමණයි. මේ බලය පළාත් බදව යන්න ඕන කියන සාකච්ඡාවක් තිබෙනවා. පුරාණයේ ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රාදේශිකව කටයුතු කරනු ලැබුවා. මේ යුක්තිය පසිඳලීම ප්‍රාදේශිකව ගමන් කිරීම තුළිනුත් ඒ අයට වාසියක් සිදුවෙනවා. නඩුවකදී පොලිස් පැමිණිල්ලක් ගන්න විදිහක් නැහැ, සැලැස්මක් ගන්න තේරුමක් නැහැ. නඩුවක් කියන්න ගියාම පුද්ගලයින් විශාල දුකක් විඳිනවා. ඒ නිසාම මිනිස්සු අධිකරණයට යොමුවීමේ ගැටලුවක් පැන නැගී තිබෙනවා. මේ අනුව බලය බෙදීමක් සිදුවෙන්න ඕන.

අද සොයන්න ඕන මෙවැනි ප්‍රශ්න නොවෙයි. ඩයනාගේ නඩුව පිළිබඳ තීන්දුවක් දෙන්න කොපමණ කාලයක් ගත වුණාද? විදේශික කාන්තාවක් රටේ මන්ත්‍රීවරියක් වුණේ කොහොමද? එයා ජාතික ලැයිස්තුවට වැටුණේ කොහොමද? ජනාධිපතිවරයා විදේශික කාන්තාවක් රටේ රාජ්‍ය ඇමතිවරයෙක් කළේ කෙසේද? ඇය පක්ෂයක ලේකම් කෙනෙක් වුණේ කෙසේද? ඇය මේ රට තුළ තිබෙන පාර්ලිමේන්තු වරප්‍රසාද, ඇමතිවරියකගේ වරප්‍රසාද භුක්ති වින්දේ කොහොමද? මේව තමයි බරපතළ ප්‍රශ්න. “නයෙක් රෙද්ද අස්සේ දමාගෙන කනව කනවා” කියන එක නොවයි සිදුවිය යුත්තේ. සමගි ජන බලවේගය විසින් ඇය විදේශ කාන්තාවක් බව දැන දැනම පාර්ලිමේන්තු අසුනක් දුන්නේ කොහොමද? ජනාධිපතිවරයා විසින් රටට සංචාරය සඳහා පැමිණි කාන්තාවක් රටේ සංචාරක රාජ්‍ය ඇමතිනිය බවට පත්කොට තිබෙනවා. මේක ඉතාම බරපතළ, අති භයානක හා හෙළා දැකිය යුතු තත්වයක්. මෙය ඔබෙත් මගෙත් ජීවිත පිළිබඳ ප්‍රශ්නයක්. ජාතික ජන බලවේගයේ නීතිඥවරුන් හැටියට මගේ යෝජනාව වන්නේ මෙවැනි දේ ගැන අවධානය යොමු කළ යුතුයි.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *