Latestවිදේශීය

වායු කපොල්ලකට අසුවී බ්‍රිතාන්‍ය ජාතිකයෙක් මියයයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා පියාසර කරමින් තිබූ සිංගප්පූරු ගුවන් සේවයට අයත් එස්.කිව් 321 ගුවන්යානය ඉහළ අහසේදි වායු රික්තකයකට හසුවීමෙන් එක් අයෙකු මියගොස් තවත් 71 දෙනෙකු තුවාල ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

සිදුවීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කරන බව සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලෝරන්ස් වොන්ග් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

එම සිදුවීමෙන් පසුව යානය හදිසියේ ගොඩබැස්වූ බැංකොක් ගුවන්තොටුපොළ වෙත සිංගප්පූරුවේ ප්‍රවාහන අමාත්‍යාංශය විසින් විමර්ශන ආරම්භ කිරීම සඳහා  නිලධාරීන් කණ්ඩායමක් යවනු ලැබ ඇති බවත් ඔවුන්ට සහාය වීම සඳහා ඇමෙරිකාවද නියෝජිතයන් පිරිසක් යවා ඇති බවත් සිංගප්පූරු බලධාරීහු ප්‍රකාශ කළහ.

මියගිය 73 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයා හෘදයාබාධයකින් මියයන්නට ඇති බව සැකකරෙන බවත් තුවාල ලැබූ මගීන්ගෙන් සය දෙනෙකුගේ තත්වය බරපතල බවත් සිංගප්පූරු බලධාරීහු ප්‍රකාශ කළහ.එසේම තවත් 39 කුගේ තත්වය බරපතළ නොවූවත් ඔවුන් රෝහල්ගතව නේවාසිකව ප්‍රතිකාර ගැනීමට සිදුවන තුවාල ලබා ඇති බවත් ඔවූහු පෙන්වා දුන්හ.

මගීන් 211ක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 18 දෙනෙකු සමඟ ලන්ඩනයේ හීත්‍රෝ ගුවන් තොටුපොළෙන් ගමන් ඇරඹි එම ගුවන් යානය පැය 10 කට පමණ පසු වායු රික්තකයට හසුවීම හේතුවෙන් විනාඩි 3 ක් තුළ අඩි 6000 ක් පහළට පැමිණ ඇති බවත් එහිදී එක් අයෙකු මියගොස් තවත් 71 දෙනෙකු තුවාල ලබා ඇති බවත් චන්ගි ගුවන් තොටුපොළ බලධාරීහු පැවැසූහ.

අනතුර හේතුවෙන් යානයේ අභ්‍යන්තරයට හානි සිදුවී ඇති බවත් ඒ හේතුවෙන් තායිලන්තයේ බැංකොක් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට යානය හදිස්සියේ ගොඩ බැස්වීමට සිදුවූ බවත් ගුවන් තොටුපොළ බලධාරීහු සඳහන් කළහ.බරපතළ තුවාල නොලැබූ මගීන් 143 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් වෙනත් ගුවන් යානයක් මගින් සිංගප්පූරුව වෙත රැගෙන ආ බවද සිංගප්පූරු බලධාරීහු පැවැසූහ.

@ලංකාදීප

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?