Latestක්‍රීඩාදේශීය

LPL වැඩිම මිළ මතීෂ පතිරණට

(ප්‍රින්ස් ගුණසේකර)

ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසියේදී වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ අමෙරිකානු ඩොලර් 120,000කට (ශ්‍රී ලංකා රුපියල් තුන් කෝටි හැට ලක්ෂයකට) අලෙවි වෙයි. එල්පීඑල් තරග ඉතිහාසයේ වැඩිම මිලකට අලෙවි වූ මතීෂ පතිරණ මිල දී ගත්තේ කළම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම විසිනි. මෙයට පෙර පසුගිය එල්පීඑල් තරගාවලියේදී වැඩිම මිලකට අලෙවි වී තිබුණේ වේග පන්දු යවන ඩිල්ෂාන් මධුසංඛය. ඔහු කොළඹ පිල අමෙරිකානු ඩොලර් 92,000කට (ශ්‍රී ලංකා රුපියල් දෙකෝටි හැත්තෑ දහසකට) එවර මිල දී ගත්තේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් තවමත් විස්සයි20 තරග 6කට පමණක් සහභාගිවී ඇති 21 හැවිරිදි මතීෂ පතිරණ ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ එම්.එස්. දෝනිගේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ආකර්ෂණීය ක්‍රීඩකයකු බවට පත් විය. ඔහු දැනට විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා පිල සමඟ අමෙරිකාවේ සිටී.

5 වැනි වරටත් පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ඊයේ කොළඹ තරු පහේ හෝටලයකදී පැවති අතර, දෙවැනි වැඩිම වටිනාකමක් ඇතිව අලෙවි වූයේ ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩක ඉසුරු උදාන වේ. ඉසුරු අමෙරිකානු ඩොලර් 100,000කට (ශ්‍රී ලංකා රුපියල් කෝටි 3කට) ගෝල් මාවලර්ස් කණ්ඩායම මිල දී ගත්තේය.

තෙවැනි වැඩිම මුදලට මිල දී ගනු ලැබූ ශ්‍රී ලංකා විස්සයි20 හිටපු නායක දසුන් ශානක අමෙරිකානු ඩොලර් 85,000කට (ශ්‍රී ලංකා රුපියල් දෙකෝටි පනස්පන් ලක්ෂයකට) බී – ලව් කැන්ඩි පිල මිල දී ගත්තේය. මේ වෙන්දේසියේදී වැඩිම මුදලකට අලෙවි වූ විදෙස් ක්‍රීඩකයා බවට පත්වූයේ ඇෆ්ගනිස්තානයේ කරීම් ජැනට් වන අතර, ඔහු අමෙරිකානු ඩොලර් 80,000කට (ශ්‍රී ලංකා රුපියල් දෙකෝටි හතළිස් ලක්ෂයකට) දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායම මිල දී ගනු ලැබිණි. දෙවැනි වැඩිම වටිනාකමක් වූ විදෙස් ක්‍රීඩකයා වූ දකුණු අප්‍රිකාවේ රිලී රොසව් අමෙරිකානු ඩොලර් 60,000කට (ශ්‍රී ලංකා රුපියල් එක්කෝටි අසූ ලක්ෂයකට) ජැෆ්නා කිංග්ස් පිල මිල දී ගත්තේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ද්විත්ව ශතකයක් ලබා වාර්තා පිට වාර්තා පිහිටවූ පැතුම් නිශ්ශංකව මිල දී ගැනීමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් නොවීම කැපී පෙනෙන සිදුවීමකි. ඩොලර් 40,000 ලංසුව යටතේ පැතුම් ඉදිරිපත් වුවද ඔහු මිල දී ගැනීමට සියලු කණ්ඩායම් මැළිකමක් දැක්වීම ප්‍රශ්නාර්ථයක් වූවේය. එහෙත් දෙවැනි වටයේදී පැතුම් අමෙරිකානු ඩොලර් 40,000කට (ශ්‍රී ලංකා රුපියල් එක්කෝටි විසි ලක්ෂයකට) මිල දී ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ඉදිරිපත් විය. ප්‍රහාරාත්මක පිතිකරු කුසල් ජනිත් පෙරේරාද පැතුම් මෙන්ම මිල දී ගැනීමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් නොවීය. එමෙන්ම මාටින් ගප්තිල්, ලිටන් දාස්, මුෂ්ෆිකර් රහීම්, ලසිත් ඇඹුල්දෙණිය හා විශ්ව ප්‍රනාන්දු වැනි ක්‍රීඩකයන් මිල දී ගැනීමට කණ්ඩායම් පළමු වටයේදී මැළිකමක් දැක්විය.

කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රයේ පැවති මේ ක්‍රීඩක වෙන්දේසියේදී දේශීය ක්‍රීඩකයන් 154ක් සහ විදේශීය ක්‍රීඩකයන් 266 දෙනෙක් වශයෙන් මුළු ක්‍රීඩකයන් 420 දෙනෙකු ඉදිරිපත් කළ නමුත් ඉන් 114ක් පමණක් කණ්ඩායම් 5 නිලධාරීන් විසින් තෝරා ගනු ලැබූහ.

ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සාමාජික එල්පීඑල් තරගාවලි අධ්‍යක්ෂ සමන්ත දොඩන්වෙල මහතාගේ අදහස් දැක්වීමෙන් අනතුරුව වෙන්දේසිය ප්‍රකට ක්‍රිකට් විචාරක චාරු ශර්මා මහතා මෙහෙය විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා, උප සභාපතිවරුන් වන ජයන්ත ධර්මදාස, රවීන් වික්‍රමරත්න, ලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත, ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා, භාණ්ඩාගාරික සුජීව ගොඩලියැද්ද යන මහත්වරුන් ඇතුළු ක්‍රිකට් විධායක කමිටු සාමාජිකයන් මේ අවස්ථාවට එක්ව සිටියහ.

ඊයේ අමෙරිකානු ඩොලර් වටිනාකමින් අලෙවි වූ ක්‍රීඩකයන් මෙසේය:

ගෝල් මාවල්ස් – ඉසුරු උදාන (100,000), ජනිත් ලියනගේ (36,000), ඩ්වයින් ප්‍රිටෝරියස් (40,000), සහන් ආරච්චිගේ (20,000), ළහිරු කුමාර (30,000), ප්‍රභාත් ජයසූරිය (10,000), ෂෝන් විලියම්ස් (20,000), සහීර් ඛාන් (10,000), මල්ෂ තරුපති (25,000), සදීෂ රාජපක්ෂ (5,000), මොහොමඩ් ශිරාස් (10,000), ධනංජය ලක්ෂාන් (10,000), පසිඳු සූරියබණ්ඩාර (5,000), කවිඳු නදීෂාන් (5,000), මුජීබ් උර් රාහ්මාන් (50,000), චමිඳු විජේසිංහ (5,000), ජෙෆ්රි වැන්ඩර්සි (30,000), යූරි කොත්තිගොඩ (5,000).

කලම්බු ස්ට්‍රයිකර්ස් – මතීෂ පතිරණ (120,000), බිනුර ප්‍රනාන්දු (55,000), චාමික ගුණසේකර (10,000), දුනිත් වෙල්ලාලගේ (50,000), රාමනුල්ලා ගුර්බාස් (50,000), ටස්කින් අහමඩ් (50,000), ඇන්ජලෝ පෙරේරා (20,000), ෂෙවෝන් ඩැනියල් (15,000), ගරුක සංකේත් (20,000), ෂෙහාන් ප්‍රනාන්දු (5,000), කෙවින් බණ්ඩාර (5,000), ඉසිත විජේසුන්දර (5,000), මුහමද් වසීම් (20,000), අලා ගසාන්ෆාර් (10,000).

බී-ලව් කැන්ඩි – දසුන් ශානක (85,000), කසුන් රජිත (26,000), අෂේන් බණ්ඩාර (28,000), දිනේෂ් චන්දිමාල් (40,000), රමේෂ් මෙන්ඩිස් (10,000), දිමුත් කරුණාරත්න (10,000), මොහොමඩ් හස්නේයින් (30,000), පවන් රත්නායක (5000), චමත් ගෝමස් (5000), චතුරංග ද සිල්වා (30,000), කවිඳු පතිරත්න (5,000), ලක්ෂාන් සඳකැන් (20,000), සම්මු අශාන් (5000), අසාම් ඛාන් (50,000), අගා සල්මාන් (10,000), මොහොමඩ් අලී (10,000).

දඹුල්ල තන්ඩර්ස් – කරීම් ජැනට් (80,000), හස්රාටුල්ලා සසායි (50,000), ළහිරු උදාර (14,000), අකිල ධනංජය (20,000), ධනුෂ්ක ගුණතිලක (22,000), ඉෆ්තිකාර් අහමඩ් (50,000), නුවනිඳු ප්‍රනාන්දු (34,000), නුවන් ප්‍රදීප් (36,000), රනේෂ් සිල්වා (5,000), සොහාන් ඩි ලිවේරා (5,000), අසේල ගුණරත්න (10,000), ළහිරු මදුශංක (20,000), රුසඳ ගමගේ (5,000), මිතුන් ජයවික්‍රම (5,000), අයන සිරිවර්ධන (5,000), සොනාල් දිනූෂ (6,000), හයිදර් අලී (25,000), සංතුෂ් ගුණතිලක (6,000).

ජැෆ්නා කිංග්ස් – රිලී රොසෝව් (60,000), ෆේබියන් ඇලන් (32,000), ධනංජය ද සිල්වා (50,000), ප්‍රමොද් මදුෂාන් (20,000), ජේසන් බෙයර්නඩ්‍රෆ් (50,000), අසිත ප්‍රනාන්දු (40,000), විෂාද් රන්දික (5,000), ළහිරු සමරකෝන් (13,000), එෂාන් මාලිංග (5,000), අලෙක්ස් රොස් (20,000), අහන් වික්‍රමසිංහ (5,000)

වනුජ සහන් (10,000), මොර්වින් අබිනාෂ් (5,000), අරුල් ප්‍රගාසම් (5,000), පැතුම් නිශ්ශංක (40,000), නිශාන් මදුශ්ක 10,000), තීෂන් විතූෂාන් (5,000), නිසල තාරක (5,000).

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *