Latestක්‍රීඩා

තියුණු සටනකින් පසු පකිස්ථානය පරදා ඇමරිකාව ජයගනී

පාකිස්තාන කණ්ඩායම සමඟ පැවති විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 11 වැනි තරගය සුපිරි ඕවර සටනකින් පසු ලකුණු 5කින් ජය ගැනීමට සත්කාරක අමෙරිකාව සමත් විය.

අමෙරිකාව මේ තරගාවලියේ පිට පිට වාර්තා කළ දෙවැනි ජය මෙය වන අතර, අයිසීසී පූර්ණ සාමාජික රටකට එරෙහිව වාර්තා කළ තෙවැනි විස්සයි20 ජයග්‍රහණය ද විය. මේ තරගාවලියට පෙර ඔවුන් බංග්ලාදේශයට එරෙහිව විස්සයි20 තරග දෙකක් ජය ගැනීමට සමත් විය.

ඩලස්හිදී ඊයේ පැවති මේ තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන පිල කඩුලු 7ක් දැවී ලකුණු 159ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අමෙරිකාව ඕවර 20 අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 159 රැස් කිරීමට සමත් විය.

ඒ අනුව තරගයේ සුපිරි ඕවරය ක්‍රියාත්මක කළ අතර එහිදී පළමුව පන්දුවට පහරදුන් අමෙරිකාව කඩුල්ලක් දැවී ලකුණු 18ක් රැස් කළේය. පිළිතුරු ඕවරය ක්‍රීඩා කළ පාකිස්තානයට කඩුල්ලක් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 13ක් පමණි.

අමෙරිකානු පිළිතුරු ඉනිමට වේගවත් ආරම්භයක් දුන් නායක මොනාන්ක් පටෙල් පන්දු 38කින් ලකුණු 50ක් රැස් කළේ හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟිනි. ආරොන් ජෝන්ස් පන්දු 26කින් නොදැවී ලකුණු 36ක් සහ ඇන්ඩ්රිස් ගෝස් පන්දු 26කින් ලකුණු 35ක් ඉනිමට එක් කළහ.

පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන ඉනිමේ මුල් කඩුලු 3 ලකුණු 26ක් තුළ බිඳ වැටුණු අතර, ආරම්භක පිතිකරු නායක බාබර් අසාම් සමඟ එක්වු අංක 5 පිතිකරු ශදාබ් ඛාන් පන්දු 48කින් ලකුණු 72ක සබඳතාවක් පිහිටුවමින් ඉනිම ගොඩනැඟීය. පන්දු 43කින් ලකුණු 44ක් රැස් කළ අසාම් දැවී යෑමෙන් එම සබඳතාව නිමා වූ අතර, වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ශදාබ් පන්දු 25කින් ලකුණු 40ක් රැස් කළේ හතරේ පහරක් සහ හයේ පහර 3ක් සමඟිනි. ශහීන් ෂා අෆ්රිඩි පන්දු 16කින් වේගවත් ලකුණු 23ක් ඉනිමට එක් කරමින් කණ්ඩායම ලකුණු 159 සීමාවට රැගෙන ගියේය. පන්දු යැවීමේදී නොස්තුෂ් කෙන්ජිගේ කඩුලු 3ක් සහ සෞරබ් නේත්‍රවල්කාර් කඩුලු 2ක් දවා ගත්හ.

පාකිස්තානය – 159/7 (ඕවර 20) බාබර් අසාම් 44, ශදාබ් ඛාන් 40, ශහීන් ෂා අෆ්රිඩි නොදැවී 23 (නොස්තුෂ් කෙන්ජිගේ 30/3, සෞරබ් ත්‍රවල්කාර් 18/2)

අමෙරිකාව – 1593 (ඕවර 20) මොනාන්ක් පටෙල් 50, ආරොන් ජෝන්ස් නොදැවී 36, ඇන්ඩ්රිස් ගෝස් 35

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?