Latestදේශීය

උද්දික ප්‍රේමරත්න අත්අඩංගුවට?

විමල් වීරවංසගේ පක්ෂ සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න මහතා, සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම සමග එක්ව සිය මෝටර් රථයට වෙඩි තබාගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන කටයුතුවලින් අනතුරුව හිටපු මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

මෙම වෙඩි තැබීම උද්දික ප්‍රේමරත්නගේ අනුදැනුම මත සිදුවූයේ නම් කුමන්ත්‍රණය කිරීම, රජය සහ පොලිසිය නොමඟ යැවීම ඇතුළු චෝදනා රැසක් ඔහුට එල්ල වන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියි.

මේ වනවිට සිදුකර ඇති විමර්ශනවලදී හෙළි වී ඇති අන්දමට, අනුරාධපුර සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම හිටපු මන්ත්‍රීවරගේ මෝටර් රථයට වෙඩි තැබීමට පෞද්ගලිකවම පැමිණ ඇත.

වෙඩි ප්‍රහාරයෙන් පසුව ඒ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකර ඇත්තේද සංජීව මහනාම විසින් බවද මේ වනවිට හෙළි වී තිබේ.

මෙම වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ සහකාර පොලිස් අධිකාරි සිය මෝටර් රථයෙන් පැමිණෙන අයුරු සහ පිටව යන අයුරු සීසීටීවී කැමරාවලින් අනාවරණය වී ඇති බවද පොලිසිය පවසයි.

මේ වනවිට සංජීව මහනාම සිය බිරිඳ සහ දරුවන් සමග මැලේසියාවට පලාගොස් සිටියි. සැකකාර පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසියේ සහාය ලබාගැනීමටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටියි.

ඉකුත් 2023 වර්ෂයේ සැප්තැම්බර් මස 17 වැනිදා රාත්‍රියේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න ගමන් ගත් මෝටර් රථයට වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කර තිබිණි.

මූලාශ්‍ර දිවයින

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *