Latestදේශීය

ඇත්තටම ආරංචිය සුබද? සර්වජන බලය රනිල්ගෙන් අසයි

කාන්තා සවිබල ගැන්වීමේ පනත, ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳව කෙටුම්පත හා ජනාධිපතිවරයා ගෙන යන ව්‍යාජ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපෘතිය පිළිබඳව සර්වජන බලය දේශපාලන එකමුතුවේ මතය ඉදිරිපත් කිරීම හා ජනතාව දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාව සර්වජන බලය මුලස්ථානයේදී පැවැත්විණ.

මේ සඳහා සර්වජන බලය එකමුතුවේ විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී යුතුකම සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග, මව්බිම ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක හේමකුමාර නානායක්කාර, පිවිතුරු හෙල උරුමයේ හිටපු පළාත් සභා මන්ත්‍රී යසපාල කෝරලගේ යන මහත්වරුන් සහභාගී වූහ. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග අදහස් දක්වමින් ”ආරංචිය සුබයි” ලෙස සදහන් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජාතිය අමතා හෙට දින සිදු කිරීමට නියමිත කතාව හුදෙක් තවත් එක් රැවටීමක් බව ‘ප්‍රකාශ කළේය.

” අපිට තියෙන දත්ත අනුව නම් කිසිම සුබක් නැහැ. හැබැයි බොරුවට සුබයි කියනවා නම් පාරේ පෝසටර් ගහන්නේ නැතුව ලංකාවේ කරන නිෂ්පාදන මත පටවපු වැට් බදු ඉවත් කරන්න. අද වන විට ශ්‍රී ලංකාව ගෙවීම් පැහැර හැර ඇති විදේශීය ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන පහයි දශම අටක්. අප සතු ඇති සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන පහයි දශම හතරක්. එතකොට ගෙවීම් පැහැර හැර ඇති ණය ප්‍රමාණයට වඩා අඩුයි අපේ සමස්ත සංචිත. ඒ පහයි දශම හතරෙත් තියෙනවා චීනය විසින් ලබා දුන් විශේෂ බිලියන එකයි දශම පහක තැන්පතුවක්. ඒක අපේ රජයට අවශ්‍ය විදියට වියදම් කරන්න බැහැ. චීන රජයේ අනුමැතිය ඇතිව තමයි එය වියදම් කරන්න ඕන. එහෙම ගත්තොත් අපිට නිදහසේ වියදම් කරන්න පුළුවන් විදේශ වත්කම් දැනට තියෙන්නේ ඇමරිකානු ඩොලර් බිලියන හතරයි. ඉතින් අහන්න තියෙන්නේ සුබයිද කියලා තමයි. මේ ජනාධිපතිවරයා පසුගිය සතියේ වෙන්කර ගත්තා රුපියල් මිලියන 8000කට වඩා තමන්ගේ දේශපාලන වැඩවලට. දැන් මේක හරිද? ඒ වගේම පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂයේ පක්ෂ දෙක සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය පාර්ලිමේන්තුව තුලත් තමන්ගේ යුතුකම් පාවා දෙමින් ඉන්නවා. ඔවුන් පාර්ලිමේන්තුවට එවූ ජනවරම ඔවුන් පාවා දෙමින් ඉන්නවා. ඒ නිසා තමයි අර රනිල් ආරංචිය සුබයි කියලා පෝස්ටර් අලවන්නේ ඒ නිසා වෙන්න ඇති. ඒ වගේම රාජ්‍ය මුල්‍ය කළමනාකරණ පනත සහ ආර්ථික පරිවර්තන පනත සම්මත වුවහොත් පාර්ලිමේන්තුවේ සිටින මුදල් ඇමති සහ ආයෝජන ප්‍රවර්ධන ඇමති දෙන්නම පඹයෝ. ජනපති අතට සියලු මුදල් බලතල පැමිණියහොත් පාර්ලිමේන්තුවේ අනුමැතිය ගැනීමේ අවශ්‍යතාවයකින් තොරව ජනාධිපතිට කටයුතු කරන්න තරම් අසීමිත බලයක් හිමිවෙනවා. අපි දන්නේ නැහැ එතුමා සුබයි කියන්නේ එතුමාගේ වසර 40ක දේශපාලන කාලය පුරා කියපු සියලු කාරනා එතුමා විසින්ම අවසන් කිරීමද කියලා. එම නිසා නියත වශයෙන්ම රට තවමත් බංකොලොත් බව පැවසිය හැකියි.” යැයිද මන්ත්‍රීවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

මෙම මාධ්‍ය හමුවේදී මව්බිම ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක හේමකුමාර නානායක්කාර මහතා අදහස් දක්වමින් ඉඩම් බැංකුවක් නිර්මාණය කිරීමකින් තොරව මෙරට ගොවියා හෝ ඉඩම් රැක ගැනීමේ හැකියාවක් නොමැති බව පෙන්වා දුන් අතර රනිල්, සජිත් හෝ අනුර යන කිසිවෙකුට එවැනි බැංකුවක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් සර්වජන බලය ආණ්ඩුවක් යටතේ ඉඩම් බැංකුවක් ගොඩ නගන බවත් පැවසිය.

“ජනපතිවරයා කඩිමුඩියේ ඉඩම් ඔප්පු ලබා දෙන්නේ යටි අරමුණක් ඇතුවයි. රටේ ඉඩම් බහුජාතික සමාගම් වලට පවරා දීමට මේ කටයුත්ත හේතු විය හැකියි. ගොවියා නගා සිටු වීමකින් තොරව මැතිවරණ ඉලක්ක කර ගෙන සිදු කරන මෙවැනි ක්‍රියා තුළින් බහුජාතික සමාගම් වලට ගොවියාගේ ඉඩම් මංකොල්ල කා හැකි අතර ඉඩම් අහිමි වන ගොවියා ක්‍රමයෙන් කුලී කම්කරුවෙක් වශයෙන් නගරයට පිවිසෙනවා ජිවත් වීමේ බලාපොරොත්තුවෙන්. මෙන්න මේ කාරනාව එක්ක විශාල සමාජ බලපෑමක් සහ දේශීය නිෂ්පාදන ක්‍රියාවලිය බිමට සමතලා වෙනවා. නාගරික පැල්පත්, පාසල්, රෝහල් තදබදයක් සමඟ සමාජ විෂමතාවයේ ගැටළු රාශියක් නිර්මාණය වෙනවා. මේ ගැටලුව නිරාකරණය කල හැකි එකම ක්‍රමය ඉඩම් බැංකුවක් හරහා ගොවියාගේ මුදල් අවශ්‍යතා ඉටු කරමින් පවරා දුන් රජයේ ඉඩම් පිටස්තර බහුජාතික සමාගම් වලට නතු නොකර නැවත රජය සන්තකයේ ආරක්ෂිතව තබා ගත හැකි වනවා” යයි පැවසීය.

මෙහිදී පිවිතුරු හෙළ උරුමය නියෝජනය කරමින් යසපාල කෝරලගේ මහතා සඳහන් කළේ රනිල් වික්‍රමසිංහ විසින් ගෙන යන බංකොලොත්භාවයෙන් මිදීම පිළිබඳ අසත්‍ය ප්‍රචාරණයෙන් ජනතාව මුදා ගැනීමට කැපවන බවයි. ”ශ්‍රී ලංකාව බංකොලොත් යැයි සඳහන් කල ශ්‍රේණි ගත කර ඇති කුමන රටක් විසින් වර්තමාන ශ්‍රී ලංකාව බංකොලොත්භාවයෙන් මිදී ඇති බවට සහතිකයක් නිකුත් කරලා තිබෙනවා ද ? එහෙමනම් රනිල් වික්‍රමසිංහ මහත්තයෝ අපට ඒ සහතිකය පෙන්වන්න.” යැයි ඔහු අභියෝග කළේය.

@ Media unit

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *