Latestවිදේශීය

බංගලාදේශය ගිනියම් කළ හසීනාගේ කෝටාව ශ්‍රේෂ්ඨාධිකරණය ‌අඩු කරයි

සියයකට වැඩි පිරිසක් මරණයට පත් කළ බංගලිදේශ විරෝධතා රැල්ලට හේතු වූ, මතභේදාත්මක රැකියා කෝටා ක්‍රමය අඩු කිරීම සඳහා එරට ශ්‍රේෂ්ඨාධිකරණය පියවර ගෙන තිබේ.

1971 දී බංග්ලාදේශයේ නිදහස් ව්‍යාපාරය වෙනුවෙන් සටන් කළ ප්‍රවීණයන්ගෙන් පැවත එන්නන් සඳහා රජයේ රැකියාවලින් සියයට 30ක් වෙන් කළ කෝටා ක්‍රමය අවසන් කරන ලෙස ඉල්ලා ශිෂ්‍යයෝ දක්වන ලද විරෝධතා හේතුවෙන් බංගලිදේශයේ අගනුවර පරිපාලනය සම්පූර්ණයෙන්ම බිඳ වැටිණි. කැරලිකරුවන්ගේ චෝදනාව වී ඇත්තේ මෙම රැකියා කෝටාව, නිදහස් ව්‍යාපාරයට නායකත්වය දුන් පාලක අවාමි ලීග් පක්ෂයේ සහචරයින්ගේ වාසිය සඳහා හේතුවන බවය.

ප්‍රවීණයන්ගෙන් පැවත එන්නන් සඳහා වන කෝටාව සියයට 5 දක්වා කප්පාදු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළ අතර, රැකියාවලින් සියයට 93ක් කුසලතා මත වෙන්කළ යුතුය. ඉතිරි සියයට 2 ජනවාර්ගික සුළුතර සාමාජිකයින් සහ සංක්‍රාන්ති ලිංගිකයන් සහ ආබාධිත පුද්ගලයින් සඳහා වෙන් කෙරේ.

ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව සමඟ විරෝධතා සමනය වනු ඇති බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ. අවාමි ලීගයට සම්බන්ධ කණ්ඩායම් විරෝධතාකරුවන්ට පහර දීමෙන් පසු තත්ත්වය දරුණු අතට හැරුණු අතර, සිසුන්ගේ ප්‍රචණ්ඩකාරී විරෝධය සඳහා නීති විරෝධී ආකාරයෙන් බලය භාවිත කළ බවට උද්ඝෝෂකයෝ චෝදනා කළහ.

අග්‍රාමාත්‍ය ෂීක් හසීනා විසින් තත්ත්වය පාලනය කිරීම සඳහා ඇඳිරි නීතිය පැනවීය. විරෝධතා සමනය සඳහා හමුදාව කැඳවා තිබුණි. දුටු තැන වෙඩි තැබීමේ නියෝග හමුදාව වෙත නිකුත් කර තිබුණි.

පසුගිය සතියේ සිට එරට විශ්වවිද්‍යාල වසා දමා ඇති අතර සන්නිවේදන අවහිරයක් හේතුවෙන් බංග්ලාදේශය, බාහිර ලෝකයෙන් මුළුමනින්ම විසන්ධි වී තිබේ. ගල් ගසන විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා පොලිසිය කඳුළු ගෑස්, රබර් උණ්ඩ සහ දුම් අත්බෝම්බ ප්‍රහාර එල්ල කිරීම නිසා ප්‍රචණ්ඩත්වය දිගටම වර්ධනය විය.

ස්වදේශ කටයුතු අමාත්‍ය අසදුස්සමන් ඛාන් පැවැසුවේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට පෙර පනවන ලද ඇඳිරි නීතිය ‘අවිනිශ්චිත කාලයක්’ දිගටම පවත්වාගෙන යාමට පෙර, ජනතාවට සැපයුම් ගබඩා කර ගැනීම සඳහා පැය දෙකක කාලයක් සඳහා ලිහිල් කරන බවය.

2018 වසරේදී හසීනාගේ ‘පෙර රජය’ රැකියා කෝටා ක්‍රමය ඉවත් කළ නමුත් මහාධිකරණය පසුගිය මාසයේ එය නැවත ස්ථාපිත කළේය. මේ සඳහා විරෝධතා වටයක් ඇතිවූ අතර, ඒ සඳහා රජය දැක්වූ මර්දනීය ප්‍රතිචාරය මෙම කැරලිකාරීත්වය සඳහා හේතු විය. නීතිපති එම්. අමීන් උදාදීන් ඊයේ මාධ්‍ය වෙත ප්‍රකාශ කරන ලද්දේ පසුගිය මාසයේ මහාධිකරණය ප්‍රකාශයට පත් කළ තීන්දුව, නීති විරෝධී බව, ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළ බවය.

කෙසේ වෙතත්, සිව්වෙනි වරටත් අගමැති වූ හසීනා කෝටා ක්‍රමය ආරක්ෂා කරමින් කියා සිටියේ පාකිස්තානයට එරෙහි යුද්ධයේදී සිය දායකත්වය ලබාදුන් විරුවන් උදෙසා ඉහළම ගෞරවය ලැබිය යුතු බවය. මේ සමඟ විරෝධතාකරුවන්, ජාතිද්‍රෝහීන් ලෙස හැඳින්වීම සඳහා ආණ්ඩු පක්ෂය කටයුතු කිරීමත් සමඟ විරෝධතා තවත් උත්සන්න විය.

දුරකතන සහ අන්තර්ජාල සම්බන්ධතා විසන්ධි කිරීම හේතුවෙන් තොරතුරු අවහිර වූ බව ඩකා නුවර සිටින විදෙස් මාධ්‍යවේදීහු වාර්තා කරති.” දැඩි මර්දනය හේතුවෙන් රජය කෙරෙහි තවත් කෝපය, විරෝධතාව තවදුරටත් වර්ධනය කරගත් විරෝධතාකරුවන්, රැකියා කෝටා ප්‍රතිසංස්කරණයට අමතරව හසීනා පාලනයට ඉල්ලා අස්වෙන ලෙස ද බලපෑම් කරමින් සිටියි.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට විරෝධතාකරුවන්ගේ ප්‍රතිචාරය තවම පැහැදිලි නැති අතර මෙය ආණ්ඩු විරෝධී උද්ඝෝෂණයක් ලෙස ඉදිරියට ඇදෙමින් තිබෙන බව එරට ප්‍රාදේශීය මාධ්‍ය අනාවරණය කරයි.

හසීනාගේ රජය ඉරිදා සහ සඳුදා රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර හදිසි සේවා පමණක් ක්‍රියාත්මක කිරීමට අවසර දී ඇත.

@දිනමිණ 

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *